Saturday, November 19, 2016

ඉන්දියාව ශ්‍රී ලංකාව සමීපයේ පිහිටා තිබීම නිසා ඇති වූ බලපෑම්




පදියතලාවේ ඥානවිමල හිමි,

හැඳින්වීම
ඕනෑම රටක සිදුවන විදේශීය ආක්‍රමණ නිසා ඒ රටේ ඉතිහාසයේ ගමන් මඟ බොහෝදුරට තීරණය වන බව ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර සිදු වූ සන්සිද්ධීන්ගෙන් මනාව තහවුරු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියන ලද විශිෂ්ට ග්‍රන්ථයක් නිසා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් අර්නල් ටොයින්බී, ලෝක ඉතිහාසයේ ගමන්මඟ විශ්ලේෂණය කරමින් මෙවන් අදහසක් පළ කළේ ය. “මිනිසාට යම්කිසි බාධාවකට මුහුණ පෑමට සිදු වූ විට ඔහුගේ සිත යොමුවන්නේ එය අභිබවා එය ජයග්‍රහණය කිරීම කෙරෙහි ය”. රටක් විදේශ ආධිපත්‍යයට යටත් වූ විට එරට වැසියෝ ස්වාධීනත්වය පතා සටන් අරඹන්නේ ඒ හේතුවෙනි. මේ ක්‍රියාවලිය එරට ඉතිහාසයේ දිශානතිය තීරණය කරන්නේ ය. පෙරදිග හෝ අපරදිග කුමන හෝ රටකට එය එක සේ බලපෑ පොදු සාධකයක් ම විය. එය ප්‍රාගෛතිහාසික යුගවල මෙන් ම ඓතිහාසික යුගවලදීත් මේ කාලවකවානුවේ දීත් සර්ව සාධාරණ ය. ආක්‍රමණිකයන් යටපත් කරගත් රටෙහි ඔවුන්ගේ ආධිපත්‍යය පැවත් වූ කාල පරිච්ඡේද අනුව එම බලපෑම් අඩු වැඩි වීය. කාල පරිච්ඡේද දීර්ඝ වූ විට එම රටේ ඉතිහාසය සම්පූර්ණයෙන් ම වෙනස් ව ගිය අතර ආක්‍රමණය එතරම් බලවත් නොවූ විටෙක කිසියම් ආකාරයක ඉතිහාසයේ ගමන් මඟ සෑහෙන වෙනසකට භාජනය වූ බවත් දක්නට ලැබේ. එම න්‍යාය ලංකාවට ද ඒ ආකාරයෙන් බලපා ඇති බව අප රටේ ඉතිහාසයේ හැම යුගයක දී ම තහවුරු කර ඇත. එබැවින් ලංකා ඉතිහාසයේ ගමන් මඟ තීරණය කිරීමේ දී මෙරටට සිදු වූ විදේශීය ආක්‍රමණ ගැන මැනවින් අධ්‍යයනයක් කිරීමෙන් එහි යථා ස්වරූපය හඳුනාගත හැකි වේ. එම බලපෑමේ ස්වභාවය අවබෝධ කරගත හැකි වේ.
ඒ අනුව ඒ ඒ විදේශීය ආක්‍රමණවල ස්වරූපය අනුව මෙරට දේශපාලන සමාජ හා සංස-්කෘතික රටාවල අඩුවැඩි වශයෙන් වෙනස්කම් සිදුකර ඇත. එහෙත් මෙම ආක්‍රමණ සිදු නොවුණේ නම් මේ රටේ ඉතිහාසය කෙසේ විය හැකිදැයි කියා සලකා බැලිය නොහැකි ය. එසේ වන්නේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී එවැනි තර්කවලට ඉඩක් නොමැති හෙයිනි. එබැවින් සලකා බැලිය යුත්තේ මෙම ආක්‍රමණ නිසා ඉතිහාසයේ ගමන්මඟ වෙනස් වූයේ කුමන ආකාරයෙන් ද පමණි.
ඉතිහාසයේ මුල් යුගයේ ආක්‍රමණ සිදුවන්නේ මෙරටට ඉතා ම ආසන්නයේ පිහිටි එකල භාරතය නමින් හඳුන්වනු ලැබූ ඉන්දියාවෙනි. සැතපුම් විස්සකට ආසන්නයේ හුදෙකලාව  පිහිටි මෙරටට අතිවිශාල භූමි ප්‍රදේශයක් හිමි වූ තම ඉතිහාසය පුරා අධිරාජ්‍යයන් සඳහා සේසත් නැංවූ භාරත දේශයෙන් සැතපුම් විස්සකට ආසන්නයේ හුදෙකලාව පිහිටි මෙරටට ආක්‍රමණ ඇති වීම ස්වභාවික කරුණකි. මහා අධිරාජ්‍ය ගොඩනැගුණු විශාල භූමි ප්‍රදේශවලට හිමිකම් පෑ රටවල් ආසන්නයේ පිහිටි කුඩා රටවල් හෝ දිවයින් එම පිහිටීම නිසා ම හොඳ හෝ නරක ප්‍රතිලාභ ලැබූ අයුරු ලෝක ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුට හමුවන සුලභ කරුණක් වේ. විශේෂයෙන් ම ලංකාවට සමීපව දකුණු ඉන්දියාව පිහිටා තිබීමෙන් මේ බලපෑම් තීව්‍ර විය. බොහෝ අවධීන්වල මෙරටට ඉන්දීය බලපෑම්වලින් තොරව සිටීමට හැකි වුව ද ඒවා එතරම් දීර්ඝ කාලවකවානු නොවේ.
සශ්‍රීක රටක් වශයෙන් ඉතිහාසයේ සෑම යුගයක දී ම ප්‍රසිද්ධියක් ඉසිලූ මේ රටේ සම්පත් රිසි සේ භුක්ති විඳීමට මෙරටට ආක්‍රමණ එල්ල කළ අතර ඉන් සමහරෙක් මෙරටින් ගිය අතර සමහරෙක් මෙහි ම පදිංචි වූහ. මෙහි තිබූ සම්පත් කොල්ල කෑම පිණිසත් රට ආක්‍රමණය කළ අවස්ථා ලක් ඉතිහාසයේ ඕනෑ තරම් අවස්ථා තිබේ. මෙම නිබන්ධනය මඟින් පෙන්වා දීමට උත්සාහ කරන්නේ ඉන්දියාව සමීපයේ ශ්‍රී ලංකාව පිහිටීම මත ඇති වූ දේශපාලන, සංස්කෘතික, සමාජීයාදී බලපෑම් හා වෙනස්කම් පිළිබඳව දැක්වීමයි.









ශ්‍රී ලංකාවේ භූමිගත පිහිටීම
ශ්‍රී ලංකාව දූපතකි. සාමාන්‍ය ප්‍රමාණයේ දූපතක් වන මෙය පිහිටා තිබෙන්නේ ආසියා මහ-ද්වීපයේ ඉන්දියන් සාගරයේ ඉන්දියාවට පහළින් ය. ඈත අතීතයේ පටන් ම වර්තමානය දක්වා ම රටේ උන්නතිය සඳහා මෙහි පිහිටීම වැදගත් සාධකයක්ව පවතී. භූමිගත පිහිටීම පිළිබඳ සඳහන් කිරීමේ දී ඉන්දියාවට ආසන්නව පිහිටිය ද එය කිලෝමීටර 32ක් තරම් වූ පටු මුහුදු තීරයකින් වෙන්ව තිබේ. ස්වාධීන රාජ්‍යයක් ලෙස පිහිටා ඇති මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610ක් වන අතර එය වර්ග සැතපුම් වලින් 25481 තරම් ප්‍රමාණයක් ගනී. අප්‍රිකා මහද්වීපයේ නැගෙනහිර වෙරළේ සිට බුරුම දේශයේ හා මලයා අර්ධද්වීපයේ බටහිර වෙරළ තෙක් විහිදී ඇති ඉන්දීය සාගරය හරහා පෙර’පර දෙදිග සම්බන්ධ කෙරෙන මුහුදු මාර්ගය ඈත අතීතයේ පටන් ම පෙළ ගැසී තිබුණි. අතීතයේ දේශදේශාන්තරවල වෙළඳාමේ ගිය නාවික වෙළෙඳුන්ට ශ්‍රී ලංකාව මේ නිසා ම ආශිර්වාදයක් විය. අතිශයින් දීර්ඝ වූ මෙම වෙළඳ මාර්ගයට පිවිසෙන ඔවුන්ට නවාතැන් ගැනීමට සිදු වූයේ මෙහි ය. මේ නිසා ම ඈත අතීතයේ පටන් ම පෙරදිගින් අපරදිගටත්, අපරදිගින් පෙරදිගටත් විවිධ බඩුභාණ්ඩ ප්‍රවාහනය වූ මුහුදු මාර්ගයේ ශ්‍රී ලංකාව ප්‍රධානතම නැවතුම්පළ විය. මේ නිසා ම ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් විවිධ නම් වලින් හැඳින්වීමට ඔවුහු උත්සාහ කළහ. තාම්‍රපර්ණි, තප්‍රොබේන්, ලංකාද්වීප, සෙරන්දිබ්, සෙයිලෝන් යන නම් ඊට වැඩිපුර ම භාවිත විය. ඊට අමතරව ශ්‍රී ලංකාව හැඳින්වීමට යොදාගත් විශේෂිත ම නාමය වන්නේ ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යන නාමයයි.
රටේ අභ්‍යන්තරයේ භූමිගත පිහිටීම සඳහන් කරන විට එය ද ඉතිහාසය වෙනස් කිරීමෙහිලා විශේෂිත සාධකයක් විය. රට මධ්‍යයේ ඇත්තේ උස් කඳු භූමිය යි. එය වටා ඇත්තේ තැනිතලා භූමිය යි. මුහුදු මට්ටමේ සිට අඩි 6000ත් 8000ත් තෙක් උස් වු කඳුවැටිය මධ්‍ය කඳුකරයේ පිහිටා තිබේ. පිදුරුතලාගල, නකල්ස්, සමනළ ආදී කඳු පන්ති මෙන් ම දකුණට තද බෑවුමක් සහිත හපුතලේ කඳු හා හෝර්ටන් තැන්න උස් සම භූමිය පිහිටා ඇති බව පෙනේ. රට මැද කඳු ප්‍රදේශයේ සිට උතුරු දිශාවට යොමුව මාතලේ, දඹුල්ල තෙක් ක්‍රමයෙන් ගෙවී යන එකිනෙක ක්‍රමයෙන් උස් වෙමින් පහත් වෙමින් පිහිටන කඳු පන්ති පිහිටා ඇත.  මේ මධ්‍ය කඳුකරයේ නිරිත දිගට හුරුව රත්මලේ, ගොන්ගල, කිරම යනාදී කඳු හෙල්වලින් සමන්විත වු මොරවක් කෝරලයේ උස් බිම් ප්‍රදේශ පිහිටා ඇත. මධ්‍ය කඳුකරයකින් ද ඒ වටා තැනිතලාවකින් ද යුක්ත වන නිසා ශ්‍රී ලංකාව මූනින් අතට නැවූ බේසමක් වැන්න ය. මූනින් අතට නැවූ බේසමක් මතට වැටෙන ජලය නේමිය කරා සෑම පැත්තකට ම රූරා හැලෙන්නාක් මෙන් රටේ මධ්‍ය කඳුකරයට වැටෙන වර්ෂා ජලය ඇළ, දොළ, ගංගා වශයෙන් හැම පැත්තකට ම කඳුකරය ඔස්සේ බැස ගොස් තැනිතලා ඔස්සේ ඉදිරියට යමින් මුහුදට එකතු වෙයි. මේ නිසා කඳුකරයේ පිහිටා ඇති ගංගා, ඇළ, දොළ අතිශය මනහර දර්ශනයක් ය. මහවැලි ගඟ, ගිං ගඟ, කිරිඳි ඔය, ගල් ඔය, කුඹුක්කන් ඔය, දැදුරු ඔය, කැළණි ගඟ, මල්වතු ඔය, බෙන්තර ගඟ ආදි සෑම දිශාවක් ම නියෝජනය වෙමින් පවතින මේවායෙන් එකතුවන ජලය සතර දිග් භාගයෙන් ම මුහුදට ගලා බසී. මේවා මුහුදට එකතු වන ස්ථානවල වරාය තොටමුණු ඉදිකර ඇත. ඉහත සඳහන් කළ නාවික වෙළෙඳුන් හා ජන සංක්‍රමණිකයින් ඈත අතීතයේ සිට ම දිවයිනට ගොඩ බැසීමට භාවිත කර ඇත්තේ මේවා ය.
දිවයින වටා කිලෝමීටර 1000ක් තරම් වූ වෙරළෙහි මෙබඳු තොටුපළ හා වරාය රාශියක් ම පිහිටා තිබේ. මන්නාරම, කයිට්ස්, දඹකොළපටුන, මුලතිව්, ත්‍රීකුණාමලය, අරුගම්බේ, මඩකලපුව, පානම, කිරින්ද, හම්බන්තොට, කොළඹ, වත්තල, මීගමුව, ගාල්ල, අම්බලන්තොට, බේරුවල, ක`ඵතර, පානදුර, පුත්තලම, කල්පිටිය ආදී වරායවලට ඈත අතීතයේ සිට නැව් ගමනාගමනය සිදු වූ බවට සාක්ෂි තිබේ. ඈත අතීතයේ සිට ඉන්දියාව ඇතු`ඵ විවිධ රටවලින් වෙළඳ බඩු සොයා විදේශ රටවල සංක්‍රමණය කළ වෙළෙඳුන් මේ වරායවලට ගොඩ බැස ආගිය අතර ඉන් සමහරෙක් මෙහි ම නවාතැන් ගත්හ.  ඔවුන් තොටුපළ ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගත්හ. මෑත කාලයේ දී කරන ලද කැණීම්වලින් හෙළිදරව් වී ඇත්තේ මෙම කාරණාවයි. විශේෂයෙන් ම මාතොට, අම්බලන්තොට ආදී ප්‍රදේශවල කරන ලද කැණීම්වලින් හමුවූ රෝම කාසි නිසාවෙන් පැහැදිලි තීරණයක් ලබා ගත හැකි වන්නේ ය. දහතුන් වැනි, දහහතර වැනි සියවස්වල ඉන්දියන් සාගරයේ වෙළඳ ගමන්වල නිරතව සිටි අරාබි වෙළෙඳුන් මෙහි ගොඩ බැස ඇති අතර මෙහි තොටුපළ ආශ්‍රිතව වෙළෙඳ කටයුතු කරමින් කල්යාමේ දී එම තොටුපළවල් ආශ්‍රිතව ම ඔවුන්ගේ ජනාවාස ද පිහිටුවා ගෙන ඇත. වර්තමානයේ මඩකලපුව, පුත්තලම, මීගමුව, බේරුවල, වැලිගම, හම්බන්තොට,  පොතුවිල්, ත්‍රීකුණාමලය ආදි ප්‍රදේශවල මුස්ලිම් ජනපද බිහි වූයේ මෙසේ පැමිණි මුස්ලිම් අය හේතුවෙනි.
ඉහතින් සඳහන් කළ භූමිගත පිහිටීම රටේ ඌෂ්ණත්වය හා වර්ෂාව ඇතු`ඵ දේශගුණික වෙනස්වීම් කෙරෙහි ද බලපෑවේ ය. ඊසාන දිග මෝසම් සුළඟින් හා නිරතදිග මෝසම් සුළඟින් දිවයිනට වැසි ලැබෙන අතර මේ වැසි ලැබෙන්නේ මේ පිහිටීම මත යි. ඉන්දියන් සාගරය හරහා ගමන් කිරීමේ දී ජලය උරාගත් වළාකු`ඵ නිරිත දෙසින් රට තුළට පිවිස හමා යද්දී මධ්‍ය කඳුකරයේ හැපීමෙන් සීතල වී මධ්‍ය කඳුකරයට හා නිරත දිග තැනිතලාවට වර්ෂාව ඇද හැලෙයි. මැයි මාස-යේ සිට සැප්තැම්බර් මාසය දක්වා මෙසේ වර්ෂාව ඇඳ හැළෙන අතර එය නිරතදිග මෝසම වශයෙන් හැඳින්වේ. ඒ වාරය හඳුන්වන්නේ නිරතදිග මෝසම් වාරය ලෙසයි. මේ කාලයේ නිරත දිගින් හමන සුළඟ සමඟ එන වැසි බර වළාකු`ඵ කඳුකරයේ හැපී නිරිතට හා කඳුරටට ජලය පතිත වූ කල්හි ඒ සුළං කඳුකරය පසුකොට දිවයිනේ ඊසාන දිග තැනිතලාව දෙසට හමා යන්නේ ජල වාෂ්ප රහිත වියළි සුළඟක් ලෙසිනි. එහෙයින් මැයි මාසයේ සිට සැප්තැම්බර් තෙක් වු කාලයේ නිරිත දිගට හා කඳුකරයට වැසි ලබද්දී දිවයිනේ උතුරු නැගෙනහිර හා ඊසාන දිග තැනිතලා භූමියට දැඩි නියඟයක් ඇති වෙයි. වී ගොවිතැන ප්‍රධාන කෘෂිකාර්මික ජීවනෝපාය කරගෙන ජීවත් වන අපේ රටේ මුල් ආර්ය ජනකොටස් ජනපද පිහිටුවා ගැනීමේ පටන් කාලාන්තරයක් තිස්සේ වැඩී ආ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රධාන වශයෙන් පිහිටියේ මේ උතුරු නැගෙනහිර තැනිතලා බිම් මුල්කරගෙන ය. ‘රජරට’ හා ‘රුහුණු රට’ යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූයේ මේ තැනිතලා භූමි ප්‍රදේශයන් ය. නිරිතදිග ප්‍රදේශවලට වැසි  ලැබෙන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දැඩි නියඟ සමයක් උදා වන බව මුලින් ම සඳහන් කරන ලදි. ඒ කාල වකවානුව වී ගොවිතැන ප්‍රධාන කෘෂිකර්මාන්තයට හිතකර යුගයක් නොවේ. අකාලයකි. මේ කාලය ඔවුන් හඳුන්වන්නේ අකල, අයල, යල, යල් කන්නය ආදී නම් වලිනි. එම ප්‍රදේශවලට වැසි ලැබෙන්නේ නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා ය. මේ කාලයේ ඊසාන දිග පිහිටි බෙංගාල බොක්ක හරහා දැඩි වර්ෂාව ඇද හැලෙද්දී  ජල වාෂ්ප බරවී එම කඳුවලට නැගෙනහිර උතුර රජරටට හා රුහුණ රටට දැඩි වර්ෂාව ඇද හැලේ. මේ කාලය ගොවිතැනට අතිශයින් ම හිතකර කාල වකවානුව යි. මේ කාලයේ ගොවියන්ට සරුසාර අස්වැන්නක් ලැබේ. මේ සමය එම ප්‍රදේශවල ව්‍යාප්ත වූ ශිෂ්ටචාරයේ මහ කන්නය නමින් හැඳින්වේ. මෙසේ යල, මහ කන්නය සිංහල භාෂාවේ  ව්‍යවහාරයට පැමිණියේ දිවයිනේ ස්වභාවික භූමිගත පිහිටීම හේතුවෙනි.
නියඟ සමයේ ජනතාව බීමට ජලය හා කුඹුරු වැඩට අවශ්‍ය ජලය සපයා ගැනීමේ දී විවිධාකාර උපක්‍රම භාවිත කරනු ලබයි. ආදී ම යුගයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ගංඟා නිම්න මුල්කරගෙන ජනාවාස තනාගත් බව ඉහතින් සඳහන් කිරීමට යෙදුණි. මෙසේ ඇති වූ නිම්නවල ඔවුන් ගමකට වැවක් ගානේ සකස් කරගන්නට යෙදුණි. වැසි සමයේ එම වැවේ රැස්වන ජලය නියඟ සමයේ දී ප්‍රයෝජනයට ගැනීමට ඔවුහු කටයුතු කළහ. ජනගහනය වැඩිවී අවශ්‍යතා වැඩිවීමත් සමඟ ම ඉහත්තාවේ සිට ඇළක් හරවා එමඟින් අතිරේක ජලය වැවට සපයා ගෙන ඇත. මේ ක්‍රමවේදය වර්තමානයේ මහවැව් තැනීමේ දී භාවිතයට ගෙන ඇති බව පෙනේ.
ඉහත දුටු අයුරු කඳුරටින් ඇරඹෙන ගංඟා හා අතුගංඟා උස්කඳු ප්‍රදේශයේ සිට පහතට ඇදී එද්දී පටු තැනකින් වේල්ලක් බැඳ හරස් කොට එතැන රැස්වන ජලය ඇළක් මඟින් ඈතට තැනිතලා බිම් හරහා හරවා දෙපස කුඹුරු ආශ්‍රිතව ප්‍රදේශ ජලයෙන් පුරවා ඉක්බිති වැවට හරවන ලදි. මේ ආකාරයට හත්වන සියවස වනවිට ගංඟා, අමුණු, ඇළ, වැව් ආශ්‍රිතව අතිසංකීර්ණ ජල සංරක්ෂණ ක්‍රමවේද හා අපවහන සැළැස්මක් රජරට හා රුහුණු රටට බිහිවූයේ ආදීයෙහි විසූ ජනතාව රට තුළ වූ භූමිගත සැළැස්ම පිළිබඳව මනා අවබෝධයක් ලබා එය තම අවශ්‍යතා සඳහා උපයෝගි කොට ගත් නිසාවෙනි. මේ ආදී ක්‍රියාවන් මඟින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකික වැසියන් තම අවශ්‍යතා සඵල කරගනු වස් අතිශය සංකීර්ණ ක්‍රියාවන්වල නියැලීමට තරම් දක්ෂතාවන් වලින් පිරිපුන් බවය.
ජනාවාස ඇරඹුම
ජනාවාස ඇරඹුමක් පිළිබඳ අප කතා කරන්නේ විජය කුමාරයා ඇතු`ඵ පිරිස මෙහි ඇවිත් ගොඩ නගාගත් ඒවායින් පසුව ය. එහෙත් ඊට පෙර මෙහි වැසියන් ජීවත් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔවුන් ජීවත් වීමේ දී කෙසේ නිවෙස් තනාගෙන සිටින්නට ඇත් ද ? විජයාවතරණයට පෙර බුදුහිමියන් මෙරටට තෙවරක් වැඩි බව සඳහන් වේ. උන්වහන්සේ මෙරටට වැඩම කළ සමයේ චූලෝදර මහෝදර සහෝදරයින් දෙපළ මණි අක්ඛික නා රජු හා සුමන සමන් දෙව් රජු ද ඇතු`ඵව සිවු දෙනෙකු රට පාලනය කළ බව මහා වංශයේ සඳහන් වේ.
සම්බුද්ධත්වයට පත්ව මාස නවයක් ඉක්ම ගිය පසු උන්වහන්සේ මුලින් ම වැඩම කළේ මහියංගණයට ය. එහි වැඩම කළ උන්වහන්සේ එහි සිටි යකුන් ගිරි දිවයිනට පළවා හැරි අතර සුමන සමන් දෙව් රජු සෝවාන් ඵලයට පැමිණියේ උන්වහන්සේ දෙසූ ධර්මය නිසාවෙනි. ඉන් අනතුරුව උන්වහන්සේ මෙරටට වැඩම කළේ සම්බෝධියට පත්ව වසර පහක් ගත වූ පසුව ය. ඒ බක් මස අමාවක පොහෝ දිනය යි. වැඩම කරන්නට යෙදුනේ නාගදීපයටයි. චූලෝදර හා මහෝදර දෙදෙනාගේ මැණික් පුටුවක් සම්බන්ධව ඇති වූ ආරාවුලක් සන්සිඳීමට මෙලෙස වැඩම කරන්නට යෙදුණි. ඉන් අනතුරුව වැඩම කළේ සම්බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ කැළණියට යි. ඒ මණි අක්ඛික නාරජුගේ ආරාධනාවක් අනුව යි.
එසේ ම මේ කාලයේ ම එනම්, ක්‍රිස්තු පූර්ව 500 දී පමණ ලියැවුණු වාල්මිකීගේ ‘රාමායණය’ නම් හින්දු වීර කාව්‍යය තුළ ලංකාපුරයේ රජ කළ රාවණා නම් අයෙක් ගැන සඳහන් කරයි . රටවල් දහයක් පාලනය කළ ඔහු අතිශය වීර ශ්‍රේෂ්ඨ රජකෙනෙක් බව පෙන්වා දෙයි. එහෙත් මේ තොරතුර ඇතැම් ඉතිහාසඥයින් පිළිගැනීමට මැළිකමක් දක්වයි.  එය ඔවුන් සළකන්නේ හුදු මිථ්‍යා මතයක් ලෙසයි. රාවණ යනු මෙහි රජකළ අතිශ්‍රේෂ්ඨ රජ කෙනෙකි. ඔහුගේ කාලයේ මෙහි තිබූ සමාජ පසුතලය ඉතිහාසඥයින් හා විවිධ මත දරන්නන් විසින් වෙනස් කර ඇති බව මොනවට විශද වේ. ඔහුට හිස් දහයක් තිබුණේ යැයි කීමෙන් කිසියම් පිළිගත නොහැකි සිදුවීමක් යැයි අපට නිතැතින් ම පෙනී ගිය ද ඔහුගේ ශූරත්වය පෙන්නුම් කිරීමට මේ වර්ණනාව යොදාගත් බව සිතිය හැකි ය. මේ කාලයේ අතිදියුණු සමාජ වටපිටාවක් මෙහි තිබී ඇත. යුධ ශක්තිය අතින් ද ප්‍රබල ය. මේ නිසා රාවණගේ බල ව්‍යාපෘතියට විරුද්ධව නැගී සිටි ඉන්දියානු නායකයින් රාමගේ නායකත්වයෙන් යුතුව මෙහි කඩා පනී. අවසානයේ දී රාවණාගේ පාර්ශ්වය පරාජය වන අතර රාවණගේ සොහොයුරන් ද මේ යුද්ධයෙන් ඝාතනය වන්නේ ය. ලංකාවේ අතීතයේ ජීවත් වූ අය අතර බළංගොඩ මානවයා ගැන තොරතුරු බොහොමයක් සොයා ගෙන ඇත. ඊට අමතරව අතීතයේ විසූවන් බෙලිලෙන(බෙලිගල්ගේ), තෙලූල්ල ගුහාව, මස්කෙළිය, නාවලපිටිය, පේරාදෙණිය, බුලත්සිංහල ඇති පාහියන්ගල, කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන ආදී ප්‍රදේශවල ජීවත් වී ඇති බව සොයා ගෙන ඇත. ඔවුන්ගේ ජීවිත සරළ ජීවිත වූ අතර ගල් යුගයේ මිනිසුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මොවුන් ය. මොවුන්ගේ වාසය කළ කාලය වර්ෂ දහස් ගණනක් තරම් ඈතට දිව යයි.
බුදු හිමියන් පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි අවස්ථවේ කළ ප්‍රකාශය මෙහි දී ඉතා වැදගත් වේ. මේ කරුණ දක්වන මහාවංශය “සිංහබාහු රජු පිත් තෙල විජය කුමරු අනුගත හත්සියයක් පිරිවර ඇතිව ලාට රටින් අවුත් ලක්දිව් බැස්සේ ය. දේවේන්ද්‍රය මගේ සස්න ලක්දිව්හි පිහිටන්නේ ය. එහෙයින් පිරිවර සහිත උහු ද ලංකාව ද මොනවට රකුව’ යි වඳාළ සේක.”
කෙසේ වුව ද විජය කුමරු ඇතු`ඵ පිරිස මෙහි පැමිණෙන විට වාසය කර ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයින් ය. සමහර පිරිස් යක්ෂයන් විසූ බව පෙන්වා දෙන අතර සත්‍ය වශයෙන් ම තේරුම් ගත යුත්තේ යක්ෂයින් ඇදහූ පිරිසක් මෙහි වාසය කළ බවයි. දකුණු ඉන්දියාවෙන් නැව් නැගී මෙරටට පැමිණි ඔවුන් මේ රට හැඳින්වූයේ තම්බපණ්ණි ලෙසයි.  ඉන්දියාවේ විශාල වශයෙන් දූෂිත ක්‍රියාකාරකම් කළ නිසාවෙන් ඔවුන් කෙරෙහි විරුද්ධ වූ වැසියන්ගෙන් බේරීමට නැව් ගත වී මෙරටට ගොඩබට බව ඉතිහාසයේ සඳහන් ය. ඔවුන්ගෙන් ආරම්භ වූ සංක්‍රමණ පිරිස් වෙළඳ මාර්ග 03කින් මෙරටට ආ බව පෙන්වා දිය හැකි ය. මෙයින් එක් මාර්ගයක් වන්නේ භාරතයේ සිට උතුරේ සිට දකුණු ඉන්දියාව හරහා වැටී තිබුණු  ගොඩබිම් මාර්ගය යි. මේ මාර්ගය වර්තමානයේ දිල්ලි නගරය අසළින් වැටී තිබුණු බව සඳහන් කෙරේ. මේ ප්‍රදේශය හැරුණු විට කිෂ්කන්ද මා මහිෂ්මතී ප්‍රදේශ හරහා දකුනු ඉන්දියාවට යොමු වී ඇති මාර්ගය ඔස්සේ පැමිණි මොවුන් වයඹ දිග වෙරළේ මාතොට තොටුපළින් මෙරටට පැමිණ ඇත.
තවත් පැමිණි ක්‍රමයක් වන්නේ කච්ච, සුප්පාරක, සෞරාෂ්ඨ, භරුකච්ච යන නැව් තොටුපළවල් පසුකොට ලක්දිව පිහිටි වයඹ දිග වෙරළේ මාතොට සහ උරුවෙල වරායවලට පැමිණි බවයි. වළාහස්ස ජාතකයේ පවා මෙම මාර්ගය සඳහන් වීම මත අතීතයේ සිට ම ප්‍රචලිත මාර්ගයක් බව සඳහන් කිරීම වටී. මෙසේ පැමිණි පිරිස් හලාවත(සලාවත්තොට), බෙන්තොට(හිමතිත්ථ), ගින්තොට(ගිම්හතිත්ථ) ආදී ප්‍රදේශවලින් ගොඩ බැස මල්වතු ඔය, කලාඔය, දැදුරු ඔය, වලවේ ගඟ, කිරිඳි ඔය ආදී ප්‍රදේශවල ජනාවාස පිහිටුවා ගත්හ. මහාවංශයේ සඳහන් වන පරිදි විජය කුමරු ඇතු`ඵ පිරිස මෙහි පැමිණ මල්වතු ඔය ආශ්‍රිතව පදිංචි වී ඇත. ලංකාවට පැමිණි අනෙක් මාර්ගය වන්නේ නැගෙනහිර භාරතයේ තාම්‍රපර්ණියෙන් ආරම්භ වී ලංකාවේ නැගෙනහිර පිහිටි ගෝකණ්ණ වරායට වැටෙන මාර්ගය යි. මෙසේ නැගෙනහිර ප්‍රදේශයෙන් ගොඩබට ආර්යයෝ යාන් ඔය, මාදුරු ඔය, ගල් ඔය, කුඹුක්කන් ඔය ආදී ගංගා නිම්න ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගත්හ. පඬුවස්දෙව් රජුගේ බිසව වූ භද්දකච්චායනා බිසව සමඟ පැමිණි විජිත, රාම්, දීඝ, රෝහණ යන ශාක්‍ය වංශික පිරිස් විජිතග්‍රාමය, රාමගෝණය, දිඝගාම හා රෝහණ යන ජනපද පිහිටුවා ගත්හ. කෙසේ හෝ ඔවුන් නිරත දිගට එක් වෙමින් රජරට පාලන මධ්‍යස්ථානය කරගෙන රට පාලනය කිරීමට සමත් වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ පළමු රජු ලෙස සෑම දෙනා ම පිළිගැනීමට පාත්‍ර වන්නේ විජය රජතුමා ය. ඉන් පසු පණ්ඩුවාසදේව රජුත් ඉන් පසුව ඔහුගේ පුත් පණ්ඩුකාභය රජුත් රට පාලනය කර ඇත. මොවුන්ගේ පාලන කාලය අතිදීර්ඝ ය. පණ්ඩුකාභය මෙන් ම පණ්ඩුවාසදේව ද එක්ව වසර 100කට ආසන්න කාලයක් මෙරට පාලනය කර ඇත. මේ අනුව මුලින් ම මෙරටට ඉන්දියානුවන්ගේ බලපෑම ලැබෙන්නේ මේ රටේ ජනාවාස පිහිටුවා රාජ්‍ය පාලනය ද අත්පත් කරගත් පිරිසක් ලෙස ය. මෙයින් පසු ඔවුන් ස්වදේශිකයෝ හැටියට ක්‍රියා කළ අතර ලක්වාසී ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ම කටයුතු කළ බව පෙන්වා දීමට හැකි ය.
දේශපාලනමය බලපෑම්
වංශකතා හා සෙල්ලිපි ආදී ඓතිහාසික මූලාශ්‍ර ගෙනහැර බැලීමේ දී ‘රජ’ තනතුර ලංකාවේ වැදගත් ම දේශපාලන සංස්ථාව විය. පසු කාලීනව බුදු දහමේ බලපෑමත් සමඟ ම ජන සම්මතයෙන් බිහිව ජනතාවගේ ආරක්ෂාව හා සුභ සිද්ධිය සඳහා පවතින තනතුරක් ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත් වීය. මුලින් ම ශ්‍රී ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කරන ලද්දේ පණ්ඩුකාභය රජතුමා විසිනි.  ඔහුගේ පුත් දේවානම්පිය තිස්ස රාජ්‍යත්වයට පැමිණිමෙන් පසු ඉන්දියාවෙන් රාජකකුධ භාණ්ඩ ගෙන්වා ගෙන නැවතත් රාජාභාෂේකය ලබා ගත් බව සඳහන් වේ. මේ රජතුමාගේ කාලයේ සිදු වු වැදගත් ම කාරණාව ලෙස මහින්දාගමනය හා දුමින්දාගමනය සඳහන් කළ හැකි ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසන්නට ඉඩහසර ලබා ගැනීමට තරම් අප වාසනාවන්ත වූයේ මිහිඳු හිමියන්ගේ වැඩමවීමෙනි. ශ්‍රී ලංකා සංස්කෘතිය පෝෂණය වීමේ දී උන්වහන්සේගේ වැඩමවීම අතිශය වැදගත් වේ. මුලින් ම ශ්‍රී ලංකාව් පැවතුනේ ආර්ය සිංහල සංස්කෘතිය යි.  මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟ එය බෞද්ධ මුහුණුවරක් ගෙන ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය ලෙස ජනප්‍රිය වීය.  උන්වහන්සේගේ වැඩම වීමෙන් අපට ලැබූ දායාද රටක් වශයෙන් අතිශය වැදගත් වේ. ප්‍රථමයෙන් ම නිර්මල බුදුදහම හඳුන්වා දුන් අතර ඊට පසු භික්ෂු සාසනය ආරම්භ කිරීමට යෙදුණි. ඉන් පසු රටේ රජු බෞද්ධ රාජ්‍ය පාලනයට නැඹුරු වු අතර පෙර පැවති වන්දනා ක්‍රම ආදිය කෙමෙන් ඉවත් වී බෞද්ධ සංකල්ප මුල් කරගත් වන්දනා ක්‍රම හඳුන්වා දුන්නේ ඔවුන්ගේ පැවති ක්‍රම සම්පූර්ණයෙන් ම වෙනස් කරමින් නොවේ. ඔවුන්ගේ ඒ ක්‍රමවේද වලව බෞද්ධ මුහුණුවරක් ලබා දීම මෙහිදී සිදු විය. මේ නිසා ම මෙරට වැසියන් ද කිසිම චකිතයකින් තොරව බෞද්ධ දර්ශනයට ඇ`ඵම් කළ බව සඳහන් කිරීමට පු`ඵවනි.
ඉන් අනතුරුව දේවානම්පියතිස්ස රජුගේ ආරාධනාවෙන් මෙහි වැඩම කළ සංඝමිත්තා තෙරණිය නිසාවෙන් අප රටට ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ම කාන්තා විමුක්තියේ ඇරඹුම ද උදා වීය. මේත් සමඟ ම ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව සඳහා මෙහි පැමිණි 18 කුළයක පිරිස නිසා-වෙන් මෙරට සෑම කර්මාන්තයක ම දියුණුවක් ඇති වූ බව සැබවි. ඉන්දියාවේ දියුණු ලේඛන කලාවේ ආභාසය මෙන් ම අක්ෂර  කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය මෙරටට ලැබුණු දාය-ාදයෝ වෙති. දේශපාලනික වශයෙන් මෙන් ම මේ සංස්කෘතික හා ආගමික වෙනස් වීම මත ශිෂ්ටත්වයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයෝ වාසනාවන්ත වූහ. කෙසේ වුව ද මේ අංශයන් ක්‍රමවත් වීම ඇතිවුණ ද දේශපාලනික වශයෙන් ඉන්දියාවෙන් කළ බලපෑම සු`ඵවෙන් තැකිය නො හැකිය.
ලංකාවේ රජ කළ සුරතිස්ස රජු මරා දමා මුලින් ම රට ආක්‍රමණය කළේ සේන, ගුත්තික නම් අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකි. ඔවුන් බොහෝ කාලයක් මෙරට පාලනය කර ඇත. ඔවුන්ගේ පාලන සමය තුළ ඉන්දීය සංස්කෘතික බලපෑම් මෙන් ම අනෙකුත් අංශයන් කෙරෙහි ද බලපෑමක් ඇති නොවුණා යැයි සඳහන් කිරීම උචිත නොවේ. මේ පිළිබඳව විශේෂයෙන් දක්වන මහාවංශය පෙන්වා දෙන්නේ, “මහත් බල ඇති සේනය ගුත්තිකය යන අස් නැව් පුත් පුතුන් දෙදෙනෙක් ඒ සුරතිස්ස රජුගෙන දෙවිසි හවුරුද්දක් දැහැමෙන් රාජ්‍ය කරවූය”  යනුවෙනි.
මේ ආකාරයට ඔහු සඳහන් කළ ද දීපවංශ කතුවරයා පෙන්වා දෙන්නේ ඊට වඩා වෙනස් වූ සිදුවීමක් සිදු වූ බව ය. රට පාලනය කරමින් සිටි ස්වදේශික රජු මරා රාජ්‍ය බලය ලබාගෙන මෙම දෙදෙන අවුරුදු විසිදෙකක් නොව වසර දොළහක් රට පාලනය කර ඇත.   මේ විස්තරය මුසාවක් ලෙස ආචාර්ය ජී. සී. මෙන්ඩිස් මහතා උත්සාහ දැරුව ද එය නිශ්චිතව තහවුරු කිරීමට සාක්ෂ්‍ය නැත. ඔහු පෙන්වා දෙන්නේ මෙය විදේශ ආක්‍රමණයක් නොව අනුරාධපුරයේ ම සිටි ද්‍රවිඩයන් දෙදෙනෙකු රජය පැහැරගත් බවයි.  ඉන් අනතුරුව නැවතත් අසේල නම් රජු ඔහු මරා රජකම ලබා ගත් අතර ඔහුගේ පාලනය ද එතරම් කාලයක් ගෙන යෑමට නොහැකි වූයේ එළාර නම් සොළී රජුගේ ආක්‍රමණය නිසයි. අසේල රජුගේ පාලන කාලය වසර 10කට සීමා වීය. එළාරගේ ආක්‍රමණය ශ්‍රී ලාංකිකයන්ට අමුත්තක් නොදැනුනේ ඔහු බෞද්ධ ක්‍රමවේද භාවිත කරමින් රට පාලනය කළ නිසාවෙනි. එසේ වුවත් ඔහුගේ ඇමති මණ්ඩලය ක්‍රියාකළ ආකාරය නිසා මහත් සේ පීඩා විඳීමට රටවැස්සන්ට සිදු විය. මේ සිදුවීම සඳහන් කරන මහාවංශ කතුවරයා “ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළ තෙමේ රාජ්‍ය පිණිස සොළී රටෙන් මෙහි අවුත් අසේල රජු අල්වාගෙන සතළිස්සතරහවුරුද්දක් රාජ්‍ය කළේ ය”  යනුවෙනි. අසේල රජු යනු දේවානම්පිය තිස්ස රජුගේ සිව්වන සොහොයුරා ය.  මේ කාලයේ රටේ පහළ කොටස පාලනය කළේ කාවන්තිස්ස නම් ප්‍රාදේශිය පාලකයෙකි. ඔහුගේ කාලයේ දී එළාර රජු පරාජය කිරීමට කටයුතු සංවිධානය විය. ඔහුගේ සිටි ගැමුණු කුමරු හා තිස්ස කුමරු මේ කටයුත්තේ ප්‍රධානියෝ වූහ. වසර 44ක් තරම් දීර්ඝ කාලයක් පැවතුණු එළාර පාලනය අවසන් කිරීමට ඔහුට හැකියාව ලැබුණි. මේ කාලයේ දී සොළීන් මේ රටේ තිබූ සම්පත් ඔවුන්ගේ රටවලට රැගෙන ගිය අතර ඔවුහු ඔවුන්ගේ ආගම හා විවිධ සංකල්ප මෙරට ජනිත කළහ.
ඉන් අනතුරුව වසර කිහිපයක් රටේ සාමය පැතිරී තිබු අතර විදේශ ආක්‍රමණවලින් තොරව රට පාලනය කිරිමට පාලකයෝ උත්සාහ ගත්හ. විශේෂයෙන් ම බුදු දහමට මුලිකත්වය ගෙන ඒ අනුව රටේ භෞතික මෙන් ම අභෞතික දේ ද සංවර්ධනය කිරීමට පාලකයන්ට හැකියාව ලැබුණි. දේවානම්පියතිස්ස රජු නිර්මාණය කළ ‘ථූපාරාමය’ මෙරටට බුදුදහම හඳුන්වා දිමෙන් පසු ඇතිවූ ප්‍රථම ස්ථූපය යි. ඒත් සමඟ ම බොහෝ විහාරාරාම ඔහු තැනූ අතර ම ඒවා එළාර වැනි විදේශීය ආක්‍රමණ මත විනාශයට පත් වීය.  දුටුගැමුණු රජුගේ කාලයේ දී මෙරට භික්ෂූන් වහන්සේලා ලක්ෂයකට අධිකව විසූ බව මිරිසවැටි ස්ථූපය සඟසතු කිරීමේ උත්සවයට පැමිණි භික්ෂූන් වහන්සේලාගෙන් පෙනී යයි.  ලෝවාමහාපාය නමින් භික්ෂූන් වහන්සේලාට පොහොය කර්මය ආදී විනය කර්ම ඉටු කර ගැනීමට ගොඩනැගිල්ලක් ද මහාථූපය ලෙසින් වර්තමානයේ වුව ද ලෝකය පුරා ම ප්‍රචලිතව පවතින ස්ථූපය කිරීම ඔහුගේ සම්භාවනීය ම කාරණාව වේ. ඔහු ක්‍රියාකළ අන්දම අනුව රටවැසියන් පවා එතුමාට බොහෝ ප්‍රිය කළහ. ඔහුගෙන් අනතුරුව රජ පැමිණි ඔහුගේ සොයුරු තිස්ස රජු ද අතිශය ශ්‍රද්ධාවන්ත ය. මේ නිසා සද්ධාතිස්ස ලෙස ද ව්‍යවහාරයට පත් විය. ඔහුත් වසර 20කට අධික කාලයක් මෙරට පාලනය කළේ ය.
ඉන්දියාව ශ්‍රී ලංකාව සමීපයේ පිහිටා තිබීම නිසා විශාල වශයෙන් බලපෑම් ඇති කළේ දේශපාලනමය වශයෙන් බව නැවත නැවත සඳහන් කිරීම අවශ්‍ය නොවේ. සද්ධාතිස්ස රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් ඛල්ලාටනාග රජුගෙන්  රට පැහැර ගැනීමට මහාරත්තක සෙනෙවියා සමත් වීය. එහෙත් ඔහුගේ පාලන කාලය දින 05කට සීමා කිරීමට වළගම්බා රජු සමත් වීය. එහෙත් ඔහුට වැඩි කාලයක් පාලනය කරගෙන යෑමට හැකි වූයේ නැත. තීය නම් බමුණෙක් කළ කැරැල්ලක් නිසාවෙන් රාජ්‍යයේ කැළඹිල්ලක් ඇති වීය.  මෙයින් ප්‍රයෝජන ගත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින් සය දෙනෙකු මෙරට ආක්‍රමණය කළහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු වළගම්බා රජුගේ මෙහෙසිය හා පාත්‍ර ධාතුව ද ඔවුන්ගේ රටට රැගෙන ගොස් ඇත.  ඉතිරි වූ අනෙක් සිව් දෙනා ඔවුනොවුන් මරා ගනිමින් වසර 14ක් පුරා රට පාලනය කර ඇත.  මෙහි දී කතරගම ශිලා ලේඛනයක මහදැළියා මහණ යනුවෙන් සඳහන් වන්නේ දාඨිය නම් දෙමළ රජුන් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සොයාගෙන ඇත.  මේ යුගයේ දී ශ්‍රී ලාංකිකයින් දුකසේ ජීවත් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. රටේ ‘බැමිණිතියා’ නම් සාගතයක් ද ඇති වී තිබූ නිසා මෙය වඩාත් තීව්‍ර වීය.
ක්‍රිස්තු වර්ෂ 276 සිට 303 දක්වා ලංකාව පාලනය කළේ මහසෙන් රජතුමා ය. බොහෝ පින් මෙන් ම පව් කරගත් රජතුමා ලෙස මහාවංශය පෙන්වා දෙන රජු මොහු ය. මේ කාලයේ දී ඉන්දියාවේ ප්‍රචලිතව තිබූ වෛතුල්‍යවාදී දහම මෙරටට ව්‍යාප්ත වූ බව සාසන ඉතිහාසයේ සඳහන් ය. මෙයට හේතුව මහසෙන් රජුට කුඩා කල අධ්‍යාපනය ලබා දුන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සංඝමිත්‍ර නම් භික්ෂූන් වහන්සේ නමකි. මෙම හිමියන්ගේ බලපෑම මත මහායාන ධර්මය මෙහි ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. ආගමික වශයෙන් මෙම වෙනස් වීම මත මෙහි වැඩ සිටි ථේරවාදි දහමට ඇ`ඵම් කළ භික්ෂූන් වහන්සේලා රුහුණු හා මලය රටට වැඩම කළ බව සඳහන් වේ.
වෛතුල්‍යවාදී දහම ලංකාවේ ප්‍රචලිත වීමත් සමඟ ම රටේ ආගමික මතවාද තුනක් නිර්මාණය වීය. මෙහි දී මහාවිහාරයීය හිමිවරුන් බුදුදහම විවිධ මතධාරීන්ගෙන් ආරක්ෂා කිරීමට උත්සාහ ගත්හ. රජුගේ ආශිර්වාදය අභයගිරිකයින්ට හා ජේතවනිකයන්ට ලැබුණු නිසා මේ ක්‍රියාදාමයට දැඩි බලපෑම් ඇති වීය. අවසානයේ දී මේඝවර්ණාභය නම් ඇමතියාගේ දූරදර්ශි ක්‍රියාමාර්ගය නිසා මහා විහාරය නැවත ගොඩ නැඟීමට රජු කටයුතු කළේ ය. ආගමික වශයෙන් මෙවන් මතවාද දැරූව ද ඔහු ආර්ථික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ජනතාවට මෙහෙවරක් ඉටු කළ රජ කෙනෙකි. මින්නේරිය, මාගල්ල, හුරු`ඵ වැව ආදී වැව් රාශියක් කරවා කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කළේ ය. මේ නිසා ම අද පවා රටවැසියන් එතුමාගේ නාමය ගෞරවයෙන් සිහිපත් කරන්නේ ‘මින්නේරි දෙවියෝ’ යන නාමය ද සමඟිනි.
මෙම රජුගෙන් පසු නැවතත් ආක්‍රමණයක් දකුණු ඉන්දියාවෙන් එල්ල වූ බව පෙනේ. ඒ මිත්‍රසේන රජුගේ කාලයේ දී ය. පණ්ඩු, පාරින්ද, දාටිය, තිරිතර, පිඨිය, ඛුද්ධපාරින්ද නමින් හැඳින්වෙන ඔවුන් පිළිවෙළින් වසර 27ක් තරම් දීර්ඝ කාලයක් මේ රට පාලනය කළහ. ඔවුන්ගේ ද පාලන මධ්‍යස්ථානය වූයේ අනුරාධපුරය යි. මොවුන් ගෙන ගිය කෲර පාලනය නිමා කළේ ධාතුසේන නම් කුමාරයා ය. ඔහු කුඩා කාලයේ දී විහාරස්ථානයක ආරක්ෂිතව සිටි අතර සුදුසු කාලයේ දී ද්‍රවිඩයන් සමඟ සටන් කොට පළවා හැරීමට සමත් වීය. කලාවැව, යෝධ ඇළ ආදිය තුළින් රටේ කෘෂිකර්මාන්තයට සේවාවක් කළ ඔහු තම පුතුගේ කෲර වදහිංසා නිසා මරණයට පත් වීය. ඔහුගේ පුතුන් දෙදෙනෙකි. මෙයින් එක් අයෙකු වූ කාශ්‍යප රටේ රජකම භාරගත් අතර ඉන්දියාවට පැන ගිය මුගලන් කුමරු සේනා සංවිධානය කොට නැවත මෙරටට අවුත් ඔහුව මරා රජකමට පත් වීය. මෙහිදී ද ඔහුව ආරක්ෂා කර ගනිමින් යුද්ධ කණ්ඩායමක් සකස් කර ගැනීමට ඉන්දියානුවන්ගෙන් සහාය ලැබී ඇත. ඔහු පැමිණියේ ඉන්දීය සේනාවක් ද සහිතව ය. අනුර-ාධපුරයේ රජකළ දෙවන අග්බෝ රජු කාලිංග දේශය සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇත. කාලිංග රටේ රජු තම බිසවත් ඇමතියෙකුත් සමඟ මෙහි පැමිණ ඇත්තේ රැකවරණය පතා ය. ඒ අනුව දේශපාලනය ක්‍රමවත්ව තිබූ බව අනුමාන කළ හැකි ය. අනුරාධපුරයේ රජකළ සිව්වන මහින්ද රජු ද විවාහ වූයේ කාලිංග දේශයෙන් ගෙන්වා ගත් කාලිංග කුමාරිකාවකි. සිවුවැනි සේන රජුගේ කාලයේ දී නැවතත් ද්‍රවිඩ ආක්‍රමණයක් සිදු වී ඇත. දෙවන පරන්තක නම් රජෙක් ඔහුට එරෙහිව දකුණු ඉන්දියාවේ සිට ආක්‍රමණයක් ගෙන ගිය බව සඳහන් වේ. මේ කාලයේ දී තුන්වන ක්‍රිෂ්ණ නම් රාෂ්ටකූට රජු ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ආක්‍රමණය කර ඇත. එහෙත් ඒවායින් රට ආරක්ෂා කර ගැනීමට රජු සමත්ව ඇත.
අනුරාධපුරයේ අවසන් පාලකයා ලෙස සැලකෙන පස්වන මිහිඳු රජතුමා තම සේවකයින්ට වැටුප් නොගෙවීම හේතුවෙන් කැරැල්ලක් මතු වූ අතර ඒ සමඟ ම පළමුවන රාජරාජ නම් චෝල රජෙක් මෙරට ආක්‍රමණය කළේ ය. ඔවුන් අපේ රට මුම්මඩිශෝලමණ්ඩලම් වශයෙන් හඳුන්වා පොලොන්නරුව පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරා ගෙන(ජනනාථපුරම්) සියවසකට ආසන්න කාලයක් මෙරට පාලනය කර ඇත.  ඔවුන්ගෙන් රට ගලවා ගන්නේ පළමුවැනි විජයබාහු නම් රජතුමා ය. මේ කාලයේ දී දකුණු ඉන්දියාවෙන් දැඩි බාධක ආවත් ඒ සෑම දේ කෙරෙහි ම නොසැලී කටයුතු කිරීමට ඔහුට හැකි විය. එතුමාට පැවරී තිබුණේ විනාශයට පත්ව තිබූ වෙහෙරවිහාර ප්‍රතිසංස්කරණය කිරීමට ය. ඔහු බෞද්ධාගමට පමණක් නොව අන් ආගම්වලට ද සමසේ ක්‍රියාකර ඇත. කන්තලේ හින්දු කෝවිලක් ‘විජයරාජේශ්වරම්’ යනුවෙන් තිබීමෙන් මෙය මොනවට පැහැදිලි වේ. ආර්ථිකමය වශයෙන් ඔහුට වැව් තැනිමට නොහැකි වූවාට තිබූ වැව් ප්‍රතිසංස්කරණය කිරීමට දැඩි උත්සාහයක යෙදුණි.
පළමු විජයබාහු රජු තමන්ට දකුණු ඉන්දියාවෙන් බලපෑම් එල්ල වේ යැයි සිතූ නිසා ම කාලිංග දේශයත් සමඟ මෙන් ම පාණ්ඩ්‍ය දේශයත් සමඟ සබඳතා ඇති කර ගත්තේ ය. ඔහු තිලෝකසුන්දරී නම් කුමරිය ගෙන්වා ගෙන විවාහ වීය. තම මිත්තා නම් සොයුරිය පාණ්ඩ්‍ය දේශයේ කුමාරයෙකුට විවාහ කර දුන්නේ ය. ඔහු චෝල විරෝධි අයෙක් විය. මේ නිසාමය ඔහු චෝලයින්ගේ පරම හතුරන් වන පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන්වා ගත් කුමරෙකුට තම සොයුරිය විවාහ කර දුන්නේ. විජයබාහුගේ පාලනයෙන් පසුව නැවතත් රට කොටස්වලට බෙදී ගිය අතර පරාක්‍රමබාහු රජු රජකම ලබා ගෙන එය වළක්වාලී ය. ඔහුගේ කාලයේ දී සිදු වූ විශේෂිත ම කාරණාවක් ලෙස පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කිරීම පෙන්වා දීමට හැකි ය. ඒ එතුමාගේ රාජ්‍යත්වයෙන් වසර 16ක් ඉක්ම ගිය පසුව ය. එකල මදුරාපුරයේ පාලකයා වූයේ පරාක්‍රම පණ්ඩ්‍ය නම් කුමාරයෙකි.  පාණ්ඩ්‍ය සිහසුනට උරුමකම් කී කුලශේඛර නම් කුමාරයෙක් චෝල රජුගේ ද ආධාර ඇතිව මදුරාපුරය ආක්‍රමණය කළේ ය. මේ අවස්ථාවේ දී එරට රජු ශ්‍රී ලාංකික රජුගෙන් ආධාර ඉල්ලා සිටි අතර පෙර සිට දෙරට අතර ඇතිව තිබූ සබඳතා සිහිපත් කළ ඔහු ලංකාපුර හා ජගද්විජය නම් සෙනෙවියන් දෙපළ ඇතු`ඵ පිරිසක් යැවීමට කටයුතු කළේ ය. එසේ වුව ද කුලශේඛර කුමරු පරාක්‍රම පණ්ඩ්‍ය හා ඔහුගේ දේවිය හා දරුවන් මරා දැමූ බවට ආරංචි වූ හෙයින් ලංකාවේ රජු පාණුඩ්‍ය රාජ්‍යය ආක්‍රමණය කොට කුලශේඛර කුමරු නෙරපා දමා පරාක්‍රම පණ්ඩ්‍යගේ ඥාති අයෙකුට රජකම ලබා දී එන ලෙස තම සේනාවට අණ කළේ ය.
මේ ආකාරයට සටනට ගිය සේනාවට කුලශේඛර කුමරුන්ගෙන් හා ඔහුගේ සේනාවෙන් මහත් පීඩාවක් ඇති කළේ ය. එහෙත් මෙරටින් ගිය පිරිසගේ උපක්‍රමශීලි ක්‍රියා කලාපය නිසා ජය ලබා ගැනීමට හැකි විය. අවසානයේ එරටේ බලකොටුවක් තනා එය පරාක්‍රමපුර ලෙස නම් තැබී ය. මෙහි දී අල්ලා ගත් චෝලයින් මෙරටට ගෙන්වා ගෙන විනාශකර දමා තිබූ රුවන්වැලි සැයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවා යොමු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මේ අතර කුලශේඛර කුමරු කිහිප විටක දීම මදුරාපුරයට ආක්‍රමණ එල්ල කළ අතර සිංහල සේනා ජය පරාජ දෙකට ම මැදි වෙමින් ඉදිරියට ගොස් අවසානයේ දී මදුරාපුරය යටත් කරගත් බව පෙනේ. ඉන් පසු මලය දේශයේ සැඟවී සිටි වීරපාණ්ඩ්‍ය නම් කුමාරයෙකු කැඳවා ගෙන අවුත් ලංකාවෙන් යවන ලද රන්-රුවන් ආදී දේවල් පිරිනමා ලංකාවේ රජුගේ නියෝජිතයා වශයෙන් පාණ්ඩ්‍ය සිංහාසනයේ තැබුවේ ය.
මුල දී මෙසේ මදුරාපුරයෙන් ජය ලැබුව ද ඉන් පසු ලංකාපුර හා ජගද්වීජ යන සෙන්පතීන් දෙදෙනා කුලශේඛරට ආධාර පිණිස ආ චෝල හමුදා අතින් මරණයට පත් වීය. ඒ දෙදෙනාගේ හිස් මදුරාපුර දොරටුවට තබා ඇණ ගසා තිබූ බවත් දකුණු ඉන්දීය සෙල්ලිපිවලින් අනාවරණය වේ. එතැන් පටන් දිගින් දිගට ම සිංහල සේනා හා චෝළ සේනා සටන් වදිමින් මදුරාපුරය සිහසුන් උරුමය රැක ගැනීමට උත්සාහ කළ බව පෙනේ. එසේ වුව ද චෝළ හමුදා ආධාරයෙන් සිහසුනට පත් සෑම පාණ්ඩ්‍ය කුමාරයෙක් ම පරාක්‍රමබාහු රජු සමඟ සබඳතා පැවැත් වූ බව චෝළ සෙල්ලිපි වලින් අනාවරණය වේ. ආර්ථික කටයුතු මනාව පවත්වාගෙන ගිය රජු විදේශ රටවල් සමඟ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර ඇත. ඉන්දියාවේ සින්ධ් ප්‍රදේශයෙන් අශ්වයන් ගෙන්වා ගත් බවට තොරතුරු ඉතිහාසයේ සඳහන් වේ.
ඔහුගෙන් පසුව නිශ්ශංකමල්ල රජු රට භාරගත් අතර ඔහු කාලිංග වංශිකයෙකි. ඔහු කාලිංග වංශිකයෙක් වුව ද තමන් රටේ රජකමට උරුමක්කාරයෙකු බව ‘ගල්පොත ශිලා ලිපිය’ මඟින් පෙන්වා දීමට වෑයම් කර ඇත.  මේ අතර රජවරුන් කිහිප පෙළකට පසුව ලීලාවතී නම් බිසව රජකමට පත්වීය. ඇය කාලිංග වංශික කාන්තාවක වූ අතර පරාක්‍රමබාහු රජුගේ අගමෙහෙසිය යි. අවස්ථා කිහිපයක දී ම ඇයට බාධක එල්ල වුවත් අවසානයේ දී ලෝකේශවර නම් කාලිංගයෙන් පැමිණි අයෙක් රජය පැහැර ගත්තේ ය. ඔහු වසරක් පමණ කාලයක රජ කළ අතර මෙයට අකැමැති වූ පරාක්‍රම නැමැති සෙනෙවියා ඔහු සිහසුනෙන් නෙරපා දමා නැවත ලීලාවතී දේවිය රජකමට පත්කර ඇත. එහෙත් ලිලාවතී දේවියටත් පරාක්‍රම සෙන්පතියාටත් වැඩි කලක් රට පාලනය කිරීමට හැකියාවක් නොවූයේ පරාක්‍රම පාණ්ඩ්‍ය නම් කුමාරයෙක් රට ආක්‍රමණය කළ නිසාවෙනි.  ඔහු වසර තුනක් රජය කරවී ය. ඔහුගේ මෙම  තුන් අවුරුදු පාලනයෙන් අනතුරුව කේරළ හමුදාවක් රැගෙන කාලිංගයේ සිට මාඝ නමැත්තෙක් මෙරටට පැමිණියේ ය. ඔහු සිහසුනට පත් වූ අතර ඔහු ගෙන ගිය දරුණු කෲර පාලනය නිසාවෙන් පොළොන්නරු රාජධානිය විනාශ වී ගියේ ය. ඔහුගේ බිහිසුණු ක්‍රියා නිසා රජරටින් පලා ආ සුභ නැමැති සෙනෙවියකු විසින් සුභ නැමැති පර්වතයෙහි ආරක්ෂිත ස්ථානයක් ආරම්භ කරන ලදි. කේරළ රාක්ෂසයින්ගේ පැමිණිම වළක්වමින් වෛශ්‍රවණයන්ගේ ආලකමන්දාවට සමාන ආරක්ෂක බලකොටුවක් සුභ පර්වතය මුදුනෙහි ගොඩනඟන ලදී. ඔහු මෙහි සිට ප්‍රදේශයත් සාසනයත් ආර-ක්ෂා කළ බව සඳහන් වේ. මේ ආකාරයට ම ගෝවින්ද හෙළ නම් ස්ථානයෙහි තම වාසස්ථානය කර ගනිමින් තවත් පාලකයෙක් පාලන මධ්‍යස්ථානයක් පිහිටුවා ගත්තේ ය.
මේ ආකාරයට මාඝගේ පාලනයට යොදුන් දෙකක් තරම් ඈතින් පිහිටා තිබූ මේ ප්‍රාදේශීය පාලන ඒකකය නිසා ඔහු අතිශය රණ ශූරයෙකු ලෙස ඉතිහාසයේ සඳහන් වේ. මේ පිරිසට අමතරව වන්නිරාජ නමින් හැඳින්වෙන විජයබාහු නම් කුමාරයෙක් ද දඹදෙණිය මධ්‍යස්ථානය කරගෙන මාඝගේ හමුදාවලින් මායා රට මුදා ගැනීමේ මෙහෙවරෙහි යෙදී සිටියේ ය. ඔහු දන්තධාතූන් වහන්සේ ද පාත්‍ර ධාතුව ද ඇතු`ඵව පූජ්‍ය වස්තූන් ද භික්ෂුන් වහන්සේලාගේ ද සහය ලබා සිටි නිසාවෙන් රාජ්‍ය බලයට පත් වීමට හිරිහැර කිරීමට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.  කෙසේ වුව ද සිංහල රජුගේ මාඝ එළවීමේ ක්‍රියාවලියට පාණ්ඩ්‍ය රජුන්ගේ ද සහාය ලැබුණු බව සඳහන් වේ. එහෙත් විජයබාහු කුමාරයාට නැවතත් චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණයට මුහුණ දීමට සිදු විය.  මෙවක ඔහු උතුරු ලංකා ප්‍රදේශයට පැමිණ තමාත් බෞද්ධ යැයි ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරමින් ඉහත සඳහන් කළ මාඝගේ බලකොටු පැවති මානමත්ථ, ගෝණ, දෙබරපටුන ආදී ප්‍රදේශවල ජනතා සහයෝගය ඇතිව මහසෙනඟ පිරිවරා ගෙනවුත් යාපහුව වටලා ‘දන්තධාතූන් වහන්සේ හා පාත්‍ර ධාතූන් වහන්සේ දෙව නැත්නම් ලංකා රාජ්‍යය දෙව’ යනුවෙන් ඉල්ලා සිටි බව සඳහන් වේ.
මේ වන විට රජතුමා යාපහුව, වාගිරිගල සහ වත්තල ආදී ප්‍රදේශවල කඳවුරු බලකොටු පිහිටුවා ගෙන තිබුණි. එතුමාගේ වැඩිමහ`ඵ පුත් විජයබාහු හා බෑණනුවන් වූ වීරබාහු සො-හොයුරෙකු වූ තිලෝකමල්ල යන අයගේ ප්‍රධානත්වයෙන් යැවූ බල ඇණිය චන්ද්‍රභානු මරා දැමූ බව සඳහන් වේ. මෙම අවස්ථාවේ දී රජුගේ සහායට පාණ්ඩ්‍ය දේශයෙන් හමුදා බල ඇණි මෙහි පැමිණ තිබේ. මෙයට හිලවු ලෙස පඬිරජු ජාවක රජුගේ පුතෙකු උතුරු ලංකාවේ නියෝජිතයා වශයෙන් පත් කළ බැව් පාණ්ඩ්‍ය සෙල්ලිපි වලින් අනාවරණය වේ. චන්ද්‍රභානුගේ මෙම දෙවන ආක්‍රමණය සිදු වී ඇත්තේ 1262 දී බව ගණන් බලා ඇත. ඔහුගේ ආක්‍රමණය විනාශ කිරීමට දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය දේශයෙන් ආධාර ලබා ගත් නිසාා පසු කලෙක චන්ද්‍රභානුගේ පුතෙකු උතුරේ පාලනය සඳහා යෙදවූ බව  පාණ්ඩ්‍ය සෙල්ලිපිවල දැක් වේ. පළමු බුවනෙකබාහු රජුට දඹදෙණියේ රාජ්‍ය කරන ගමන් ම පාණ්ඩ්‍ය අධිරා්‍යයයෙන් උපකාර ලබන උතුරේ පාලකයා පිළිබඳ විමසිල්ලෙන් පසුවීමට සිදුවිය.  මේ හේතුව නිසා ම තම පාලන මධ්‍යස්ථානය යාපහුවට රැගෙන ගියේ එහි තිබෙන ආරක්ෂිත බව වටහා ගැනීමෙනි. එම ස්ථානය චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය වැළකූ ස්ථානය යි. මෙසේ ඉතා සුපරික්ෂාකාරී පාලනයක් ගෙන ගිය අතර ම ඔහුට ආ දේශපාලන අභියෝගවලට ඉතා සාර්ථක ලෙස ඔහු මුහුණ දුන්නේ ය.
මෙහි දී ඔහු සිදුකළේ විදේශයන් සමඟ ඇති කරගෙන තිබූ සබඳතා තව තවත් වර්ධනය කර ගැනීමයි. ඊජිප්තු සුල්තාන්වරයා සමඟ ඍජුව ම වෙළඳ සබඳතා පවත්වා ගෙන යාම විශේෂයෙන් මෙහි දී සඳහන් කළ හැකි ය. ඔහුගේ මෙම කටයුතු කරගෙන යන ගමන් ම සාසනික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් රටවැසියන්ට මහත් සේවාවක් ද ඉටු කළේ ය. ත්‍රිපිටක ධර්මය ලියවා ඒවා මිනිසුන්ට කියැවීමට සැළැස්වීම, වාර්ෂික උපසම්පදා උත්සව පැවැත්වීම ආදිය මෙන් ම දළඳා වහන්සේ තැන්පත් කිරීම සඳහා අතිශය මනහර මාළිඟයක් ද ඉදිකළ බව සඳහන් වේ. කෙසේ වුව ද ඔහුගේ අවසාන කාලයේ දී දේශපාලන මතභේද හටගත්තේ ය. මෙයින් උපරිම වාසිය තමන් වෙත නතු කරගත් උතුරේ පාලනය ගෙන ගිය ජාවක රජු දළදා වහන්සේ යාපනයට රැගෙන ගොස් පසුව ලංකා නියෝජිතයින්ගේ ඉල්ලීම මත පඬී රජු සෙන්පතියෙකු එවා දළඳාව එරටට රැගෙන ගිය බව පෙන්වා දෙයි. ක්‍රිස්තු පූර්ව සිව් වන සියවසේ පටන් දිවයිනේ රාජ්‍යත්වයේ සංකේතය බඳුව පැවති දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍ර ධාතූන් වහන්සේ මෙරටින් බැහැර වූයේ පළමු වතාවට ය. ඔහුගෙන් පසුව තුන්වන විජයබාහු රජුගේ පුත් පරාක්‍රමබාහු කුමරු නැවත දන්ත ධාතූන් වහන්සේ මෙරටට ගෙන්වා ගෙන රාජ්‍යත්වයට පත්වූ බවත් ඔහු දළඳාව තැන්පත් කිරීමට පොළොන්නරුවේ රමණීය මැදුරක් කරවූ බවත් සඳහන් වේ. එසේ වුව ද ඔහු රජකම් කළේ වසර 05ක් තරම් කෙටි කාලයකි. දෙවන බුවනෙකබාහු කුමරු  ඔහුගෙන් රාජ්‍යය ගත්තේ ය. 1292 දී රජ බවට පත් වූ සමයේ නැවතත් ත්‍රීකුණාමලයෙන් චෝල ආක්‍රමණිකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. ඒ ආක්‍රමණ රජු පරාජය කළේ ය. එහෙත් ඔහු තම පාලන මධ්‍යස්ථානය ලෙස කුරුණෑගල පත්කර ගත්තේ ය. රාජධානි උතුරු දෙසට සංක්‍රමණය වීමට ප්‍රධානතම හේතුව වූයේ දකුණු ඉන්දියානු බලපෑම් බව මෙහිදී ඕනෑ ම අයෙකුට වැටහේ. ඒ නිසා ම පාලන මධ්‍යස්ථාන කෙටි කාලීන වූ අතර රජවරුන්ගේ පාලනය ද කෙටි කාලීන විය. කුරුණෑගල යුගයේ දීත් ගම්පොළ යුගයේ දීත් සු`ඵ වශයෙන් ඉන්දීය ආක්‍රමණ එල්ල වී ඇති අතර ඒවා ඉතා ඉක්මනින් විනාශ කිරීමට ලක්රජුට හැකියාව ලැබී ඇත.
සමහර අවස්ථාවල දී එතරම් ප්‍රසිද්ධ නැති ඉන්දියානු පාලකයින් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට සේනාවන් එවූ බවත් ඒවා යටත් කරගත් බවත් ඔවුන් විසින් පිහිටවූ ශිලා ලේඛනවල පෙන්වා දී තිබේ. විනයාදිත්‍යගේ ‘චක්කලේරි’ පුවරු ලිපිය ද(ක්‍රි.ව.681-696) නන්දිවර්මන්ගේ ‘කසුක්කුඩි’ පුවරු ලිපිය ද මෙයට හොඳ ම නිදසුන් ය. පසළොස්වන සියවස ආරම්භ වන විට දකුණු ඉන්දියාවේ බලයට පත්ව සිටි විජයනගර් අධිරාජ්‍යයට යාපනයේ අර්ධද්වීපය ද අයත්ව තිබු බව ඊට සමකාලීන මූලාශ්‍රවල සඳහන් වේ.  විජයනගර් රාජ්‍යය කාලයේ දෙවන හරිහර රජුගේ සමයේ දී ලංකාව ඇතු`ඵව රටවල් කිහිපයහක් ආක්‍රමණය කළ බව ඔහුගේ ‘ආලම්පුරි’ සන්නසේ සටහන්ව ඇත. විජයනගර් අධිරාජයා විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ආක්‍රමණය කළේ මේ කාලයේ දී බව පෙනේ. දෙවන දේවරාය නම් විජයනගර් රජුගේ කාලයේ දී ඔහුගේ සෙන්පතියෙකු වූ ලක්කණ්ණ දණ්ඩනායක නම් සෙනෙවියෙකු ලංකාව ආක්‍රමණය කළ බව සඳහන් වේ.  ඇතැම් විට උතුරු අර්ධද්වීපය ස්වාධීන වීමට තැත් කිරීමේ දී එය වැළැක්වූවා යැයි මෙහි දී සිතිය හැකි ය. මේ කාලයේ දී රායන් මලවරායන් නැමැත්තෙක් හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් ඉන්දියාවට යවන ලද නැව් කණ්ඩායමක් අදිවිරරාම පට්ටනමේ දී කොල්ලකෑමේ සිද්ධියක් හේතුවෙන් ලංකා හමුදාව එහි යවා එම පටුනට සහ අසල් ගම්වලට පහර දුන් බවත් එවක කණ්ණඩි හෙවත් විජයනගර හමුදා උදව් ඇතිව යාපන අර්ධද්වීපය පාලනය කරමින් සිටි ආර්ය චක්‍රවර්තිට එරෙහිව සපුමල් කුමාරයා යවා ආක්‍රමණයක් මෙහෙය වූ බවත් කියැවේ.
1449 දී සිදු වූ මෙම ආක්‍රමණයෙන් පසු කණකශූරිය ශිංගෛ ආරියන් දකුණු ඉන්දියාවට පලා ගිය අතර යාපනය ඇතු`ඵ උතුරු ලංකාව කෝට්ටේ රජු යටතට ගැනීමට එමඟින් හැකියාව ලැබුණි. 1469 දී සපුමල් කුමරු යාපන අර්ධද්වීපයේ රජු බවට පත් කළ අතර ඔහු වසර 20ක් තරම් දීර්ඝ කාලයක් එය ඉතා ක්‍රමවත්ව පාලනය කළේ ය. එහෙත් සේනා සංවිධානය කරගෙන නැවත මෙහි පැමිණි කණකශූරිය යාපා පටුන ජයගත් බව යාල්පාන ‘වෛපවමාලෙයි’ නම් දෙමළ කෘතියෙන් හෙළි වේ. ඔහු මිය යන තෙක් ම යාපනය පාලනය කළ අතර ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් පරරාජශේඛරන් ද ඉක්බිති ඔහුගේ පුත් සංකිලි නැමැත්තෙක් ද යාපනයේ රජ වීය. සංකිලිගේ කාලයේ දී මෙරට සංක්‍රමණය කළ පෘතුගීසීන් නිසා යාපනය පෘතුගීසීන් යටතට නතු කර ගත් බව පෙනේ. ඒ 1621 දී ය.
ආගමික හා සාමාජීය බලපෑම්
පොදු ජනයා සාමුහිකව ඇදහිලි පැවැත්වීමට ප්‍රිය කිරිම සැම ආගමක ම දැකිය හැකි ලක්ෂණයක් ය. ඒ සඳහා පුද පුජා පැවැත්වීම පොදුවේ සහභාගි විය හැකි කුසල කර්මවල යෙදීම ලංකාවේ ජිවත් වූවන්ගේ ක්‍රියාකලාපයකි. ශ්‍රී ලංකාවේ පොදුජන ආගමික චින්තනය සකස්වීමට ප්‍රධානතම ආභාසය ලැබුණේ බුදුසමය තුළින් බව අවිවාදයෙන් ම පිළිගත හැකි සත්‍යයකි.  මිහිඳු හිමියන්ගේ මුණ ගැසීමෙන් අනතුරුව රජතුමා හා රටවැසියන් එම දහම අසහාය ජීවන දර්ශනයක් ලෙස පිළිගැනීම නිසා මු`ඵ දිවයින පුරා ම දහම් මිහිර පැතිර ගොස් ජනතාවගේ ප්‍රධාන ආගමික චින්තනය බුදුදහම පාදක කොට ගෙන සකස් වූවක් බවට වංශකතාගත තොරතුරු සාක්ෂ්‍ය දරයි.  බුදුන් තෙවරක් වැඩම කළ රට ශ්‍රී ලංකාව යි. වෙන කිසිඳු රටකට එවන් වාර ගණනක් වැඩි බව ලිඛිත සටහනක් වෙනත් නැත. උන්වහන්සේගේ පාදස්පර්ශ ලත් රටට බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය ලැබුණේ මිහිඳු හිමියන්ගේ වැඩම වීමත් සමඟම ය.  උන් වහන්සේගේ ගමනය කලට වේලාවට තීරණය කරගෙන ම පැමිණි එකක් බව පෙනෙන්නේ භාරතයේ පැවැත් වූ තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමෙන් පසුව රටවල් කිහිපයකට දහම් පණිඩුඩය රැගෙන භික්ෂූන් වහන්සේලා වැඩි අතර  ලංකාවට වැඩම වීමට නියමිතව තිබුණේ උන් වහන්සේට ය. එහෙත් මෙකල රාජ්‍ය පාලනය කළ මුටසීව රජු මහලු වියේ පසු වූ බැවින් තම මවගේ ග්‍රාමයේ එතෙක් කල් වැඩ විසූ බව සඳහන් වේ. දේවානම්පිය තිස්ස රජුත් ධර්මාශෝක රජුත් අසල්වැසි රජවරුන් මෙන් ම බොහෝ කලක් ලිපි මඟින් මිත්‍රත්වය පවත්වාගෙන ගිය සහෘදයන් දෙදෙනෙකි.  මේ හේතුව මත ඔහුගේ පුත්‍ර රත්නය මෙරටට වැඩම වීම විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කිරීමට හැකි ය. මුටසීව රජුගේ මරණයෙන් ටික කලක් ඉක්ම ගිය පසු මිහිඳු හිමියන් මෙරටට වැඩම කළ සේක.
සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා
ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල මෙන් ම සුමන සාමණේරයන් වහන්සේ ද භණ්ඩුක උපාසක තැන ද සමඟින් උන්වහන්සේ අපේ රටේ වර්තමානයේ මිහින්තලය ප්‍රදේශයට වැඩම කළ සේක. උන්වහන්සේගේ පැමිණිමේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රකාශ කළේ මුලින් සඳහන් කළ ආකාරයෙනි. ‘මහරජ, අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද වෙමු. දඹදිව සිට ඔබලා කෙරෙහි අනුකම්පාව උපදවා මෙහි ආවෙමු’ යනුවෙන් පවසා ඇත්තේ මෙය යි.
මහින්දාගමනයට පෙර පැවති තත්ත්වය පිළිබඳ සඳහන් කරන මහාචාර්ය මලලසේකර ශූරීන් මෙසේ දක්වයි. “රටට සංක්‍රමණිකයින් පැමිණිමට අනුබලයක් සැළසීමේ ප්‍රතිපත්තියක් මෙහෙයවනු ලදුව විජය හා ඔහුගේ අනුප්‍රාප්තික රාජකීයයන් සෑම ආගමකය ම සමාන ලෙස සළකා ඇත. යක්ඛ දේවාලවලට සම්භාවනා වශයෙන් වාර්ෂික පුදපූජා පවා සම්පාදනය කරන ලදි. පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරයේ දැනට අභයගිරි පිහිටා ඇති ස්ථානයේ ඉදිකරන ලද තීර්ථාරාමය විදේශ ආගමිකයන්ට සපයන ලද එවැනි ස්ථානයකි. එසේ වුව ද බෞද්ධයන්ගේ ප්‍රයෝජනය සඳහා කිසිඳු ගොඩනැඟිල්ලක් ඉදිකරන ලද බවට සඳහනක් නැත. සමහර විට මෙය වංශකතාකරුවන් මිහිඳු හිමියන් වෙත සියලු අවධානය යොමුකොට ඒ මඟින් බුද්ධාගම ලක්දිවට හඳුන්වා දීමේ ගෞරවය ඉතා විශිෂ්ටතම පුද්ගලයා ලෙස සැලකුණු අශෝක අධිරාජයාට පිරිනැමීම සඳහා හිතාමතා ම කරන ලද්දක් විය හැකි ය.
තමන් කවුරුන් ද යන්න හඳුන්වා දීමෙන් අනතුරුව තමන් වැඩම කරන්නට යෙදුන මුඛ්‍යතම කාරණාව සඵල කරගනු වස් රටේ රජුගෙන් මුලින් ම ප්‍රශ්න කිහිපයක් අසන්නට යෙදුණි. මේ දැනුම පිරික්සීම පිණිසයි. එහිදී රජු දැක්වූ සාමර්ථය මත සෑහීමකට පත් වූ උන්වහන්සේ චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. තම කාර්යභාරය ඉටු කරනු වස් රජුගේ ද ආරාධනාව මත පසු දින ම රාජමාළිඟාවට වැඩම කළ උන්වහන්සේ එහි රැස් වූ  අතිවිශාල පිරිසට ධර්ම දේශනා පවත්වා ඔවුන්ගේ මීට පෙර ඇති වී තිබූ මථ්‍යා මතවාද සු`ඵවෙන් හෝ බිඳ හෙළීමට කටයුතු කළ සේක. භික්ෂු පැවිද්ද යන්න කුමක්දැයි රැස්ව සිටි පිරිසට පෙන්වා දෙනු වස් භණ්ඩුක උපාසක තැන පැවිදි කළේ ය.  මේ දිවිය ගැන කළකිරීමට පත්ව සිටි පිරිසට මෙය භාග්‍යවන්ත අවස්ථාවක් වීය. මේ නිසාවෙන් අරිට්ඨ කුමරු ඇතු`ඵ පිරිසගේ ඉල්ලීම මත පිරිසක් පැවිදි බවට පත් කළේ ය. දේශනා කළ ධර්ම දේශනා වලින් සිතූ පරිදි ම ප්‍රතිඵල නෙළාගත් මිහිඳු හිමියන් රජමාළිඟාවේ අනුලා බිසවගේ කාරුණික ඉල්ලීම මත කාන්තාවන්ට පැවිද්ද ලබා දෙනු වස් තම සොයුරිය වන සංඝමිත්තා තෙරණිය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ සේක.
සංඝමිත්තා තෙරණිය ද මෙහි වැඩම කළේ භික්ෂුණී සාසනය මෙරට ව්‍යාප්ත කිරීමේ ම අරමුණින් නොවේ. ඊට වඩා තවත් අරමුණු මෙන් ම පරමාර්ථ තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීමට සු`ඵ මොහොතකට පෙර බුද්ධ සාසනය අනාගතයේ දී පවතින්නේ අප රටේ බව උන්වහන්සේට එහිදී සිහිපත් වන්නට ඇත. ඒ නිසා ම ශ්‍රී ලාංකිකයින්ට බුද්ධ ගෞරවයෙන් පුද පූජා කිරීමට සුදුසු දායාදයක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ සේක. රටේ රජතුමා ද ඉමහත් ගෞරවයෙන් එය පිළිගත් අතර මහමෙව්නා උයනේ එය තැන්පත් කෙරිණි. පසුව සංඝමිත්තා තෙරණිය අනුලා බිසව ඇතු`ඵ පිරිස පැවිදි කළ අතර අවශ්‍ය විනය ආදිය ඉගැන්විණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පිරිසක් ද උන්වහන්සේ සමඟ පැමිණීම මත අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පය දියුණු වූ බව ඉතිහාසඥයෝ පවා පිළිගනිති. විවිධ හැකියාවලින් යුක්ත මෙම පිරිස නිසා අතිශය මනහර නිර්මාණයන් බිහිවිය. දේවානම් පියතිස්ස රජතුමා ඉන් පසු රටේ ජනතාවට බෞද්ධ සංකල්ප ඉටුකරගනු පිණිස මහත් වැඩ කටයුතු රාශියක් කළ බව පැහැදිලි වේ. විහාරාරාම ගොඩනැංවූ අතර ම ථූපාරාමය නම් වූ වෙහෙර ඔහුගේ වටිනා ම දායාදය වේ. පසුකාලීනව ගොඩනඟන්නට යෙදුණු රුවන්වැලි සෑය මිරිසවැටිය ලෝවාමහාපාය ආදී අතිවිශිෂ්ට නිර්මාණවලට භාරතයෙන් පැමිණි කුල 18ක පිරිස් සම්මාදම් වු බව අමුතුවෙන් කිවයුතු නොවේ.  සීගිරියේ කාශ්‍යප රජුන්ගේ නියමයෙන් අඳින ලද චිත්‍ර වුව ද මේ ශිල්පය උගත් පිරිසක් විසින් කළ බව පෙනේ. ලේඛන කලාව බිහි වීමේ දී වුව ද එයට අත්පොත තබන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. එවකට ඉන්දියාවේ ව්‍යාප්තව පැවති අක්ෂර කලාවේ මහිමය මෙරටට ද හඳුන්වා දීමට උන්වහන්සේ ක්‍රියා කළ බව පෙනේ.
අනුරාධපුර පොළොන්නරුව ආදී යුගවලින් ඇරඹි සාහිත්‍ය ප්‍රබෝධය බෞද්ධ සංකල්ප මුල් කරගත් ඒවා ම වීය. මේවා නිර්මාණයේ දී බුද්ධ චරිතය සඳහන් කිරීම නීතියක්ව පැවතියාක් වැන්න. ක්‍රි:වර්ෂ 05 සියවසේ භාරතයේ සිට බුද්ධදත්ත හිමියන්ගේ වැඩම වීමත් උන්වහන්සේ සාහිත්‍යකරණයේ නියැලීමත් මෙන් ම බුද්ධඝෝෂ හිමියන්ගේ ලංකාගමනයත් උන්වහන්සේගේ බෞද්ධ ග්‍රන්ථ රචනයත් මෙහි දී සඳහන් කිරීම වටී. පෙර තිබූ හෙළටුවා පාලි භාෂාවට නඟන ලද්දේ උන්වහන්සේ විසිනි. ත්‍රිපිටකයේ ඇති නිකායයන් වලට අටුවා ග්‍රන්ථ ද උන්වහන්සේ රචනා කිරීමෙන් උන්වහන්සේගේ රචනා කුසලතාව මෙන් ම මෙරට වැසි උගත් හිමිවරුන්ට ද සාහිත්‍ය කරණයට නව මංපෙත් විවර කර දීමක් වීය.
ප්‍රාග් බෞද්ධ යුගයේ මෙහි ජීවත් වූවන්ගේ ආගමික සංකල්ප මිථ්‍යා වූත් හුදු සංකල්ප බව අමුතුවෙන් කිව යුතු නොවේ. ස්වභාවික වස්තූන් මේ ලෝකයේ සෑම දෙයක් ම ඇති නැති කරන බව ඔවුන්ගේ චින්තනය වීය. හිරුසඳු වන්දනාව, ගස් ගල් පර්වත වන්දනාව, යක්ෂ දේව නාග වන්දනාව මෙන් ම මළවුන් පිදීම ආදිය ආගමික විධි ලෙස ඔවුහු කරගෙන ආහ. මෙහි දී මිහිඳු හිමියන් කළේ ඔවුන්ගේ ඒ පුද පූඩා වලට සරිලන ආකාරයේ බෞද්ධ පුජා ක්‍රම හඳුන්වා දීමයි.  ඒ අනුව රූක්ෂ ගස් වන්දනා කරනු වෙනුවට බෝසතාණෝ බුද්ධත්වය ලබා ගැනීමට ආධාර කළ ශ්‍රී මහා බෝධිය ද පර්වත වන්දනාව වෙනුවට බුදුන්ගේ ශාරීරික ධාතු තැන්පත් ස්ථූපයන් ද තමන්ට නොපෙනෙන දෙවියන් හෝ අද්භූත බලවේග වන්දනා කරනු වෙනුවට වෙනත් බෞද්ධ සංකල්ප ද හඳුන්වා දුන් සේක. තමන්ගේ දෛනික ජීවිතයේ පෙර කළ කී දෑ සම්පූර්ණයෙන් ම වෙනස් වී නව බොදු සංකල්පවලින් සපිරි පිරිසක් ගොඩනැංවීමට මිහිඳු හිමියන්ට හැකියාව ලැබුණි.
බෞද්ධ සංකල්ප මේ යුගයේ ලැබුණාක් මෙන් බෞද්ධ යන සංකල්ප වැරදි ලෙස භාවිත කළ මහායාන දර්ශනය ද ලංකාවට හඳුන්වා දුන්නේ භාරතයෙන් ම ය. මෙයට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව ආගමික වශයෙන් ද භාරතය සමඟ සමීප සබඳතා පැවැත්වීමයි. මහසෙන් රජුගේ රාජ්‍ය කාලය මෙහි දී හොඳම උදාහරණය සේ සැළකිය හැකි ය. එතුමා මහා විහාරීය භික්ෂු කණ්ඩායමට අමතරව වළගම්බා රාජ්‍ය සමයේ බිහිවූ අභයගිරික සම්ප්‍රදායික භික්ෂූන්ට ද වඩා සාගලික නිකායික භික්ෂූන්ට බොහෝ සෙයින් සම්මාන සත්කාර කළේ ය. මෙයට ප්‍රධාන හේතුව එතුමා කුඩා කාලයේ දී අධ්‍යාපනය ලබා ගත්තේ සංඝමිත්‍ර නම් වෛතුල්‍යවාදී අදහස් දරණ මහායානික හිමිනමක ගෙනි. ජේතවන නම් නිකායක් බිහිවීම දක්වා එය වර්ධනය වී ගියේ ය. අවසානයේ දී මේඝවර්ණ නම් ඇමතියාගේ රජුට එරෙහිව එල්ල වූ කැරැල්ලත් සමඟ මෙය යටපත් වී ගියේ ය. එහෙත් එතුමා ඊට පෙර මහා විහාරයීය විහාරාරාම විනාශ කළේ ය. මහා විහාරයීය භික්ෂූන්ට සැලකීම ද නවත්වන ලෙස රටවැසියන්ට අණ කළේ ය.
අනුරාධපුර යුගයෙන් පසුව බෞද්ධ සංකල්ප වලට හින්දු සංකල්ප නැඹුරු වීය. කලින් කල මේ රට දකුනු ඉන්දීය පාලකයන්ගේ පාලනයට යටත් කර ගැනීම මෙහි දී මූලික ම කාරණාව වීය. මේ නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගත් අයට පවා මේ  සංකල්ප බිඳ දැමීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. සිංහල ජනතාවට අමතරව දෙමළ ජනතාව ද මෙහි පදිංචිකරුවෝ වූහ. මේ නිසා ඔවුන් අමතක කර දැමීමට රජුට පු`ඵවන් කමක් වූයේ නැත. විහාරාරාමවලට දේව ප්‍රතිමා සම්බන්ධ කිරීම මෙහි දී ප්‍රධාන ම කාරණාවක් වීය. විශේෂයෙන් ම සිංහල අපගේ අද්විතීය නිර්මාණයක් වන සඳකඩපහනින් ගවයා ඉවත් කිරීම ද හින්දු බලපෑම මත සිදු වූ බව අමුත්තක් නොවේ. එයට හේතුව වන්නේ ගවයා ඔවුන්ගේ පූජනීය වස්තුවක් වීමය.
අපේ රටේ තිබු පූජා භාණ්ඩ විවිධ අවස්ථාවන් වලට දකුණු ඉන්දීය සේනාවෝ පැහැරගෙන ගිය බව ඉතිහාසයෙන් පෙනේ. වළගම්බා රජුගේ දේවිය මෙන් ම බුදුහිමියන්ගේ පාත්‍රාධාතුව රැගෙන යෑමත් තවත් විටෙක දළඳා වහන්සේ රටින් රැගෙන යෑමත් මෙහි දී සඳහන් කිරීමට පු`ඵවනි. ශ්‍රී ලාංකිකයින්ගෙන් රාජ්‍යත්වයට පත් වීමේ දී මේවා අවශ්‍ය ම කරුණු නිසා දේශපාලන අංශය විනාශ කිරීමේ අරමුණින් මෙසේ රැගෙන ගිය බවට අනුමාන කළ හැකි ය. පොළොන්නරු යුගයේ දී චෝලයින්ගේ බලපෑම් වැඩිපුර ම එල්ල වූ සමයක් වීය. ඔවුන්ගේ සියවසකට අධික කාලය තුළ මෙරට වෙහෙර විහාර බොහෝ ප්‍රමාණයක් විනාශ කර දැමිණි. එහෙත් ඔවුන් මෙරට වැසියන්ට ශිව වන්දනාව සඳහා යොමු කිරීමට උත්සාහ කළබැව් සාධක නැත. පොළොන්නරුවේ ශිව දේවාල අංක 2 හැරුණු විට චෝලයින්ගේ වෙනත් ප්‍රකට ආගමික මධ්‍යස්ථානයක් මෙරට පැවති බවට සාධක ලැබී නැත. වෙල්ගම්වෙහෙර නමින් ප්‍රකටව වෙහෙරක් පිළිසකර කර එය ඔවුන් රාජරාජ පෙරුම්පල්ලි යන අලුත් නාමයක් යෙදූ හ. එසේ වුව ද එකොළොස්වන දොළොස්වන යුගවලදී පවා චෝල දේශයෙහිත් බුදු දහම ප්‍රචලිතව පැවතී තිබේ. අපේ රටේ හිමිවරුන් මෙන් ම චෝල දේශයේ හිමිවරුන් අතර සමීප සම්බන්ධතාවක් අනුරාධපුර යුගයේ දී මෙන් ම තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
පොළොන්නරු යුගයේ දී උතුරු ඉන්දියාවේ නම් බෞද්ධාගමික තත්ත්වය පිරිහී තිබුණු බව පෙනේ. රජයත් ආගමත් අතර සම්බන්ධය සළකා බැලීමේ දී පොළොන්නරු යුගය අවසාන කරමින් එල්ල වූ කාලිංග මාඝ ආක්‍රමණය විශේෂයෙන් සැලකිල්ලට ලක්විය යුත්තකි. කාලිංග මාඝ ආක්‍රමණය සිදුවූයේ ක්‍රි:වර්ෂ 1213-14 අතර කාලයේ දී ය.  මේ ආක්‍රමණය පිළිබඳව කෙරෙන විස්තරවලින් පෙනෙන්නේ භාරතීය සංස්කෘතියට මෙතෙක් නුහුරු නුපුරුදු ස්වරූපයකින් මෙම ආක්‍රමණය එල්ල වූ බවයි. විවිධ ඉන්දියානු රාජ්‍ය අතර ආක්‍රමණ හා සටන් ඇති වුව ද ඒවා කිසිවිටෙකත් මු`ඵ මහත් සංස්කෘතියක් වෙනස් කිරීමේ ස්වරූපයෙන් හෝ පරමාර්ථයෙන් හෝ සිදුවූ ඒවා නොවී ය. එහෙත් ක්‍රිස්තු වර්ෂ දහවන සියවසින් පසුව ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ආක්‍රමණ ඉන්දියානු සංස්කෘතියේ හැම අංශයකට ම බලපෑ අතර එය එම සංස්කෘතියේ හැම අංශයක් ම විනාශ කිරීමට එල්ල වූ ඒවා වීය. මේ ආක්‍රමණ නිසා බිඳ වැටුණු ඉන්දියානු සංස්කෘතියට යළි හිස එසවීමට ලැබුණේ විසිවන ශත වර්ෂයේ දී ය. කාලිංග මාඝගේ ආක්‍රමණය ද මෙබඳු විනාශකාරී ස්වරූපයක් ගත්තේ කවර හේතුවක් නිසාදැ’යි තවම පැහැදිලි නැත.
මහාචාර්ය පරණවිතාන ශූරීන් මාඝ පැමිණි ප්‍රදේශය වර්තමාන මැලේසියාව ලෙස හඳුනාගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක ප්‍රයත්නයකි.  කාලිංගය වශයෙන් වතර්මානයේ හැඳින්වෙන්නේ ආන්ද්‍ර දේශය හා ඔරිස්සාවයි. මහායාන ආගමේ ප්‍රධාන මධ්‍යස්ථාන තිබුණේ ද මේ ප්‍රදේශයේ ය. මාඝ මෙරටට පැමිණෙන සමයේ කාලිංගයට සමීපයෙන් වූ බෙංගාලයේ ඉන්දියානු සංස්කෘතිය ලැව් ගින්නක් සේ විනාශ වී යමින් පැවතුණි. මීට හේතුව භක්තියාර් බල්ජිගේ දරුණු ප්‍රහාරය යි. සිංහල සංස්කෘතිය විනාශ කිරීමට මේ ආක්‍රමණය ආභාසය කොට ගත්තාදැ’යි සිතිය හැකි ය.
මාඝගේ ආක්‍රමණය සිංහල සංස්කෘතිය හා එහි සියලු පවුරු පදනම් ද බිඳ දමන්නක් ම විය. විවිධ ජාතීන්ගෙන් සමන්විත ඔහුගේ  හමුදාවෝ වෙහෙර විහාර කඩා බිඳ දමා ගිනිලමින් විනාශ කළෝ ය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස අමු අමුවේ ඝාතනය කර දැමුවෝ ය. සමාජ සංවිධානයේ හා ආර්ථිකයේ ජිීවනාලිය වූ ප්‍රභූ පන්තිය නිර්දය ලෙස ඝාතනය කර දමන අතර වාරිමාර්ග පද්ධතිය මු`ඵමනින් ම විනාශ කර දැමුවෝ ය. පොත්ගුල් වලින් එළියට ඇද දමනු ලැබූ පොත්පත් ගිනි දෙවියාට පිදූහ.  වංසකතා කතුවරයා කියන පරිදි ලංකාවාසීන්ගේ පුරාකෘත මහත් අකුසල කර්මයක් නිසා රටට ආරක්ෂාව සැපයූ දෙවවිරුන් උදාසීනව අහක බලා ගත් නිසා මේ විනාශය සිදු විය.  දහනව වන ශත වර්ෂයේ දී ලංකාවට පැමිණි කෝල්බෲක් පවසන්නේ එවකට පැවති ප්‍රජාතන්ත්‍රවාදය වූයේ මේ විකාශය සිදුකරණ ලද්දේ සිංහල බෞද්ධයන් කුල භේදය නොතැකීමෙන් කුපිත වූ බමුණන් විසින් පොළඹවන ලද මලබාරයන් විසින් බවයි. පැරණි සිංහල සංස්කෘතියේ නිජභූමිය වූ උතුරු ප්‍රදේශ විනාශ කොට ජනශූන්‍ය කිරීමෙන් අනතුරුව මලබාරයෝ මෙහි පදිංචි වූහ.
මේ අතර පාලන තන්ත්‍රය ද තන්ත්‍රයාන, වජ්‍රයාන වැනි නිකායයන්ට අනුග්‍රහ දැක්වූව ද ථේරවාදී දර්ශනයට අනුග්‍රහයක් නොකළ බව සඳහන් වේ. චෝල දේශය සමඟ ආගමික වශයෙන් සබඳතා පවත්වාගැනීමට හැකි වුව ද දේශපාලනමය වශයෙන් තිබූ ව්‍යාකූල තත්ත්වය මත මෙරටේ පිරිහෙමින් පැවති උපසම්පදා ශීලය නැවත වරක් පිහිටුවීමට රාමඤ්ඤ දේශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගෙන ඒමට රජුට සිදු වීය. මෙකල උතුරු ඉන්දියාවේ බෞද්ධ ආගමික තත්ත්වය පරිහානියට පත්ව තිබුණ ද බුද්ධගයාව වැනි සිද්ධස්ථානවලට යෑමට අවහිරයක් කාටවත් නොවීය. මේ නිසා ශ්‍රී ලංකාවේ රජු එහි මහා විහාරයට පූජා කිරීම සඳහා පූජා පඬුරු යැවූ බව සඳහන් වේ.
අනුරාධපුර පොළොන්නරු යුගවලදීත් ඉන් පසු ඇරඹි දඹදෙණි, කුරුණැගල, ගම්පල, යාපහුව ආදී යුගවලදීත් ආගමික කටයුතුවලට ඉන්දියාවේ බලපෑම් ලැබුණු බව පෙනේ. සමාජීය තත්ත්වය පිලිබඳ විමසීමේ දී ද භාරතය පුරාම ව්‍යාප්තව පැවති වර්ණවාදී සංකල්ප මෙහිත් ඒ ආකාරයට ම පැවති බව පෙනේ. ක්ෂත්‍රීය වෛශ්‍ය බ්‍රාහ්මණ ක්ෂුද්‍ර ආදී වර්ණ 04 භාරතයේ තිබූ වර්ණ ය. මෙරටෙහි දඒවා පැවති බව පණ්ඩුකාභය කුමරු රාජ්‍යත්වයට පත්වී අනුරාධපුර නගර නිර්මාණයේ දී පහත් කුලවලට ගම්මාන පවා බෙදා දැක්වීමෙන් පෙනී යයි. රාජ්‍යත්වයට පත් වීමේ දී වුව ද ඒ සඳහා පරම්පරාව බලපානු ලැබේ. පොළොන්නරු යුගයේ දී රජ බවට පත් නිශ්ශංකමල්ල රජතුමා තමන් රාජ වංහිකයෙකු යැයි ඔප්පු කිරීමට ගත් උත්සාහය මෙහි දී නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය.
කලාව හා සාහිත්‍යයේ බලපෑම්
ඉන්දියාව සමීපයේ ශ්‍රී ලංකාව පිහිටා තිබීම නිසා කලාව හා සාහිත්‍යය අතින් ද මෙරටට යම් තරමක හෝ අභාසයක් ලැබුණු බව අප ඒකමතිකව පිළිගන්නා කරුණකි. ඒ සබඳතාව ඈත අතීතයට දිවෙන්නෙකි. ලිපි ලිවීමක් පිළිබඳව සටහනක් මුලින් ම දැකගත හැකිවන්නේ පණ්ඩුවාසදේව රජු තම මුණුපුරා වූ පණ්ඩුකාභය කුමරුන්ට යැවූ ලිපියකින් හා චිත්‍රා දේවිය පණ්ඩුල බ්‍රාහ්මණයා වෙත යැවූ ලිපයත් නිසාවෙනි. සාහිත්‍ය ග්‍රන්ථ ලිවීමේ දී රාවණා රජු වෛද්‍ය ග්‍රන්ථ 04ක් ලියා ඇති බව පෙනේ. ඒ අතර එකක් වන්නේ ඔඞ්ඩීස තත්ත්‍රයයි. අපේ සාහිත්‍ය මෙන් ම ලේඛන කලාව දියුණු බවට පත්වන්නේ මිහිඳු හිමියන් මෙහි පැමිණ එවකට ඉන්දියාවේ පැවති දියුණු ලේඛන කලාව අපට හඳුන්වා දීමත් සමඟ ය. ඊට පෙර මෙහි ලේඛන කලාවක් හෝ සාහිත්‍යයක් මෙරට නොපැවතියේ යැයි සඳහන් කිරීම යුක්ති නොවේ.
මිහිඳු හිමියන් මෙරටට වැඩමකොට මෙහි සාසනය පිහිටු වීමත් එක්කම සාහිත්‍යයේ ද ප්‍රබෝධයක් ඇති විය. ඒ ඇති වූ දියුණුව ගොඩනැඟුණේ බෞද්ධ මුහුණුවරකිනි. අනුරාධපුර යුගයෙන් ඇරඹි සාහිත්‍යය පොළොන්නරුව, කුරුණෑගල, දඹදෙණියාදී යුගවලදී දියුණු තියුණු භාවයට පත් වීය. මේ දියුණු වීමේ දී ඒ සඳහා මුල් මනැංගුරම දැමූයේ ඉන්දියාව යැයි පැවසීම වටී. ගෘහ නිර්මාණ ශිල්පය ද දියුණු වූයේ දුමින්දාගමනයත් සමඟ ය. සංඝමිත්තාව ඇතු`ඵ පිරිස  සමඟ බෝධි ආරක්ෂාව සඳහා කුල 18ක පිරිසක් මෙහි පැමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. ඔවුන් මෙහි පැමිණ කලාත්මක නිර්මාණ බිහිකරන්නට ඇත. ඔවුන්ගේ පරම්පරාවලින් බිහි වූ දරුවන් නිසා තවතවත් කලා කුසලතා එළි දැක්වී ඇත. සීගිරියේ සිතුවම්, රුවන්වැලිසෑය, ලෝවාමහාපායාදී නිර්මාණ බිහිවූයේ මේ නිසාවෙනි.
වර්තමානයේ ඉන්දියාවේ වාසය කරන පිරිස් අතුරින් හින්දු භක්තිකයන් ද වැඩි ප්‍රමාණයක් ඇත. අප රටේ විවිධ අවස්ථාවල ඔවුන්ගේ සහාය ලබා ගෙන ඇත. දකුණු ඉන්දියානු වේලයික්කාර සේනාවෝ මෙහි දී ප්‍රධාන ය. මේ ආදී පිරිස් මෙහි පැමිණ පදිංචි වීමෙන් පසුව මෙරටේ කලාව කෙරෙහි ද බලපෑම් කරන්නට යෙදුණි. විහාරාරාම ආශ්‍රිතව දේවාල බිහිවීමත් සිංහල භාෂණයට දෙමළ වචන එකතු වීමත් මේ සම්බන්ධතාවේ වටිනා ප්‍රතිඵලයන් ය. සඳකඩපහනින් ගවයා ඉවත් වීම ද සිදු වූයේ පොලොන්නරු යුගයේ දී දෙමළ පිරිස් වැඩි වශයෙන් මෙහි ව්‍යාප්තව සිටි නිසා ය. ඉන් පසුවත් වැඩියෙන් ඉන්දියානු බලපෑම් අපට ලැබුණු බව ඉතිහාසය පරිශීලනය කිරීමෙන් පෙනේ.
ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ දී භාරතයේ එවකට තිබූ ගන්ධාර, මථුරා හා ආන්ද්‍ර සම්ප්‍රදායයන් භාවිතාවට ගත් බව ඒ පිළිම දෙස බැලීමේ දී පෙනේ. ලංකාවේ දක්නට ලැබෙන වාහල්කඩ නිර්මාණයේදිී  අමරාවතී, නාගර්ජුන කොණ්ඩය හා ජගයීය පේතාව වැනි ස්ථූපවලට නෑකම් කියයි. අභයගිරි වාහල්කඩවල දක්නට ඇත්තේ ආන්ද්‍ර සම්ප්‍රදායේ ආභාෂය යි. මුල් යුගයේ දී ස්ථූපවල තිබූ ඡත්‍රවලින් හා යශ්ඨිය වෙනුවට දේවතාකොටුව හා කොත් කැරැල්ල භාවිතයට පැමිණියේ මෙම දක්ෂිණ භාරතීය ආභාෂයෙන් බව පරණවිතානයන් පෙන්වා දෙයි.  පල්ලව සම්ප්‍රදායට අයත් නාලන්දා ගෙඩිගේ අටවන ශත වර්ෂයේ මෙහි ඉදිකරනු ලැබූ එම සම්ප්‍රදායට අයත් විශිෂ්ඨතම නිර්මාණයකි.  සීගිරි චිත්‍ර පිළිබඳව ද අදහස් දක්වන බෙන්ජමින් රෝලන්ඞ් ඒවා අභාවයට ගිය ආන්ධ්‍ර චිත්‍ර සම්ප්‍රදායන් අනුගමනය කරමින් ඇඳ ඇති බව කියා සිටී. ඉසුරුමුණියේ අශ්වහිස හා හේවායාගේ රුව හස්ති රුව ආදිය පල්ලව සම්ප්‍රදායට අයත් බව පෙන්වා දෙන විච-ාරකයන් අතර ලෝන්ග්හෝර්ස්ට් ඒවා මහාබලිපුරම්හි ඇති හස්ති රූපවල අනුවාදයක් බව ප්‍රකාශ කරයි.
සිතුල්පව්වේ ඇති බෝධිසත්ව රූපයේ හා මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයෙන් හමු වූ එවැනි ම තවත් රූපයක් පල්ලව සම්ප්‍රදාය ගුරු කොට නිර්මාණය වූ බව පරණවිතාන මහතා පිළිගනී.  මේ ආකාරයට අප හඳනාගත් මෙන් ම හඳුනානොගත් කලා නිර්මාණයන් සඳහා භාරතීය බලපෑම් ලැබී ඇති බව මොනවට පෙනේ.
ආර්ථික සබඳතා
ඉන්දියානු අර්ධද්වීපයට ඉතා නුදුරු වීමත් ඉන්දියාවෙන් දකුණු දෙසට ප්‍රමුඛ ලෙස පිහිටා තිබීමත් නිසා ලංකාවේ ඈත අතීතයේ සිට ඉන්දීය මහා දේහයෙහි සාමුද්‍රීය වෙළඳාමෙහි වැදගත් කමක් හිමිවූවේ ය. දෙරට අතර ආදිතම වෙළඳාම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ අනුමානයෙනි. දෙරට අතර පැවති වෙළඳාම පිළිබඳව මහාභාරතය මෙන් ම ත්‍රිපිටකයෙහි ද තොරතුරු අනුතර්ගතව ඇත. මෙම ආශ්‍රය ග්‍රන්ථයන්ගේ කාලය පිළිබඳ නිශ්චිත කාලයක් ඉදිරිපත් කරන්නට නො ලැබීම අභාග්‍යයකි. ඒවායේ පවතින මේ තොරතුරු ලේඛනාරූඪ කිරීමට ප්‍රථම මුඛ පරම්පරාගතව වර්ෂ කීයක් තිබෙන්නට ඇත්දැයි හරියාකාරව අපට කාලයක් ඉදිරිපත් කිරීමට නො හැකි ය. ලක්දිව මුල් ආර්ය කණ්ඩායම් උතුරු ඉන්දියාවේ වෙරළ දෙසින් ම පාමිණි බව වාග් විiාත්මක පිළිගැනීමයි. ලංකාවේ ආර්යයන් විසින් ජනාවාස ඇති කිරීම ශ්‍රී ලංකාව සමඟ පැවති සම්බන්ධතාවල ප්‍රත්ඵලයක් ලෙස සනාථ කළ හැකි ය. මේ පිළිබඳව සාහිත්‍ය ග්‍රන්ථයන් ද්විද්වයක දෙවිධියකට සඳහන් වීම මත යම් ගැට`ඵකාරී ස්වභාවයක් ද දැකගැනිමට හැකි ය. විජය කුමරු උතුරු ඉන්දියාවේ පදිංචි වී සිටියෙකු බව දිව්‍යවදානය නම් ග්‍රන්ථය පෙන්වා දෙයි. මේ අතර පාහියන් භික්ෂුව පෙන්වා දෙන්නේ මුල් කාලයේ දී ලංකාවේ පදිංචිකරුවන් නොවූ බවත් යකුන් හා මකරුන් ජීවත් වූ බවත් ය. මේ රට හරහා දෙස් විදෙස් වෙළඳාමේ යන පිරිස් මෙහි ඇති සුන්දරත්වය පිළිබඳ හිත් ඇති කරගෙන මෙහි පදිංචි වූ බව සඳහන් කරයි. මේ තොරතුරු වලින් මහාවංශයේ පෙන්වා දෙන තොරතුරුවලට වඩා පැරණි පුවතක් ගැබ්ව ඇති බව විශ්වාස කළ හැකි ය.
දෙරට අතර සිදු වූ වෙළඳ ගනුදෙනුවක් පිළිබඳව වලාහස්ස ජාතකයේ පෙන්වා දී ඇත. කුණාටුවකට හසු වූ පිරිසක් ලක්දිවට ගසා ගෙන ආ අතර ඒ පිරිස ඉන්දියානුවන් පිරිසක් බව කියැවේ. මේ ජාතකයේ ශ්‍රී ලංකාව පිළිබඳ ස්ථාන නාම සඳහන් නොවීමෙන් පෙනී යන්නේ ලක්දිව අඥාත ප්‍රදේශ තිබූ බවයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ලංකාව ගැන වැඩි වැඩියෙන් තොරතුරු පසුකාලීනව සඳහන් වන්නට පටන් ගත් බව පිළිබිඹු වෙයි. ක්‍රිස්තු වර්ෂ 596ත් 664ත් අතර කාලයේ ෆාහියන් භික්ෂුව ලංකාවට පැමිණ මෙහි සංචාරය කළේ ය. ඔහු තම දේශාටන වාර්තාවෙන් වැඩිපුර  විස්තර කරන්නේ මෙහි පැවති ආගමික ස්ථාන හා ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව ය. හි්‍යුංසෑං ෆාහියන් මෙන් ලංකාවට නො ආ අතර ඉන්දියාවේ වන්දනාකරුවන්, වෙළෙන්ඳුන් හා රාජ දූතයින්ගෙන් එක්රැස්කරගත් තොරතුරු වාර්තාව සඳහා යොදාගෙන  ඇත. ඉන්දීය වෙළෙඳුන් විසින් ගමන් ගන්නා ලද ස්ථාන ගැන සම්ප්‍රදායානුකූල ස්ථාන මාලාවක් මහා නිද්දේසයෙහි දක්නට ලැබේ. ලක්දිව රජතුමා සමුදුරින් උපන් අනර්ඝතම මුතු මැණික් ආදිය යුධීෂ්ඨිර රාජ්‍යයට යැවූ බව මහා භාරතයේ සඳහන් වේ. මේ තරම් ඈත අවධියක සිට ම ලංකාවෙන් ඉන්දියාවට මුතුමැණික් අපනයනය කළ බව පෙනේ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයෙහි ලක්දිව මැණික් උල්පතක් බව පෙන්වා දෙයි.
මුල් ම කාලවල ශ්‍රී ලංකාව වෙළඳ සබඳතා පවත්වන ලද්දේ දකුණු ඉන්දියාව සමඟ නොව උතුරු ඉන්දියාව සමඟ බව සිතිය හැකි ය. දෙමළ ජාතිකයන්ටත් පෙර ආර්යයන් වෙළඳාම දියුණු කර ගැනීම මීට හේතු වන්නට ඇත. මුල් අවධියේ දි වුව ද ආර්ය රාජධානි ලෞකික සංස්කෘතිය අතින් දෙමළ සංස්කෘතියට වඩා උසස් තත්ත්වයෙන් පැවතීම නිසා ම ශ්‍රී ලංකාවේ නිශ්පාදිත සුඛෝපභෝගී භාණ්ඩ දකුණු ඉන්දියාවේදීට වඩා උතුරු ඉන්දියාවේ දී විකිණීම පහසු වන්නට ඇත. ඉන්දු ලංකා වෙළඳ ගනුදෙනු පිළිබඳව ප්‍රථම සැළකිය යුතු සාධක ප්ලිනිගේ ‘නැචුරල් හිස්ටි්‍ර’ යන කෘතියෙන් දැකගත හැකි ය. ක්‍රිස්තු වර්ෂ දෙවැන්නේ තරම් ඈත කාලයේ රචනා වූ මෙහි මෙසේ සඳහන් වේ. මේ දිවයින හා මව්බිම අතර මුහුද ගැඹුරු නැත. ගැඹුරින් අඩි 18කට තරම් වැඩි නැත. එහෙත් ඇතැම් ඕඩ කෙතරම් ගැඹුරුදැ’යි කිවහොත් කිසිම නැංගුරමක් පත්ල දක්වා කිඳා බසින්නේ නැත. මේ යාත්‍රාවල පැටවිය හැකි බඩු ප්‍රමාණය බැරල් 3000ක් තරම් විශාල වෙයි. ලංකාවෙන් අපනයනය කළ භාණ්ඩ ඉන්දියාවේ උතුරු කෙළවරේ පිහිටි ප්‍රදේශවලට ද පැමිණියේ ය. කාශ්මීරයේ සංස්කෘතයෙන් රචිත පුරාවෘත්තය වන රාජතරංගනියෙහි එහි බිසව ලක්දිව නිපදවන ලද රෙදි ඇන්ද බව සඳහන් වේ. රෙදි පිලි අපනයනය කළ බව තිර්ථකල්ප නම් ප්‍රාකෘත ග්‍රන්ථයකින් පවා හෙළිවේ.
බෙංගාලයේ තාම්‍රලිප්තිය ලංකාවේ වෙළඳාම සඳහා භාවිත වූ ඊසාන දිග ඉන්දියාවේ ප්‍රධාන නැව් තොට වූ බව පෙනේ. පාහියන් භික්ෂුව නැව් නැංගේ තාම්‍රලිප්තියෙන් පිටත් වූ නැවක බව සඳහන් වේ. සමහර විට ඔවුන් වෙළඳාම සඳහාම පමණක් නොව සංචාර සඳහා ද මෙරටට පැමිණි බව ඇතැම් කරුණු අනුව පෙන්වා දිය හැකි ය. මුස්ලිම්වරුන් ඇති කළ අඳුරු කාලය නැති කර දමන ලද්දේ මෝගල් වරුන් විසිනි. ක්‍රිස්තු වර්ෂ 1258 දී ඔවුන් බෑග්ඩෑග් නුවර අල්ලා ගත් පසුව යුරෝපයේ තම හිතමිතුරු ජාතීන්ට පෙරදිග ඍටවල් සමඟ වෙළඳාම් කිරීමට ඉඩ සපයා දුන්නේ ය. දකුණු ඉන්දියාව සමඟත් කළ වෙළඳාම ද උතුරු ඉන්දියාවේ දී කළ වෙළඳාම වගේ ම වැදගත් වීය. දෙරට අතර ඉතා සමීප සබඳතා පවත්වාගැනීමට හැකි වූ මෙම සබඳතා හේතුවෙන් ලක්දිව හැඳින්වීමට භාවිත කළ එක් නමක් ද ඇති වීමට බලපෑ බව පෙනේ. ඒ තම්බපණ්ණි යන නාමය යි.
චෝල සමයෙහි මෙරට වෙළඳාම ප්‍රධාන වශයෙන් සොළීන් යටතේ පැවති බව පෙනේ. වේලයික්කාර කුලයට අයත් වැදගත් උප කුලයක් වූ වලඤ්ජියාර්වරු මේ වෙළඳාම කරගෙන ගියහ. ඔවුන් කෙතරම් බල සම්පන්න දැ’යි සඳහන් කරන්නේ නම් දළදා මාළිඟාව ද ඔවුන්ට ආර-ක්ෂා කිරීමට ඉඩ ලබා දීමට තරම් චෝල රජු කැමති වීය. චෝල අධිරාජයාගේ පරිහාණියෙන් පසුව පාණ්ඩ්‍යවරුන් දිවයිනේ වෙළඳාම තමන් යටතට ගත් බව පෙනේ. 10වැනි ශත වර්ශයේ දී හා ඉන් පසුව ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ ප්‍රධාන ආයාතයක් වන්නේ සහල් ය. එහෙත් මෙය ජනප්‍රවාදයක් බව සැලකීමට පු`ඵවන් වන්නේ ඒ සමයේ ශ්‍රී ලංකාව පෙරදිල ධාන්‍යාගාරය ලෙස සඳහන් කිරීම හේතුවෙනි. ලංකාවෙන් ඉන්දියාවට අලි ඇතුන් මෙන් ම විවිධ කු`ඵබඩු ද අපනයනය කළේ ය.
අතීතයේ පමණක් නොව මෑත ඉතිහාසයේ ද ඉන්දියාව තරම් දේශපාලන, ආර්ථික, සාමාජීය හා අනෙකුත් අංශ සඳහා බලපෑම් කරන වෙනත් රටක් නැති තරම් ය. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය දකුණු ඉන්දියාවට සමීප වීම නිසා එහි ජීවත් වන ජන ජීවිතයට දකුණු ඉන්දීය දේශපාලනය වෙතින් දැඩි බලපෑම් එල්ල වේ. සමහර අවස්ථාවල ඔවුන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම ප්‍රාන්තයක් ලෙස සැළකීමට පවා පුරුදුව සිඑිය බව පෙනේ. මෑත ඉතිහාසයේ දරුණුතම ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ පැවති අතර එයට දකුණු ඉන්දීය දේශපාලන පක්ෂ ද ඍජුව හෝ වක්‍රව උදව් කර ඇත. රජීව් ගාන්ධි ඝාතනයට ලක් කළ ද ඉන්දියානු දෙමළ පිරිස් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පාලන බලය අල්ලා ගෙන ඊලාම් දේශයක් නිර්මාණය කිරීමට වැඩි මහන්සියක් ගත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට හිතැ’ති වූහ. විශේෂයෙන් ම වර්තමානයේ පවතින ආණුඩුවට පමණක් නොව මෙහි පාලන බලය ලබා ගන්නා ඕනෑම පක්ෂයකට ම යම් කිසි බලපෑමක් කිරීමට ඉන්දීය දේශපාලනය මහත් වෑයමක යෙදී සිටී. ආගමික වශයෙන් ද ගත් කල ශ්‍රී ලාංකිකයින්ගේ පූජනීය වස්තුවක් වන බුද්ධගයාව ආදී පූජාභූමි ඉන්දියාවේ පිහිටා තිබීමත් ඒවා හින්දුන්ගේ බලපෑම්වලට වඩා අන්තවාදී මුස්ලිමානුවන්ගේ බලපෑම්වලට නතු වීම මත යම් යම් ගැට`ඵකාරී තත්ත්වයන්ට පත්ව තිබේ. ආර්ථිකමය වශයෙන් ඉන්දියාව සෑම අවස්ථාවක ම උදව් කරන බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවේ. ලංකාවේ මහා මාර්ග පද්ධතියට මෙන් ම වාරි කර්මාන්තයට විදුලි පද්ධතියට ද වෙනත් සුවිශේෂි පද්ධතීන්ට ඔවුන්ගේ දායතක්වය ලැබී ඇත. එහෙත් ප්‍රාන්ත රජයක් වන තමිල්නාඩුවෙන් මධ්‍යම ආණ්ඩුවට එල්ල වන බලපෑම් නිසා යම් අවස්ථාවන්වල ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම අපහසු ය. මානව හිමිකම් උල්ලංගණය කිරීමේ චෝදනාවටක හසුවීමක් සම්බන්ධව පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් කවුන්සිලයේ දී ඔවුන්ගේ දායකත්වය අපට ලැබුණේ නැත. එලෙසට ම පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙල අපේ රටේ පැවැත්වීමට එරෙහිව විරෝධතාවක් ඔවුන්ගේ පවතින අතර මේ සෑම දේට ම දෙමළ දේශපාලන පක්ෂයන්ගේ බලපෑම් මත සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ සෑම ක්‍රියාකාරකමකට ම මූලික වී ඇත්තේ ඉන්දියාව කලාපයේ බලවතා බවට පත් වීම මත බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඉන්දියාවේ කෙතෙක් ප්‍රශ්න විසඳාගැනීමට තිබුණ ද ඒ සෑම දෙයක් ම පසෙකලා වෙනත් රටවල් කෙරෙහි අවධානය යොමු කරන්නේ පෙර කී කරුණ හේතුකොට ගෙන ය. වර්තමානයේ ආර්ථික, දේශපාලන, සාමාජීයාදී සෑම අංශයක් ම ගැට`ඵ සහගත තත්ත්වයට පත්ව තිබේ. ජනගහන වර්ධනය පෙරට වඩා තීව්‍ර ය. රටේ අගහිගකම් ඇති පිරිස ශ්‍රී ලාංකිකයන්ගෙන් හරි අඩකට සමාන ය. නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් සමහර ප්‍රාන්තවල ඇත්තේ ම නැත. එහෙත් කලාපයේ බලවතා යන නාමයට සරිලන ආකාරයේ බලපෑමක් ඔවුන් කරන්නේ අතීතයේ පටන් තිබූ සබඳතා මතකයේ තබා ගනිමිනි. ඉන්දියාව ලෝකයේ රටවල් අතුරින් විශාල රාජ්‍යයක් වුව ද ප්‍රාන්ත වශයෙන් බෙදී පැවතීම නිසා සමහර ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්තිවලට බලපෑම් කරණු පෙනේ. තමිල්නාඩුව මෙහි දී විශේෂිත ය. ලංකාව සම්බන්ධයෙන් ගන්නා ඕනැ ම තීරණයක් පසුපස මේ ප්‍රාන්තයේ බලපෑම දක්නට ලැබේ. විටෙක ඔවුන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම ප්‍රාන්තයක් ලෙස හුවා දැක්වීමකට ප්‍රයත්නයක යෙදේ. කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ සෑම අංශයක ම දියුණුව ඉන්දියාවේ අනුග්‍රහයෙන් සිදුවීම නිසා අප ගන්නා කුමන ආකාරයේ තීරණයක දී වුව ද ඉන්දියාව අමතක කළ නො හැකිය.







සමාලෝචනය
ලෝකයේ රටවල් ඕනෑ තරම් තිබේ. මේ සෑම රටක් ම තමන්ට ම ආවේණික ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ ය. ශ්‍රී ලංකාවට ද මෙය පොදු ය. එහෙත් මේ ආවේණික ලක්ෂණයන් වෙනස් කිරීමට යම් අවස්ථාවන් වලදී විවිධ ක්‍රියාදාමයන් බලපෑම් කරයි. මේ අතර ලෝක ඉතිහාසයේ ප්‍රධානතම කරුණක් ලෙස පෙන්වාදිීමට හැකි වන්නේ විදේශ ආක්‍රමණයන් ය. ලෝකයේ ඇති බොහෝ රටවල්වලට වෙනත් රාජ්‍යයන්ගේ දේශපාලන, ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික බලපෑම් ලැබීමට විදේශ ආක්‍රමණ බොහෝ සෙයින් ඉවහල් වුණි. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වුව  ද ඒ අසළ ම ඉන්දියා උපමහද්වීපය පිහිටා තිබීමෙන් ලිඛිත ඉතිහාසයෙන් පැනෙන ප්‍රධානතම සාධකය නම් මෙරටේ සෑම අංශයකට ම බලපෑම් ඇති වූ අයුරුයි.
මෙරටේ ජීවත් වූ පැරණිතම පිරිස් අතර අප හඳුනන්නේ බළංගොඩ මානවයා හා ඒ අතර කාලයේ සිටි පිරිසයි. ඉන් අනතුරුව අප අදහන්නේ රාවණා නම් රජෙක් මෙහි සිටි බවත් ඔහු අතිශය දක්ෂ මෙන් ම බුද්ධිමත් අයෙක් බවත් ය. මේ පිරිස් අතරට පැමිණි විජය කුමරු පිළිබඳව ද අප නිරන්තර කතාබහයන්ට ලක්වන්නේ ඔහු ද විශේෂිත තැනැත්තෙකු  නිසාවෙනි. ශ්‍රී ලංකාවේ භූ පිහිටීම මත රාවණා හා විජයගේ පාලන තන්ත්‍රය වැදගත් වේ. ඒ ඔවුන් තම ළඟ ම රාජ්‍යය වූ භාරතය නොහොත් ඉන්දියාව සමඟ සුහද හෝ වෙනත් ආකාරයේ සම්බන්ධතාවන් පැවැත් වූ නිසාවෙනි. විජය පැමිණිමට  පෙර මෙහි තිබුණු සමාජ තත්ත්වය හා සංස්කෘතික වටපිටාව පිළිබඳ තොරතුරු අප හදාරන්නේ එතරම් විශ්වාසනීය බවකින් නොවේ. විජයගෙන් පසු ඇරඹෙන සංස්කෘතිය අප අපේ කර ගැනීමත් ඉන් පසු මිහිඳු හිමියන් වැඩමවීමෙන් ලබන ‘බෞද්ධ’ යන උත්තුංග නාමයත් නිසා අභිමානයෙන් අපි අභිමානයෙන් පසුවෙමු. කෙතරම් විරුද්ධකම් පෑව ද අතීතය දෙස එබිකම් කර බැලීමේ දී ඉන්දියාව තරම් අපේ දේශයට වටිනාකමක් ගෙන දුන් වෙනත් රටක් නොමැති තරම් ය. දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඇරඹි ඒ කර්තව්‍ය ආගමික, සංස්කෘතික, සාමාජීය අංශයන් කෙරේ ද අතිශයින් ම නැඹුරුතාවක් දැක්වීය. භු පිහිටීම අංශයෙන් ද විශේෂිත වූ අපේ රටේ අනෙක් සෑම අංශයක් ම විශේෂිත කරලීමට සමත්කම් දැක්වීමට ඉන්දියාව ප්‍රබල සාධකයක් වූ අයුරු මෙම නිබන්ධනය ආශ්‍රයෙන් මැනවින් ප්‍රකට වේ.        


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ප්‍රාථමික මූලාශ්‍රයෝ :-
01. දීපවංශය, (සංස්.) කිරිඇල්ලේ ඤාණමවිල හිමි, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. 1959
02. නිකාය සංග්‍රහය, (සංස්.) පී. ඩී. ආර්. සමරනායක, කොළඹ 10: සී/ස. ගුණසේන සහ සමාගම, 1960.
03. මහාවංශය, (සංස්.) කිරිඇල්ලේ ඤාණමවිල හිමි, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. 1963
04. මහාවංස (පාලි) ඩබ්ලිව්. ආතර් ද සිල්වා, (සංස්.) කොළඹ: සිංහල සමය මුද්‍රණාලය,1913
05. රාමායණය.ශ්‍රීමද් වාල්මිකී,  (පරි.) ජි. එස්. බී. සේනානායක, කොළඹ: ප්‍රදීප ප්‍රකාශකයෝ, 1976
06. රාජරත්නාකරය, (සංස්.) කරුණාදාස රූපසිංහ. කොළඹ: රාජ්‍ය මුද්‍රණාලය, 1907
07. රාජාවලිය, ඩබ්ලිව්. ඩී. ගුණසේකර, කොළඹ 10: ගොඩගේ සහ සහෝදරයෝ, 1989.
08. රාජාවලිය, (සංස්.) බී. ගුණසේකර, කොළඹ: රත්න මුද්‍රණාලය, 1953.
09. සමන්තපාසාදිකාව, (සංස්.) පියරතන මහා ස්ථවිර හා සෝරත ස්ථවිර, කොළඹ: ග්‍රන්ථාලෝක මුද්‍රණාලය 1929.
10. සමන්තපාසාදිකාව, (සංස්.) යූ. එස්. එස්. ධර්මකීර්ති, කොළඹ: ග්‍රන්ථාලෝක මුද්‍රණාලය. 1900
11. සමන්තපාසාදිකාව, (සංස්.) පියරතන මහා ස්ථවිර හා සෝරත ස්ථවිර, කොළඹ: 1929.

ද්විතීයික මූලාශ්‍රයෝ :-
01. අධිකාරම්, ඊ. ඩබ්ලිව්. පැරණි ලංකාවේ බෞද්ධ ඉතිහාසය. කොළඹ: දයාවංශ සහ සහෝදරයෝ, 1963
02. එල්ලාවල, හේම. පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය. කොළඹ: ලංකාණ්ඩුවේ මුද්‍රණාලය, 1972
03. කරුණාරත්න, ඒ. එම්. විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන්. කොළඹ 10: දයාවංශ ජයකොඩි සහ සහෝදරයෝ, 2008.
04. ගුණවර්ධන, රණවීර. පොළොන්නරු යුගය. ‘දක්‍ෂිණ භාරතීය ආක්‍රමණ’ කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1998.
05. ජයවර්ධන එස්. කේ. ලංකාවේ ආගම් හා පුදපූජා. කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1985
06. ධමම්රතන හිමි, හිස්සැල්ලේ. දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය. කොළඹ: රත්න පොත් ප්‍රකාශකයෝ, 1962.
07. පේමචන්ද්‍ර, රායි සහ පරණවිතාන,  එස්. ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය 1. කොළඹ: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලf ය් ප්‍රකාශනය, 1964.
08. මෙන්ඩිස්, ජී. සී. ලංකා ඉතිහාසය පූර්ව භාගය හෙවත් දඹදිව සමය. කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1997.
09. බස්නායක, එච්. අයි. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය 1. කොළඹ 11: සී/ස ගුණසේන සහ සමාගම, 1995.
10. රාහුල හිමි, වල්පොළ. ලංකාවේ බුදුසමයේ ඉතිහාසය. කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1970
11. සිරිවර්ධන, ඉන්ද්‍රකීර්ති. රජරට ශිෂ්ටාචාරය හා නිරිතදිග රාජධානි. කොළඹ: ගොඩගේ පොත් සමාගම, 2001.

English :-
 01. G.P.V. Somaratne, The political History of the Kindom of kotte, Nugegoda; 1975.
02. G.p. malalasekara, The pali Literature of Ceylon, Colombo; M.D.Gunasena and Company. 1958.
03. G.C. Mendis, The Colebrooke- Cameron papers, ed. Vol.1. Coomaraswamy Colombo; Government publications, 1908.
04. K.M. de silva, UCHC, vol 3, ed. Peradeniya; 1973.
05. Mahavansa, ed. Wilhelm Geiger, reprinter London, 1958.
06. S.Paranawitana, ed. UCHC, vol.1 Colombo; Karunaratna & Sons. 1956.
07. S.U. Deraniyagala, The Prehistry of Sri lanka, op.cit.,Colombo; Dayawansa jayakodi & Company, 1995.
08. Wilhelm Geiger, Dipavansa and Mahavansa and their Historical Development, Leipzig, 1905.
09. Wilhelm Geiger, A Grammar of the Sinhalese language, Colombo;1938.S.Paranavitana, Ceylon and Malaysia. Colombo; Karunaratna & Sons 1953.
10. Walpola Rahula, History of Buddhish in Ceylon, 3rd  cencury B.C. Colombo; 1956.

11. Walpola Rahula, History of Buddhish in Ceylon, 3rd  cencury B.C. Colombo; Dayawansa jayakodi & Company, 1956.

2016-11-20

අනුරාධපුර යුගයේ පැවති වෙළෙඳ කටයුතුවල ස්වභාවය

ප්‍රාග් ඓතිහාසික යුගය හෙවත් ආර්යාවතරණයේ පටන් 10වැනි සියවස දක්වා කාලය අනුරාධපුර අවධිය වශයෙන් මෙහිදී සැලකිය හැකිය. එදා අද මෙන් රටෙහි අභ්‍යන්තර මෙන්ම බාහිරවත් පැතිරගිය දියුණුවූ වෙළඳ ක්‍රමයක් නොතිබුණද එදා තත්ත්වය අනුව දියුණු යැයි කිවහැකි ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරයක් කෙරීගෙන ගිය බවට ඉතිහාසයෙන් බොහෝ සාධක හමුවේ. ඈත අතීතයේ (ක්‍රි.පූ. යුගයේ පටන්) සිටම පෙර අපර දෙදිග වෙළඳ මාර්ගයන්හි කඩ ඉමක පිහිටි ශ්‍රී ලංකාව වාණිජ අංශයෙන් ක්‍රියාකාරී ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතිණි. ලංකාව හාත්පසින්ම මුහුදින් වටවූ දිවයිනක් වීමත් ඉතා වැදගත් වෙළඳ මාර්ග කිහිපයක් මධ්‍යයේ ලංකාව පිහිටීමත් මේ දිවයින ඒ තත්ත්වය ලබා ගන්නට මූලික වූ වැදගත්ම හේතු සාධක ද්විද්වය විය.

ඉහත කරුණ පැහැදිලි කිරීමේදී ක්‍රිස්තු පූර්ව යුගයේ සිට සිදුවූහයි සැලකෙන ලාංකික මුහුදු ගමන් ලැන මහාවංසය ඉදිරිපත් කරන තොරතුරුද අතිශයින් වැදගත් වේ. ඒ තොරතුරු අනුව පැරණිතම වරායයන් කිහිපයක් අපට හමුවේ. ජම්බුකෝල පට්ටන සහ මාන්තොට එයින් වැදගත් වෙළඳ තොටුපළ දෙකක් විය. ජම්බුකෝලපට්ටන හෙවත් දඹකොළපටුන උතුරු ඉන්දීය වෙළඳ මාර්ගයන් හා සම්බන්ධ කඩ ඉමක පිහිටි බව කියන මහාවංසයය එදා දිවයිනේ අගනුවර වූ අනුරාධපුරය හා යාවෙන මහ මගක්ද දඹකොළපටුන හා අනුරාධපුරය අතර තිබුණු බව සඳහන් කරයි. ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරයක් ක්‍රමවත්ව ගෙනයාමට ගමනාගමනය හොඳින් සැලසී තිබිය යුතුය. ඒ අතින් දූපතක් වූ ලංකාවට ජාත්‍යන්තර වෙළඳමකට සම්බන්ධ වීමට අනෙක් සම්බන්ධ රටවලට වඩා විශේෂයෙන් මුහුදු මාර්ග අත්‍යවශ්‍ය වන බව කිවයුතු නොවේ. ක්‍රිස්තු පූර්වයේ සිටම ලංකාවට නැව් ආ ගිය බව ඉතිහාසයේ කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. මහින්දාගමනය හා දුමින්දාගමනයත් ලාංකික වෙළෙඳුන්ගේ මුහුදු ගමන් ගැන කියන ‘ප්ලිනීගේ’ හා ‘කොස්මස්ගේ’ වාර්තාත් ලංකා වෙරළේ ආරක්ෂාව පතා නැව් මහුදාවක අවශ්‍යතාව පෙන්වූ පළමුවැනි මුගලන් රජුගේ ඉතිහාසයත් පඬිරට මා අරමණය ජය ගැනීමට නැව් හමුදා මගින් යුද්ධ සේනාංක යැවූ මහා පැරකුම්බාවන්ගේ කථාවත් මෙය සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂ්‍ය කිහිපයක් වේ.

එදා මේ ගමන් මාර්ගයේ මුල් පෙළේ වූ වෙළඳ තොටුපළ වූ දඹකොළපටුනින් ඉන්දීය වෙරළේ පිහිටි තාම්‍රලිප්තිය හා එතැනින් ගංගානම් නදිය ඔස්සේ පැලලුප් හරහා උතුරු ඉන්දියාවට යාහැකිව තිබුණු අතර මල්වතු මෝයේ පිහිටි මාන්තොටත් අනුරාධපුරය හා මහමගෙකින් සම්බන්ධවී තිබිණි. පුත්තලම දෙවුන්දර වැනි තවත් නගර කිහිපයක්ද දක්නට ලැබුණත් බොහෝවිට භාරතීය සංස්කෘතික දූත පිරිස් එදා පැමිණියේ දඹකොළ පටුන හා මාන්තොට හරහා බව මහාවංසයෙන් පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ මහාවංසාගත තොරතුරු පැහැදිලි කරගැනීමට ලක්දිව පිළිබඳ කරුණු කී විවිධ යාන්ත්‍රිකයින්ගේ සටහන් බොහෝ සේ උපකාරී වී ඇත.

ලංකාවේ දියුණු තත්ත්වයක පැවති පැරණි වෙළඳ ව්‍යාපාරය ලංකාවේ ඒ ඒ රාජ්‍ය යුග අනුවද බෙදිය හැකිව තිබේ. අනුරාධපුර පොළොන්නරු දඹදෙණි යාපහු කුරුණෑගල රයිගම ගම්පල කෝට්ටේ යුග ආදී වශයෙනි. එයින් අනුරාධපුර යුගය ප්‍රථම මෙන්ම අන් යුගවලට වඩා දීර්ඝ වූවක් විය. ඇතැමෙකු රාජ්‍ය යුග වශයෙන් බෙදී යන මේ වෙළඳාමේ අවස්ථාවන් ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවස දක්වා, එතැන් සිට සයවැනි සියවස දක්වා, සයවැනි සියවසේ සිට අටවැනි සියවස මධ්‍ය කාලය වන තෙක් සහ අටවැනි සියවසේ මැදභාගයේ සිට එකොළොස්වැනි සියවසේ අනුරාධපුර යුගයේ අවසානයේ ආදී වශයෙන්ද බෙදා දක්වා තිබේ. ඒ කොයිහැටි වුවත් ලංකාවේ මුල් අවධියේදී සබඳකම් පැවැත්වීම ඉන්දියාවට පමණක් සීමා විය. එහිදී විශේෂයෙන් උත්තර භාරතය සමග පැවතුණු සංස්කෘතික සම්බන්ධය මෙන්ම මේ වෙළඳ සම්බන්ධයද ඉතා පැරණි වූවකි.

ජනප්‍රවාදයන්ට අනුව ලංකාව පළමුවෙන් යටත් කරනු ලැබූයේ උතුරු ඉන්දීය කුමරෙකු විසිනි. එතැන් සිට විජයාවතරණයේ පටන් දෙරට අතර වෙළඳ සම්බන්ධතා නිරතුරුව දියුණු වන්නට විය. මේ අනුව උගතුන්ගේ මතය වී ඇත්තේ ලංකාවට පළමුවෙන් ගොඩ බැස්සේ භාරතීය වෙළෙඳුන් බවයි. එපමණක් නොව මෙහි පාලන බලය අල්ලාගත් විජය නැමැත්තා වෙළඳ පුත්‍රයෙකු බැව් කියන දෙවන සියවසේ භාරතයේ ලියන ලද සංස්කෘත බෞද්ධ ග්‍රන්ථයක් වූ දිව්‍යවදානයේ එන පුවතද ලෙහෙසියෙන් ඉවත දැමිය හැක්කක් නොවේ. කෙසේ වෙතත් මේ කාලයේ සිටම විවිධ දේශයන්හි වෙළෙන්දෝ මෙහි පැමිණියහ. ඒ අනුව පැහැදිලි වන්නේ විදේශීය රටවල් සමග ලංකාව ඈත යුගයේ පටන්ම වෙළඳ ව්‍යාපාරයන් ගෙනගිය බවයි. ඒ හැර ජාතක පෙතෙහි දැක්වෙන වළාහස්ස ජාතකයට වස්තු වූ මුහුදුබත්වී ලංකාවට ගොඩබට වෙළෙන්දන් දෙදෙනෙකු පිළිබඳ කථා ප්‍රවෘත්තියද මේ සම්බන්ධ තොරතුරු තවදුරටත් අනාවරණය කර ගැනීමට ඉවහල් වේ. එමෙන්ම යුධිෂ්ඨර මහා රාජයාට ලංකා රජු විසින් මුතු මැණික් යැවූ බව මහාභාරතයේ සඳහන්ව ඇත. ක්‍රිස්තු වර්ෂ සිව්වැනි සියවසෙහි චන්ද්‍රගුප්ත අධිරාජයාගේ ඇමති මණ්ඩලයේ සිටි කෞටිල්‍යයෝ තම අර්ථ ශාස්ත්‍රය නම් කෘතියෙහි ලංකාව මැණික් උපදින ස්ථානයක් වශයෙන්ද හඳුන්වා තිබේ. මාන්තොට තිබී මෑතකදී සොයාගත් රෝමකාසි රෝම අරාබි බඳුන්වල නටබුන් නිසාත් කොස්මස්ගේ මාන්තොට පිළිබඳ විස්තරයෙනුත් අතීතයේ ලංකාව ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වී තිබුණු බව රහසක් නොවේ. තවදුරටත් 10වැනි සියවසේ ලියැවුණු ‘හුවුඞ් අල් අලාඞ්’ නම් අරාබි ග්‍රන්ථයද ලාංකික වෙළඳ ද්‍රව්‍ය සියල්ල මාන්තොටට රැස්කර එහි සිට ඒවා ලෝක වෙළෙඳුන්ට බෙදා හැරි බව සඳහන්ව ඇත. මේ අන්දමට දැක්වෙන සාහිත්‍ය මූලාශ්‍රය ආධාරයෙන්ද අතීතයේ ලාංකික වෙළඳ ව්‍යාපාරය දියුණු තත්ත්වයක පැවති බැව් මනාකොට හඳුනාගත හැකිය.

ක්‍රිස්තු පූර්ව 327දී මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජය ගත්තාට පසු ලංකාව වෙළඳාම සම්බන්ධ අගයන් තවත් වැඩි වන්නට විය. එයින් ඈත පෙරදිගටත් වෙළඳ ව්‍යාපාරය විකාශනය වීමට ඉඩකඩ පෑදිණි. මෙහිදී ඇලෙක්සැන්ඩර් රජුගේ සෙනෙවියෙකු වූ ‘ඔනෙසික්‍රිටස්’ ලංකාව හා උත්තර භාරතය අතර පැවති වෙළඳ සම්බන්ධතා ගැනද සඳහන් කර ඇත. මේ අනුව බොහෝදුරට උත්තර භාරතය හා ලංකාව අතර ඇතිවූ සංස්කෘතික සම්බන්ධතාවලට පිටුබලයක් වූයේ මේ වෙළඳ සම්බන්ධතා බව සිතිය හැකිය. ඉතිහාසය අනුව තවදුරටත් පෙර අපර දෙදිග වෙළෙන්දන් මුණගැසුණු ඉන්දීය වෙළඳ මධ්‍යස්ථානයකට ලංකාවෙන් ද්‍රව්‍ය සැපයුණු බව කදිමට පැහැදිලිය. අන්තර් ජාතික වෙළෙන්දන් සමග ලාංකික වෙළෙඳුන්ට ඍජුවම වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසුනේ මේ නිසාය.

අතීතයේ වෙළඳාම ගැන තොරතුරු දැන ගැනීඹට ඇති පහසුකම් බොහෝදුරට සීමාවී තිබේ. ඒ සඳහා අපට තරමක් දුරට හරි උපකාරී වන්නේ ඉහත දැක්වූ පරිදි ඉතිහාසය කියන සාහිත්‍ය පුවත්, සෙල්ලිපි හා විදේශීය යාන්ත්‍රිකයින් ලංකාව ගැන ලියූ සටහන් ආදියයි. ඒ අතින් සෙල්ලිපිවල ඇතුළත් වෙළඳාම පිළිබඳ නීතිරීති ආදිය දැකීමෙන් ඒ අවධියේ වෙළඳාම සාරවත්ව කරගෙන ගිය බව පැහැදිලිවේ. බදුලු ටැම්ලිපිය ඒ අතින් ඉතා වැදගත් ලිපියකි. 

විදේශීය යාන්ත්‍රිකයින් ලංකාව ගැන තැබූ නොයෙක් අන්දමේ විස්තර වාර්තා නිසා ලංකාවේ වෙළඳ තත්ත්වය පිළිබඳ කරුණු බොහෝදුරට පිළිගත හැකිවී තිබේ. මේ සටහන් තැබූ බොහෝ යාන්ත්‍රිකයෝ ලංකාවේ සංචාරක කළෝ වූහ. එයින් ඇතැමෙක් ලංකාවට ගොඩ නොබැස්සත් ලංකාව ගැන සෙවීමෙහි බොහෝ සෙයින් මහන්සි වූවෝය. ඒ නිසාම මෙම වාර්තා සත්‍යතාවෙන් යුත් ඒවා බැව් පිළිගැනීමට හැකිවී තිබේ. එසේ ඓතිහාසික සටහන් තැබූවන් අතර කොස්මස්ට ප්‍රධාන ස්ථානයක් හිමියේ. තවද පාහියන් ඉත්සිං හියුංසියැං ටොලමි ආදීහුද එසේ සටහන් තැබූ ප්‍රධාන පෙළේ අය වූහ.

ලංකාවේ පැරණි අවධියේ පහළ වූ පාලන කාලය අතින් දීර්ඝතම රාජධානිය පැවතියේ අනුරාධපුර යුගයේය. එය සියවස් පසළොසක් පමණ වූ ඉතා දීර්ඝ අවධියකට නෑකම් කියන්නකි. බොහෝදුරට එකල ආර්ථික අංශයෙන් රට ස්වයංපෝෂිතව පැවති බව පෙනේ.බොහෝදුරට ඒ තත්ත්වය ලබාගැනීමට පසුබිම් වූයේ මේ වෙළඳාම හා කෘෂිකාර්මික ව්‍යාපාරයන්ය.

ක්‍රිස්තු පූර්ව අවධියේ පටන්ම ලංකාවට මුලින්ම ආ වෙළෙන්දෝ ඉන්දීය වෙළෙන්දෝ වූහ. ඒ අනුව ලංකාවට පර්සියන් වෙළෙඳුන් පැමිණි බවට සාක්ෂ්‍ය ලැබී ඇත. මොවුහු ක්‍රිස්තියානි නෙස්ටෝරියන් ආගමිකයෝ වූහ. මොවුනට අයත් ගලක කෙටූ කුරුසයක් ලංකා පුරාවිද්‍යාඥයින් අතට ලැබීම නිසා ඉහත කී අදහස තහවුරු වී ඇත. තවද එහිදී ඔවුන් ලංකාවේ බෞද්ධ රජවරුන් ඔවුනට ආගමික නිදහස දුන් හෙයින් පල්ලියක් සාදා ආගම ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාරයකුත් ගෙනගියාට සැකයක් නැත. ඉහත නමින් සඳහන් කොස්මස් ලංකාව ගැන සඳහන් කර ඇති සිය කෘතියෙන් ලක්දිව එකල විදේශීය වෙළඳාම ජයට කරගෙන ගිය බව පෙනේ. ග්‍රීකයෙකු වූ කොස්මස් සංචාරක වෙළෙන්ඳෙකි. ඔහු මෙවැනි කරුණු සොයා ගෙන ඇත්තේ වෙළෙඳ සංචාරයන්හිදී බැව් පෙනේ. මෙරටට ඉන්දියාවේ සැම ප්‍රදේශයකින්ම මෙන්ම පර්සියාව, ඇබිසීනියාව ආදී රටවලින්ද වෙළඳ නැව් පැමිණි අතර එහි සිට අන් රටවලටද නැව් පිටත් කොට යැවූ බව ඔහු සඳහන් කරයි. එමෙන්ම චීනය ආදී රටවලින්ද සේද, අගිල්, චන්දන, කරාබුනැටි හා වෙනත් නොයෙක් දෑද මෙහි ගෙනෙනු ලැබූ බවත් ඒ සමගම ඒ සැම රටකටම එහි නිපදවනු ලබන සියලුම දෑ යවනු ලැබූ බවත් කොස්මස් වැඩිදුරටත් සිය කෘතියේදී පෙන්වාදී ඇත. ඒ අනුව ලංකාව එකල අවට ලෝකයට ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්ව තිබුණු බැව් මනාව පැහැදිලි වේ.

පෙරදිග වෙළඳ බලය අල්ලාගෙන සිටි විදේශිකයින් අතර චීන්නුද ඈත අතීතයේ සිටම මේ බලයට හිමිකම් කීහ. කලින් සඳහන් කළ පෙර අපර දෙදිග වෙළෙඳුන් මුණ ගැසුණු දකුණු ඉන්දීය වෙළඳ මධ්‍යස්ථානය නිසා ලංකාව සමග වෙළඳ කටයුතුවලට කෙළින්ම සම්බන්ධවන්නට මේ චීන්නුන්ට අවස්ථාව සැලසිණි. ඔවුහු එදා පෙරදිග වෙළඳ බලය පතා අනෙකුත් වෙළඳ බලවේග සමග තියුණු තරගයක යෙදී සිටියහ. කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේ විසූ ප්ලිනිගේ විස්තරයෙන් ඈත අතීතයේ සිටම චීනය හා ලංකාව අතර මුහුදින් සම්බන්ධයක් පැවති බව පැහැදිලි වේ. ඊටත් පෙර සිට මේ සම්බන්ධය හිමාලය හරහා පැවති බව පාහියන්ගේ ගමන් විස්තරයෙන් විස්වාස කළ හැකිය. මුහුදු ගමනකින් චීනය හා ලංකාවේ සම්බන්ධය සමීප වන්නට පෙර දෙරට අතර වෙළඳද්‍ර්‍රව්‍ය හුවමාරුව හිමාලය මගින් සිදුවූහයි මේ අනුව බොහෝ දෙනෙක් සැක ඇති කර ගනිති. මෙවැන්නකට හේතුවී ඇත්තේ පාහියන්ගේ හිමාලය හරහා වූ පෙරදිග ගමනත් සුමාත්‍රාව හරහා සිදුවූ ආපසු ගමනත්ය. මේ අනුව කලින් ඉන්දියාව මාර්ගයෙනුත් පසුව කෙළින්ම මුහුදු මාර්ගයෙනුත් චීනය හා ලංකාව අතර වෙළඳ සබඳකම් පැවැත්වූ බව බොහෝදෙනෙක් විස්වාස කරති. පශ්චාත් කාලයේ චීනය හා සමීප සංස්කෘතික සම්බන්ධතාවකට පදනම වැටුණේ මෙයින් යැයි කිවහැකිය. ක්‍රිස්තු වර්ෂයෙන් මෙපිට ලංකාකවෙන් චීනයට ගිය සංස්කෘතික දූත පිරිස් දෙකක් ගැන චීන ග්‍රන්ථ සඳහන් කරයි. මේ සමගම ක්‍රිස්තු වර්ෂ 405දී ඉන්දියාව හා මධ්‍යම ආසියාව හරහා චීනය බලා ගිය මෙබඳුම සංස්කෘතික දූත පිරිසක් ගැන චීන පොත්වල සඳහන් වේ.

තවදුරටත් පස්වැනි සියවසේ විසූ ‘ප්‍රොකෝපියස්’ගේ විස්තරය අනුව චීන පටපිළි අලෙවියේ මධ්‍යස්ථානය ලංකාව වූ බවට කිසිම සැකයක් නැත. මේ කාලයේ (ක්‍රිස්තු වර්ෂ 618) චීනයේ රජ කළ ‘ලාඕට්සු’ රජුගේ කාසි හා ක්‍රිස්තු වර්ෂ 776-1266 දක්වා වූ කාලය තුළ රජවරුන් නිකුත් කරන ලද කාසි තොගයක් යාපහුවේ හා පොළොන්නරුවේ තිබී සොයාගෙන ඇත. මුස්ලිමුන් හා තරග කළ මොවුන්ගේ වෙළඳාම මුස්ලිම් බලය නැගීම හේතු කොට ගෙන කෙමෙන් පසුබා ගියත් 10 වැනි සියවසේ දී නැගී ආ සුං රාජ පරම්පරාවේ බලපරාක්‍රමය නිසා නැවත වරක් අර්ථදායක මේ වෙළඳාමට අත ගැසීමට චීන්නුන්ට අවකාශ ලැබිණි. එහෙත් 15 වැනි සියවස වන විට මුස්ලිම් තරගය නැවතත් බලවත් වීම නිසා චීන්නු පෙර අපර දෙදිග මේ මහා වෙළඳ පොළෙන් ටිකෙන් ටික ඈත් වන්නට වූහ. ඒ කෙසේ වෙතත් මේ අනුව චීනය හා ලංකාව අතර පැවති කිට්ටු වාණිජ සම්බන්ධතාවක් ගැන අපට පැහැදිලි නිගමනයකට බැසිය හැකිව තිබේ.

ක්‍රිස්තු පූර්වයේ සිට මේ වෙළඳ බලයට ගතු කියමින් ඉන්දීය වෙරළ සිසාරා ඇවිදි අරාබි වෙළෙන්දෝද ලංකාව සමග වෙළඳාම් කළ බවට පැහැදිලි සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට නොහැකි වුවත් මේ ගැන අදහසක් දෙන ‘පෙරිප්ලස්’ගේ ග්‍රන්ථය මෙහිදී වැදගත් වේ. අරාබි රෙදිවර්ග, මුතු මැණික්, කැස්බෑපොතු මෙහි වූ බව ඔහු සඳහන් කරයි. ඒ සමගම අරාබීන් අනුරාධපුරයේ පදිංචිව සිටි බව පාහියන් සඳහන් කරයි. ඒ කෙසේ වෙතත් යුරෝපියයන් පෙර දිගට පැමිණෙන මොහොත වන විට පෙරදිග වෙළඳ ඒකාධිකාරයට හිමිකම් කී එකම පිරිස අරාබීහු වූහ. මෙසේ ඈත අතීතයේ සිට ලාංකික වෙළෙඳාමට දකුණු ඉන්දීය වෙළෙඳ මධ්‍යස්ථානයට ආ ඉතියෝපියයන් මිසර ඉරාක ග්‍රීක් රෝම වැනි සැම පෙර-අපර දෙදිග වෙළෙඳ ජාතියක්ම සම්බන්ධ වූහ. නමුත් ග්‍රීක් වෙළෙඳුන් වැඩි කලක් ලාංකික වෙළෙඳාම හා සම්බන්ධ වූ බවක් ඉතිහාසයෙන් නොපෙනේ. එහෙත් රෝමන් හා ලාංකික වෙළෙඳාම ඊට වඩා පුළුල් සබැඳියාවකින් පැවතිණි. ඒ බව රෝමයට ගිය වෙළෙඳ දූත පිරිසක් ගැන කියන රෝම ජාතික ප්ලිනිගේම විස්තරයත් ඉන්දීය වෙළෙඳාම ගැන කියන ‘ස්ට්‍රාබෝගේ’ විස්තරයත් ලංකාව හා රෝමය අතර කෙරුණු සුහද වෙළඳ ගිවිසුමක් ගැන කියන ‘ඇමිනස් මර්සලීනස්ගේ’ විස්තරයත් තහවුරු කරයි. ලංකාවේ සැම වරායකින්ම සොයා ගැනීමට හැකිවී ඇති තඹ කාසිද එය තවදුරටත් තහවුරු කර ඇත.

ලංකාව ඈත අතීතයේ පටන්ම ඇත් දත් මුතු මැණික් ඇතුන් ආදී වෙළෙඳ බඩුවලට ප්‍රසිද්ධියක් ඉසිලීය. නොයෙක් දේශවල රජවරු ලංකා රජුගෙන් ඇතුන් මිළදී ගත්හ. ඒ සමගම රජතුමා පර්සියාවෙන් ඇතුන් ගෙන්වාගත් බවද පෙනේ. එසේම ඔහු අසුන් මිළයට ගන්නේ තීරු බද්දක් නොමැතිවය. කොස්මස් පවසන ආකාරයට ලක්දිවින් පිටරට යැවූ වටිනාම දේ වූයේ ඇතුන් ය. නමුත් පිටරට යැවුණු මෙන්ම පිටරටින් එවුනු සැම වෙළෙඳ ද්‍රව්‍යයන්ගෙන්ම රජුට තීරු බද්දක් ලැබුණු බව ඇතැම් සෙල්ලිපි කියයි. ඒ අනුව වරායන් පාලනය කොට තීරු බදු අය කිරීමට විශේෂ නිලධාරීන් කොටසක් පත්කර තිබිණි. සෙල්ලිපිවලින් හමුවන ‘මා වටු ලද්දන්’ එබඳු නිලධාරීන් කොටසකි. තවද ලංකාවේ සංඝාරාමයක තිබුණු නටබුන් අතර ඒ කාලයට අයත් මැණික් ඔබ්බවා සාදන ලද අඩි 32ක් පමණ උසැති පිළිමයක් ලැබී ඇත. එයින් පෙනෙන්නේ එකල සුලබ වශයෙන් මුතු මැණික් ලක්දිව තිබුණු බවය. මේ බව කියන පාහියන් මෙම පිළිබයට චීන ජාතිකයෙකු සේද විජිනිපතක් පූජා කළ බවක්ද කියයි. තවද වෙළෙඳුන්ගේ ගෙවල් දෙමහල් තුන්මහල් වූ අලංකාර ඒවා බව සඳහන් කිරීමෙන් එකල වෙළෙඳුන් ඉසුරුමත්ව විසූ බව පෙනේ. වැඩිදුරටත් මේ ගැන විස්තර කරගෙන යන පාහියන් මහා විහාර භික්ෂුවකගේ ආදාහනෝත්සවයක් ගැනද කරුණු දක්වයි. එම දර සැම තැනම කුරුඳු තෙල් වත්කරන ලදැයි කීමෙන් එකල ලංකාවේ වෙළඳ ද්‍රව්‍යයක් වූ කුරුඳු තෙල් සුලබව තිබෙන්නට ඇත. ඒ සමගම එක්තරා රජෙකු ප්‍රසිද්ධ අරාබි වෙළෙන්දෙකුගේ මරණයෙන් පසු පිළිසරණක් නැති වූ ඒ වෙළඳ පවුල ආපසු නැව් නංවා ස්වකීය දේශයට පිටත් කළ වගක්ද එහි සඳහන් කරයි. එයින් පෙනෙන්නේ සිංහල හා අරාබි වෙළෙඳුන් අතර දැඩි මිත්‍රතාවක් මෙකල පටන්ම පැවති බවයි.

ලංකාවේ අලංකාර දීප්තිමත් මුතු ගැන සඳහන් කරන පාහියන් අද දක්නට නොලැබෙන වෙළෙඳ ක්‍රමයක් ගැනද සඳහන් කරයි. මෙය භූතයින් ගෙන ගිය වෙළෙඳාමක් බව පෙනේ. භූතයෝ තමද්‍ර්‍රව්‍යවල මිළ සටහන් කොට එළිමහන් තැනක තබා සැඟවී සිටියහ. එම බඩු අවශ්‍ය වූවෝ එහි වටිනාකම තබා එම ද්‍රව්‍ය ගෙන ගියහ.

ලංකාව පිළිබඳ කරුණු දක්වන විවිධ දේශාටකයින්ගේ වාර්තා අනුව එකල ලක්දිව වැඩි වශයෙන් තිබූ වෙළෙඳ ද්‍රව්‍යයන් ගැන අවබෝධයක් ලැබිය හැකිව තිබේ. ඒ අනුව ලක්දිව වටිනාම වෙළඳ ද්‍රව්‍ය වූයේ ඇතුන්ය. ඊලියන්, මෙගස්තීනිස්, කොස්මස්, ටොලමි, ස්ට්‍රාබෝ, ඒද්රිස් ආදීන්ගේ වාර්තා නිසා ලංකාවේ හුවමාරු වූ මෙබඳු විවිධ වෙළෙඳ ද්‍රව්‍යයන් ගැන කරුණු අවබෝධ කරගත හැකිය. ඒ හැර මුතු වෙළඳ ව්‍යාපාරය විශාල වශයෙන් කරගෙන ගිය බව පෙනේ. ඡැරසචකසැි දf එයැ ෑරහඑයරස්බ ීැ් නම් ග්‍රන්ථයෙහිද ලංකාවේ බහුල වශයෙන් මුතු ලැබෙන බව සඳහන් කර ඇත. ඒ අතරම එහි විනිවිද පෙනෙන මැණික්ද රෙදි හා කැස්බෑ ලෙලිද ලක්දිව උපදින බව සඳහන්ය. ඇතුන් පිටරට යැවීම පිළිබඳ ඊලියන් මෙසේ සඳහන් කරයි. “දිවයිනේ වැසියෝ අසළ පිහිටි මහා රට වූ ඉන්දියාවට ඇතුන් විකුණති. ඇතුන් පටවා යැවීම සඳහා වනාන්තරවලින් කපාගන්නා ලද ලීයෙන් විශාල පාරා සාදා ඒවායේ පටවා යවනු ලැබේ.” ඒ අනුව ඇතුන් යවා ඇත්තේ කළිඟු රජුට බැව් පෙනේ. 

ටොලමි සඳහන් කරන පරිදි මීපැණි වී ඉඟුරු හාල් රිදී මැනික් ඇතුන් හා වෙනත් ලෝහ පතල් ලංකාවේ විය. බොහෝදුරට ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ ද්‍රව්‍යයන් වූයේ මේවාය. ටොලමි සිය ලංකා සිතියමෙහි තුඩු 8ක්ද ගංගා මෝයවල් 5ක්ද බොකු හා වරායවල් 4ක්ද ලකුණු කොට ඇත. මුහුදු වෙරළේ විශාල වෙළඳ මධ්‍යස්ථාන දෙකක්ද නගර 19ක්ද තවදුරටත් තිබුණු බව කියන ටොලමි ඒ අතර මාෂියන් ‘තප්‍රොබේනාහි’ ජනපද හෙවත් සත්‍රප 13ක්ද වෙළඳ මධ්‍යස්ථාන 22ක්ද දක්වා ඇත. සුලෙයිමාන් ලක්දිව අගිල්භාරන් ගොඩබිම් දේශයෙහි උපදින බවත් එහි වෙරළබඩ මුහුදෙහි මුතු හා හක් ලැබෙන බවත් සඳහන් කරයි. ස්ට්‍රාබෝගේ අදහස අනුව ඇත්දත් සමග කැස්බෑ පොතුද ඉන්දීය වෙළෙඳ මධ්‍යස්ථානවලට යවා ඇත. අබ්දුල්ලා නමැත්තා මෙරට ඇති රමණීය කඳුවලින් ඇදහැලෙන ගංගාවලින් පද්මරාග නිල්මිණි ආදී මැණික් වර්ග ලැබෙන බැව් කියයි. එද්රිස් නම් අරාබි ජාතිකයාගේ භූගෝල විද්‍යා ග්‍රන්ථයෙහි මැණික් කස්තුරි සුවඳවර්ග සුවඳලී ආදී දේ වෙළඳ ද්‍රව්‍ය වශයෙන් හඳුන්වා දී ඇත. මේ අන්දමින් ලක්දිව ඉතා වැදගත් වර්ගයේ මැණික් වර්ග ගැන බොහෝ දෙනෙක් සඳහන් කරති. 

මීළඟට ලංකාවෙන් ඉන්දියාවට කපු රෙදි යැවූ බවක්ද ඉතිහාසයෙන් කියැවේ. විජය කුමරු ලක්දිවට පා තැබූ අවස්ථාවේදී කුවේණිය කපු කටිනිම් සිටි බව කතා පුවත්වල එයි. එයින් හැඟෙන්නේ ඒ අවධියේ පටන්ම මෙහි කපු කර්මාන්තය ප්‍රචලිතව පැවති බවයි. ඉන්දියාවේ මිහිරකුල රජුගේ බිසව ලංකාවේ කපු ඇඳුම්වලට ඉතා ඇල්මක් දැක්වූ බව වාර්තාවලින් පෙනේ. මෙසේ ගෙන්වන ලද ඇඳුමක ලක් රජුගේ පා සටහන් ලකුණු දුටු මිහිරකුල රජු එයින් කෝප වී ලංකාව ආක්‍රමණය කළ බවද රාජතරංගනියේ සඳහන් වී ඇත. එමෙන්ම ලක්දිවින් භාරුකච්චයට කපුරෙදි ගෙන ගිය වෙළෙන්දෙකු ගැන ප්‍රාකෘත තීරන කල්පයේ සඳහන්ය.

මේ අයුරින් අනුරාධපුර යුගය අතරතුර ලංකාවෙන් පිටරට යැවූ ද්‍රව්‍ය රාශියකි. මුතු එයින් ඉතා වැදගත් බව ඉහත සඳහන් විණි. විජය හා දෙවනපෑතිස් රජුන් දඹදිවට යැවූ දූතයින්ට තුටු පඬුරු වශයෙන් ගෙනයාමට දෙන ලද්දේ මුතුමැණික් බව මහාවංසයේ සඳහන්ය. ඒවා ගජමුතු අස්මුතු ආදී වශයෙන් වර්ග 8කට බෙදා තිබිණි. පාහියන් කියන අන්දමට මුතු කිමිදීමේ සම්පූර්ණ අයිතිය තිබුණේ රජුටය. තවද ලංකාව ‘රත්නදීප’ ‘පාඕටු’ ආදී නම්වලින් හඳුන්වනු ලැබූයේ ලංකාව ඈත අතීතයේ පටන්ම මැණික්වලට ප්‍රසිද්ධියක් ඉසිලූ හෙයින් යැයි විස්වාස කළ හැකිය. මේ අතර පිටරටින් මෙරටට ගෙන්වූ ද්‍රව්‍ය අතර රෙදි පිළි ප්‍රධාන තැනක් ගන්නා ලදි. වැඩියෙන් රෙදි ගෙන්වනු ලැබූයේ ඉන්දියාවෙන් හා චීනයෙන්ය. 

මෙතෙක් දැක්වූ විදේශීය වෙළෙඳාම මෙන්ම අභ්‍යන්තර වෙළෙඳාමද දියුණු තත්ත්වයක පැවති බව බදුලු ටැම්ලිපිය දක්වන කරුණුවලින්ද පැහැදිලි වේ. ‘පදිවදිනා බඩු පෙරමගට ගොස් නොගන්නා ඉසා’ යනුවෙන් සඳහන් වීමෙන් සමහර වෙළෙන්දෝ වෙළඳපොළට ඒමට පෙර බඩු අයිතිකරුවන්ගෙන් අඩු මිළකට ඒවා ගත් බව පැහැදිලි වේ. එසේ එන අයගේ බඩු පෙරමගට ගොස් නොගත යුතු යැයි අණක් සඳහන් කර ඇත්තේ ඒ නිසා බව පෙනේ. මෙයින් සල්පිලක හෙවත් වෙළඳ මධ්‍යස්ථානයක පමණක් වෙළඳාම් කිරීමට අවසර තිබූ බව සඳහන්ව ඇත. මේ අනුව ප්‍රධාන වශයෙන් වෙළඳ නගරවලට වෙළෙඳුන් සිය රැකියාවෙහි යෙදී සිටි බව පෙනී යයි. ‘ගණලහස්සෙන් මිසැ සෙසු ලහසියෙන් නොමනිනු ඉසා’ ආදි වශයෙන් වී මැණීම් වැනි කාර්යයන්හිදී ඒවාටම වෙන්කර තිබූ මැණීම් උපකරණවලින් මැණීම් කරන ලෙස ද අවවාද කර ඇත. මෙහි ඇති විශේෂ දෙයක් නම් වෙන මිම්මක් මේ සඳහා පාවිච්චි නොකරන ලෙස දන්වා සිටීමයි. එයින් පෙනෙන්නේ මෙකලත් කූට වෙළෙඳුන් සිටි බවයි. ඒ කොයිහැටි වෙතත් මෙහි ‘ගණ’ යන්න වෙළඳ මණ්ඩලය යයි නිගමනය කිරීමට හේතු තිබේ. බමරගස්තලාව සෙල්ලිපියේද මෙය කරවූ වෙළෙන්දා ‘පරුමක’ නමින් හඳුන්වා ඇත. මොහු වෙළඳ සංගමයක නායකයා යැයි සිතිය හැකිය. එමෙන්ම කලින් සඳහන් කළ වෙළඳ නගර සමහර විට වෙළඳ පොළවල් වියහැකිය. බදුලු ටැම්ලිපියේ හෝපිටිගම් පදියැ යන තැන ‘පදි’ යන්න වෙළඳපොළ යන අර්ථය ගැබ්ව ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි. ඒ අනුව මේ වෙළඳ මණ්ඩල පැවති බව අනුමාන කළ හැකිය. තවදුරටත් වෙළඳ තොරතුරු ගෙන එන බදුලු හෝපිටිගම් ලිපිය වෙළඳපොළ ඒ ඒ බඩුවලට ඒ ඒ කොටස වශයෙන් එක් එක් කොටස් වෙන්කළ බවක් හා ඒ තැන් වෙනස් කිරීම වරදක් බවද දක්වා ඇත. එසේ ද්‍රව්‍ය අලෙවියට මණ්ඩප යොදා ඇත්තේ බදු අය කිරීමේ පහසුවට විය හැකිය. මෙයින් එකල ක්‍රමවත්ව පැවති නීති පද්ධතියක් යටතේ නගරවල සංවිධානාත්මක වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගිය බවට කොතෙකුත් සාක්ෂ්‍ය ලැබේ.

එපමණක් නොව වෙළඳපොළවල කෙරෙන නොයෙක් දූෂණ මග හැර ඒවා පාලනයට නිලධාරීහු වූහ. එමෙන්ම දඩ අයකර ගැනුමද ශිෂ්ට සම්මත පදනමක් පිටකරගෙන යන ලදි. ‘ගැල් නොගන්නා ඉසා’ ‘ගැල්ගොන් මීවුන් මැරියන් නොගන්නා කොට් ඉසා’ ආදී වශයෙන් සඳහන් වන මොරගොඩ සෙල්ලිපියෙන් ඒ බව පැහැදිලි වේ. අනෙක් අතට එකල ගමනාගමන පහසුව නොතිබීම වෙළඳාම දියුණු වීමට බාධකයක් වුවත් ඉහත සඳහනින්ම එකල හරකුන් යෙදූ වාහන තිබුණු බවක් කියවේ. බොහෝ විට තවලම් කරත්ත මේ වාහන වශයෙන් සැලකිය හැකිය.

මීළඟට ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙරට කුමන අන්දමේ ගනුදෙනු ක්‍රමයක් පැවතියේදැයි පිළිගැනීමට තරම් සාක්ෂ්‍ය අප ඉදිරියේ විද්‍යමාන එකිනෙක වෙළෙන්දන් අතර සිදු වූ ද්‍රව්‍ය හුවමාරුව ගැන සිතන්නට කොතෙකුත් කරුණු ඇත. නමුත් වෙළඳාම දියුණුවීම සමගම රෝම පර්සියානු අරාබි කාසි මෙරට පැතිර යන ලදි. සීගිරිය මන්නායි යාපහුව ආදී තැන්වලින් සොයාගත් කාසි ඒ බව කියයි. බොහෝවිට වැඩියෙන් එදා භාවිත වූ කාසි හඳුන්වනු ලැබූයේ කහවනු නමිනි. කෙසේ වෙතත් එකල වෙළඳුන් පාරිභෝගිකයින් හා නිෂ්පාදකයන්ගේත් පහසුව සඳහා මුදල් හා ධාන්‍ය ආදිය තැන්පත් කිරීමේ බැංකු ක්‍රමයක් තැබුණු බව සෙල්ලිපි ආශ්‍රයෙන් දැනගත හැකිව තිබේ. මේ තැන් නියමතන කියා ඒවායේ සඳහන් කර ඇත. එමෙන්ම මේ තැන්පත් කරන දෙයට පොළී එකතු වීමක්ද තිබිණි. මෙබඳු සංවිධානය වූ ආයතන ක්‍රමයක් මෙසේ තිබීම වෙළෙඳුන්ගේ මහත් පහසුවක් විය. එයින් වෙළෙඳුන්ගේ වැදගත් අවශ්‍යතාද පිරිමැසෙන්නට ඇත.

පදියතලාවේ ඤාණවිමල හිමි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය



සැබෑ ඉවසීම ජීවිතයට වැදගත්

මෙලොව මිනිසත් බව ලැබූ සෑම දෙන අතරින් බෞද්ධ ප්‍රතිපදාව පූරණය කරන්නන්ගේ විශේෂත්වයක් නම් බුදුන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියමං කිරීම හා එමඟින් ජීවිතාලෝකය උදාකර ගැනීමට වෙහෙසීමය. උන්වහන්සේ සරණ ගිය අප බෞද්ධයන් වශයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න උන්වහන්සේගේ දේශනා අනුසාරයෙන් සිහි කටයුතු ය. ලෞකික ජීවිතයත් ලෝකෝත්තර දිවියත් කෙරෙහි අතිශයින් බලපාන කරුණු ඕනෑතරම් බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. ඒ සියල්ලෙන් ම සම්භාවනාවට පාත්‍ර වන එක් ධර්මතාවකි ‘ඉවසීම’ යනුවෙන් හඳුන්වන්නේ.

"ඉවසීමෙන් සැනසීම ලැබේ" යනු අතීතයේ පටන් ජන වහරෙහි පවතින එක් සංකල්පයකි. සැබැවින්ම ඉවසීම වැඩූ සත්ත්වයාගේ දිවිය සරුසාරය. ආලෝකවත්ය. අන්‍යයන්ගේ ප්‍රශංසාවෙන් යුක්තය. ඔහුගේ කීර්ති රාවය දසත පැතිරේ. ඔහුට සතුරන් නැත. සිටිය ද ඔවුන් කෙරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන බැවින් සතුරන් ද වෛරයෙන් හීන වේ. ලෞකික වශයෙන් තමන් ලද හැකි උපරිම දායාද භුක්ති විඳීමට නම් ඉවසීමෙන් ක්‍රියා කිරීම අතිශයින් වැදගත් වේ. බෞද්ධ ජීවිතය සඳහා වැඩි වශයෙන් ආදර්ශ ලබා ගැනීමට අප පෙළඹෙන්නේ බෝසත් චරිතය ඇසුරිනි. බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන අවදියේ ඉවසීම කෙසේ ප්‍රගුණ කළේ දැයි විවිධ ජාතක කතා අනුසාරයෙන් අවබෝධ කර ගත හැකි ය. විටෙක පාරමිතාවක් වශයෙන් ඉවසීම ප්‍රගුණ කළ උන්වහන්සේ සියලු ආත්මභාවවල දී ඉවසීමෙන් යුතුව ක්‍රියා කර ඇති බව ජාතක පොත් වහන්සේ සාක්ෂ්‍ය දරති. ඉවසීම බුද්ධාදී උතුමන් විසින් පසස්නා ලද උසස් වූ ගුණ ධර්මයකි. ඉවසීම ඇති කරගත යුත්තේ කුමන හෙයින් ද යනු එහිදී අවබෝධ කරගෙන සිටීම ද අතිශයින් වැදගත් වේ.

බෝසත් චරිතය දෙස විචක්ෂණව බැලීමේ දී බෝසතාණන් වහන්සේ බොහෝ අවස්ථාවල තමන්ට වෛර කරන්නවුන්ට, ද්වේෂ කරන්නවුන්ට, ගර්හා කරන්නවුන්ට, අහිත ඇත්තවුන්ට වෛර නොකර, ද්වේෂ නොකර, ගර්හා නොකර, හිතවත්ව විසූ බව ජාතක පොතින් දත හැකිය. ක්ෂාන්තිවාදී ජාතකයෙන් ප්‍රමුඛව දක්වා ඇත්තේ බෝසතාණන් වහන්සේගේ ඉවසීමේ ගුණයයි. එයින් පරිබාහිරව ඇති අනෙක් ජාතකකතා ගෙන බැලුව ද ඒවා කෙරෙන් විද්‍යාමාන වන සුවිශේෂ ලක්ෂණය නම් ඉවසීමේ ගුණය නො අඩුව එහි දක්නට ලැබීමයි. එකී ධර්මතාව නිවන් සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය උදෙසා මහඟු පිටුවහලක් වූ අයුරු මැනවින් විශද වේ.

බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා පිරිය යුතු සමතිංශත් පාරමිතා ධර්ම පාරමී, උපපාරමි, පරමත්ථ පාරමි යනුවෙන් කොටස් තුනෙකින් සමන්විත වේ. මේ අංශ තුනෙන්ම සම්පූර්ණ වීම සිතන තරම් පහසු කරුණක් නොවේ. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන, ඒ මඟෙහි ගමන් කිරීමට අදිටන් කර ගත්තෙකුට හැර සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එකී කරුණු පූරණය කළ නොහැකි මනාය. තමා සන්තකයේ ඇති වස්තු පමණක් නොව තම ශරීරය ද අනුන්ට පූජා කරන්නේ මෙත් සිතිනි. වෛරීව, ඊර්ෂ්‍යා, පරවශ, ක්‍රෝධාග්නියෙන් යුක්තව යමෙක් තම ශරීරයේ අත් පා ආදිය සිඳින තෙක් නිහඬව මෙත් සිත් පෙරදැරිව හිඳීම කළ හැකි වන්නේ බුද්ධාංකුරයකට ම පමණි. ඒ උත්තරීතර තත්ත්වයන් මෙන්ම සාමාන්‍ය ජීවිතයේ දී ද අප බෝසතාණන් වහන්සේ ඉවසීම ප්‍රගුණ කළ අන්දම ඉහතින් පෙන්වා දෙන ලදී.

බුදුරජාණන් වහන්සේගේ අවවාදය නම් ඉවසීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු බවයි. මේ සඳහා උන්වහන්සේ පෙන්වා දුන්නේ කකචූපම උපමාවයි. බුද්ධ ශාසනයේ ඉවසීම් ඇත්තවුන් අතර අග තනතුර ලැබුවේ සුනාපරන්ත පුණ්ණ මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ ඒ තත්ත්වයට පත් කිරීම කෙරෙහි අතිශයින් බලපෑවේ උන්වහන්සේ සතුව පැවැති ඉවසන සුලු ස්වභාවයයි. එය සාමාන්‍ය මිනිසුන්ගේ ඉවසීමේ සීමාවෙන් එහා ගිය වදනින් පැවසිය නොහැකි අන්දමේ ඉවසීමකි. මෙහි දී වැදගත් ම දේ නම් උන්වහන්සේ සුනාපරන්ත නම් ප්‍රදේශයට වැඩම කළේ රහත් භාවයට පත් නොවී වීමය. තමන්ට කෙතෙක් වද වේදනා විඳීමට ඇති බව සිතුණත් එය අත්‍යන්තරයෙන්ම ප්‍රකට වූවත් ඒ කෙරෙහි සිත නොනම්මවා, ඒ ප්‍රදේශයට වැඩම කිරීම කෙරෙහි ගත් ක්‍රියාමාර්ගයම ප්‍රශංසනීයය.

එක් දිනක් බුදුන් සමීපයට වැඩි පුණ්ණ හිමියන් බුදුහිමියන් අමතා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මම හුදෙකලාව මහණ දම් පිරීමට කැමැත්තෙමි. ඒ සඳහා කෙටි අවවාදයක් කළ මැනවැයි ඉල්ලා සිටියහ. බුදුහිමියෝත් කෙටියෙන් අනුශාසනා කොට මහණදම් පිරීම සඳහා කවර ජනපදයක් තෝරා ගත්තේ දැයි විමසූහ. එවිට පුණ්ණ හිමි සුනාපරන්තය තෝරාගත් බව දැන්වූ කල්හි ‘පුණ්ණය සුනාපරන්තය නම් දරුණු මිනිසුන්ගෙන් ගහණය, එහිදී තට බැන්නහුනම් කුමක් කරන්නේ දැයි ඇසූහ. මෙහිදී ඇති වූ සංවාදය පහත පරිදිය.

පුණ්ණ - ස්වාමීනි, සුණාපරන්ත මිනිසුන් හොඳය. බණින නමුත් ඔවුන් මට අතින් නොගසතීයි සිතමි.

බුදුහිමියෝ - පුණ්ණය, සුණාපරන්ත වැසියන් අතින් ගසත් නම් කුමක් කරන්නේද

පුණ්ණ - ස්වාමිනි, ඔවුන් මට අතින් ගසතත් මට ගල්මුල්වලින් නොගසතියි සිතමි.

බුදුහිමියෝ - පුණ්ණය ඔවුන් ගල්මුල්වලින් ගැසුවොත් එකල කුමක් සිතන්නෙහි ද

පුණ්ණ - ස්වාමිනි, ඔවුන් ගල්මුල්වලින් ගසතත් පොලුවලින් නොගසතියි සිතමි.

බුදුහිමියෝ - පුණ්ණය, ඉදින් ඔවුන් පොලු මුගුරුවලින් පහර දුන්නොත් තොප කුමක් සිතන්නෙහිද

පුණ්ණ - ස්වාමිනි, සුණාපරන්ත වැසියෝ හොඳය. පොලුවලින් පහර දුන්න ද කැති පිහි ආදී ආයුධවලින් නොකොටතීයි සිතමි.

බුදුහිමියෝ - පුණ්ණය, ඉදින් කැති පිහියාවලින් ඔවුන් නුඹට පහර දුන්නොත් නුඹ කුමක් සිතන්නෙහිද

පුණ්ණ - ස්වාමිනි, සුණාපරන්ත වැසියෝ හොඳය. ඔවුන් මා නොමරතීයි සිතමි.

බුදුහිමියෝ - පුණ්ණය, ඉදින් සුණාපරන්ත වැසියෝ තෝ මරහි නම් තෝ කුමක් සිතන්නෙහිද

පුණ්ණ - ස්වාමිනි, ශරීරයත් ජීවිතයත් පිළිකුල් කරන ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ශරීරය ගැනත්, ජීවිතය ගැනත් කළකිරී තමන් මරවා ගැනීමට මිනිසුන් සොයති. ඉතින් මම එසේ නොසොයාම මිනීමරුවන් ලදිමියි සිතමි.

මේ සංවාදයෙන් අනතුරුව සාදුකාර දුන් බුදුහිමියන් පුණ්ණ හිමියන්ගේ ඉවසීමේ ගුණය ප්‍රශංසා කර සුණාපරන්තයට යෑමට අවසර දුන් සේක. සුණාපරන්තයට වැඩම කළ පුණ්ණ හිමියන් එහි වැසියන් බුදුමඟට යොමු කොට සව් කෙලෙසුන් නසා අර්හත්වයට පත් වූ සේක.

ඉහතින් පෙන්වා දුන් සියලු කරුණු අපගේ ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා මහඟු පිටුවහලක් ලබාදෙනු නිසැකය. වත්මන් සමාජයේ ජීවත්වන අපත් පුණ්ණ තෙරුන් වහන්සේ ඉවසීමේ ගුණය කෙසේ ප්‍රත්‍යක්ෂ කළේ ද ඒ අයුරින් වැඩීමට වෙහෙස ගත යුතු මනාය. එහි වැදගත්කම පෙන්වා දෙන බුදුහිමියන් ඒ සඳහා ක්‍රියා කළ යුතු අන්දම ද පෙන්වා දුන් සේක.

වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි චේතනා ඇතිවන සෑම විටම මෛත්‍රී සිතිවිල්ලෙන් යුතුව ඉන් මිදීම පිණිසය අප කටයුතු කළයුතු වන්නේ, කුඩා අවදියේ දී නොතේරුම්කම නිසා හා අනවබෝධය නිසා අනුන්ට සැහැසිවී ක්‍රියා කරනු දක්නට ලැබෙතත් අප කුඩා අවධිය, තරුණ අවධිය, මහලු අවධිය යන අවස්ථා තුනෙහිදීම සැහැසිබවින් මිදී උපේක්ෂාවෙන් යුතුව, ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට හුරු පුරුදු විය යුත්තේම ය. ලෝකෝත්තර විමුක්තිය උදා කරගත හැකි වන්නේත් ලෞකික ජීවිතය සරු කර ගත හැකි වන්නේත් ඉවසීම වර්ධනය කරගතහොත් පමණි. අපිත් ඉවසීම ප්‍රගුණ කර අපගේ විමුක්තිය සාධනය කර ගැනීමට අදිටන් කරගනිමු.


බිබිල, යල්කුඹුර, ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
2016 03 18 බුදුසරණ පුවත්පත

අචල සිතක උපදින කුසල සිත
බිබිල, යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය
රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
මෙලොව උපදින, මිනිසත් බව ලැබූ බෞද්ධ අනුගාමිකයින් වෙසෙසින් ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියනැගීමට වෙහෙසෙති. ඔවුන්ට බුදුරදුන් විසින් දේශනා කර ඇති අවවාදයක් වන්නේ පව්කම්වලින් වැළකී පින්දහම් කරන ලෙසයි. එයට හේතුව නම් කුසල් යනු දෙලොව යහපතට හේතුවන යහපත් වැඩ නිසාවෙනි. උන්වහන්සේගේ එකී දේශනාව නම්,

සියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසල් දහම් වැඩිදියුණු කරන්න. සිත මනාව දමනය කරගන්න, මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි යන්නය. මෙහි දී කුසල සිතක් උපදවා ගන්නේ කෙසේද කුසල සිතක ඇති විශේෂත්වය පිළිබඳ කරුණු ගොනුකෙරේ. අප පෘථග්ජනයින් ය. කාමාශාවෙන් වෙළී ඇත. ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන් නිරන්තරයෙන් අප සිතට කා වදී. තදංග වශයෙන් ඒවා ප්‍රහාණය කිරීමට වෙහෙසවෙතත් නැවත නැවත උපදී. මෙලෙස උපදින අනේකවිධ අකුසල සිතිවිලි අපගේ මානසික දියුණුව පිරිහෙළයි. වැරදි වැඩ කෙරෙහි සිත යොමු කරවන අතර හොඳ සිතිවිලි සිතට පැමිණීම අඩපණ කරයි. අප සමාජයේ ජීවත් වන විට අපේ හොඳ ගතිගුණ අසන්නට ලැබෙනවා නම් අප එයට බොහෝ සෙයින්ම කැමතිය. අප කෙරෙහි අවලාද නඟන්නන්ට අප කොහෙත්ම කැමති නැත. මෙය නිසි පරිදි වටහා නොගත් පිරිස් තමන් ඒ අයුරින් සිතන ගමන් අනුන්ගේ වැරදි සොයයි. අනුන් පහත් ලෙස සැලකීමට මහන්සි ගනී. පෘථග්ජන සමාජයේ ස්වභාවය එයයි.

ඉහතින් පෙන්වා දුන් ගාථාව මඟින්ද ප්‍රකට කෙරෙන්නේ පව්කම්වලින් වළකින ලෙසයි. පව්කිරීමෙන් වැළකීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. මන්ද අප නිරන්තරයෙන් යොමුවන්නේ වැරදි සහිත ක්‍රියාවන් සිදුකිරීමටය. බුදුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරමින්

සුකරානි අසාධුනී අත්තනෝ අහිතානි ච
යංචේ හිතං ච සාධුං ච තං චේ පරම දුක්කරං

යනුවෙන් වදාරා ඇත. එයින් පැනෙන්නේ තමන්ට හිත වැඩදායී දේ කිරීමට යමෙකුට අපහසු වන අතර අහිත පිණිස හේතුවන අවැඩදායී ක්‍රියාවන් කිරීම පහසු වන බවයි. තමන්ගේ ජීවිතය පරිහානියට පත් කර ගනිමින් අනුන්ගේ වැරදි සොයමින් ඔවුන්ගේ ජීවිත වනසමින් කටයුතු කරන පිරිස් ඕනෑ තරම් සමාජයේ සිටී. බුද්ධිමත් නුවණැති පිරිසක් හැටියට අප කළ යුතු වන්නේ අපගේ කුසල පක්ෂය වැඩිදියුණු කර ගැනීමය. අකුසල්වලට හිමිකරුවෙකු නොවී කුසල් දහම්වලට හිමිකරුවෙක් වීමට අප සැම දෙන අදිටන් කර ගත යුත්තේ කුසල් අපගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට සැබැවින්ම හේතුදායක වන බැවිනි.

අප එදිනෙදා ජීවිතයේ දී කුසල් දහම් රැස් කළ හැකි ක්‍රමවේද කිහිපයක් ඇත. සිතින් කයින් වචනයෙන් යන තිදොරින්ම අපට කුසල් රැස් කරගත හැකිය. කායික වශයෙන් කළ හැකි කුසල කර්ම ලෙස පෙන්වා දෙන්නේ පරපණ නැසීමෙන් වැළකීම, අනුන්ගේ දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම හා කාමය වරදවා හැසිරීමෙන් වැළකීම ය. මේවායෙහි යෙදීම අකුසල් ලෙස එහිදී පෙන්වා දී ඇත. යමෙක් සත්ත්ව ඝාතනය කෙරේ නම් අනුන්ගේ දෑ සොරකම් කෙරේ නම් කාමමිථ්‍යාචාරයේ යෙදේනම් ඔහු එහි විපාකවලින් පිරිහීමට පත්වේ. මෙලෝ පරලෝ වශයෙන් දුක් විඳීමට එය හේතුසාධක වේ.

කයින් පමණක් නොව වචනයෙන් සිදුවන අකුසල්වලින් මිදී කුසල පක්ෂය වැඩිදියුණු කිරීමට, පෝෂණය කිරීමට අප වෙහෙසිය යුතුය. එහිදී වචනයෙන් වන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියයි. මෙලෙස වචන භාවිත කරමින් අනිසි ලෙස කාලය අපතේ යැවීමෙන් අකුසල් රැස් කර ගනී. මෙවැනි ක්‍රියාවලින් වැළකී යහපත් වචන අනුන්ට පි‍්‍රය උපදවන සත්‍යය වචනය ප්‍රකාශ කිරීමට නුවණැත්තා පෙලඹිය යුතුය. එවිට ඔහුගේ කුසල් වර්ධනය වේ. මේ සියල්ලටම වඩා සිතින් සිදුවන අකුසල් දුරලීමට කටයුතු කළයුතුය. මන්ද මේ සියලු දේ සිදු කරන්නේ සිත මූලික කරගෙන බැවිනි. එහි දී සිතින් සිදුකරන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ අභිද්‍යාව, ව්‍යාපාදය, මිසදිටු බව යන ක්‍රියාවන් ය. අභිද්‍යාවෙන් පිරුණු හදවතකින් සිදුවන අනර්ථය භයංකර විය හැකිය. දැඩි ආශාවෙන් පෙළීම නිසා බොහෝ විට මානව පවුලේ ආරවුල් ඇති වීමට ඉඩකඩ වැඩිය. දේපල ප්‍රශ්න ආදිය ඇතිවන්නේ මේවට ඇති මහත් ආශාව නිසා ය. අනුන්ට වඩා තමන්ට ඕනෑ යන අර්ථයෙන් උපදින දැඩි ආශාව අකුසල ධර්මතාවයකි. මෙකී ආශාව දුරලාගෙන අප මැරෙන පුද්ගලයින් බව සිතේ තබාගෙන එවැනි භෞතික දේපල රැස් කිරීම හැර දමා අභෞතික වස්තුව රැස් කිරීමට වෙහෙස ගත යුතු ය. අභෞතික වස්තුව යනු කුසල කර්ම රැස් කිරීමයි. ඒ නිසා ලෝභයෙන් වැළකී එහි විරුද්ධ අංශය වන අලෝභය ඇති කර ගැනීමට වෙහෙසිය යුතු වේ.

ඉන් පසු ඇත්තේ ව්‍යාපාදයයි. අනුන්ගෙන් පළිගැනීමේ මානසික අසහනය මේ නමින් හැඳින්විය හැකිය. යම් යම් හේතු නිසා අනුන්ගෙන් පළිගැනීමට හේතුවක් විය හැකි ය. ධනය බලය ආදියෙන් තමන්ට වඩා යමෙක් ඉහළින් සිටී නම් ඔහු කෙරෙහි ඉරිසියාවෙන් බලයි. ඔහු විනාශ කිරීමට ඔහුගේ දේපල ධනය විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරයි. මෙවැනි අකුසල ක්‍රියාවන්ගෙන් වැළකී මෙත් සිතින් කටයුතු කිරීමට මහන්සි ගැනීම නුවණැත්තාගේ ලක්ෂණයයි. තමාගේ හිත තමාටම පාලනය කරගත නොහැකි ආවේගවලින් පිරීම අකුසලයකි. මෙය අනිවාර්යයෙන්ම පාලනය කරගත යුත්තකි. එසේ නොවුණහොත් මිනිස් ජීවිතයේ වටිනාකම විනාශ වන්නේ ය. මෙත් සහගත කාය කර්මයෙන් වචී කර්මයෙන් හා මනෝ කර්මයෙන් යුතුව ක්‍රියා කිරීම මඟින් පුද්ගලයාගේ මානසික කායික දියුණුව සැලසේ. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අනුන්ගේ අප්‍රසාදයට හේතුවන කිසිම ක්‍රියාවක් නොකළ යුතු බවයි. සියලු සත්වයින් සතුටින් සොම්නසින් ජීවත් වේවා යන ප්‍රාර්ථනාවෙන් හා සිතිවිල්ලෙන් ජීවත්වීම වඩා වැදගත් බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.

අප යම් විටෙක කර්ම විපාක පිළිබඳ නිසි අවබෝධය නොමැති වීමෙන් අකුසල ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹෙනවා විය හැකි ය. එනමුදු තමන් කරන්නේ අකුසලයක් බව හෝ අයහපතක් බව මනාව තේරුම් ගත්තේ නම් හා ඉන් වැළකී යහපතෙහි සිත මෙහෙයවීමට කටයුතු කරන්නේ නම් වළාකුලින් මිදුණු සඳක් සේ බැබලීමට පත් වන බව විටෙක බුදුහිමියෝ දේශනා කළහ.

යම් විටෙක අප කරන සැහැල්ලු අකුසල කර්ම ප්‍රබල කුසල කර්මයක් කිරීමෙන් අහෝසි තත්ත්වයට පත්විය හැකිය. අප නිරන්තරයෙන් කුසල ක්‍රියාවන්ම කිරීමට පෙලඹිය යුතු වන්නේ අපගේ ජීවිතයෙහි අස්ථිරත්වය මැනවින් වටහා ගැනීමෙනි. උපන් සත්ත්වයා හැකි උපරිමයෙන් පින් දහම් රැස් කළ යුතු බවයි බුදුහිමියන්ගේ අවවාදය වන්නේ. එසේම නුවණැති පිරිස් කුසල කර්ම කිරීමට කැමැත්ත උපදවා ගත යුතු බව ද පෙළ දහමේ සඳහන් වේ.

පින් කිරීමට සිත යොමු කළ තැනැත්තා නිරන්තරයෙන්ම පින් දහම් කළ යුතු ය. නැවත නැවත පින් කිරීමට සිත පොලඹවා ගත යුතු ය. මන්ද පින යනු සැපයට තවත් නමෙකි. මේ අනුව පැහැදිලි වන්නේ පින් දහම් කිරීම මඟින් අපට සතුට සැනසුම උදාකර ගැනීමට හැකියාව ඇති වන බවයි. තවත් තැනෙක බුදුහිමියෝ පෙන්වා දෙන කරුණක් නම් පුළුවන් හැකි හැම අවස්ථාවක දීම පින් දහම් රැස් කිරීම නුවණැත්තාගේ ලක්ෂණය වන බවයි.

පින් කිරීමට වෙහෙසිය යුතු බවත් දිය බින්දු එකතුවීමෙන් කළයක් පිරෙන අයුරින් තමන්ගේ පින නැමැති කළය පුරවා ගැනීමට නුවණැත්තා ක්‍රියා කළ යුතු බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ. පින් කිරීමට කිසිවෙක්ගේ බලපෑම් කිරීමක් අවශ්‍ය නැත. තමන්ට කැමති ඕනෑම අවස්ථාවක පිනක් කර ගැනීමේ හැකියාව පවතී. අනුන්ගේ පැසසුම් ලැබීමට පින් කිරීම මුලාවට පත්වීමකි. බොහෝ අවස්ථාවන්හි සිදු වන්නේ මේ දෙයමය. අනුන්ගෙන් ගැරහුම් ලැබීමට ඇති අකැමැත්ත නිසා සමහරෙක් පින් කරන්නේ, දන් පැන් ආදිය දෙන්නේ සිතේ චකිතයකින් හා අකැමැත්තකින් යුතුව ය. එසේ කළ කල්හි එයින් නියම පින ලබා ගැනීමට නොහැකිය. පිනට වඩා බොහෝ විට එයින් පව් සිදුවීමක් නම් සිදුවනු ඇත. මන්ද එවැනි අවස්ථාවල ක්‍රියා කරන්නේ ද්වේශ සහගත සිතිවිල්ලෙන් බැවිනි.

තෙරුවන් කෙරෙහි පැහැදුණු අචල ශ්‍රද්ධාවෙන් යුක්ත තැනැත්තාගේ කුසල සිතිවිලි කිසි දිනෙක වෙනස් වන්නේ නැත.
2016 05 13 බුදුසරණ පුවත්පත