Wednesday, April 12, 2017

පිරිවෙන් ගීතය


69 වැනි නිදහස් දින සැමරුමේ විශේෂ අවස්ථා























කච්චායන ධාතු මඤ්ජුසාව
      පාලි ව්‍යාකරණයට අයත් වන සුවිශේෂ කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දියහැකිය. මෙහි කෘතියෙන් පෙන්වා දෙන අදහස අනුවම කුමන කරුණු අන්තර්ගත වේ දැයි අවබෝධ කර ගත හැකිය. ධාතු යනුවෙන් හඳුන්වන්නේ ක‍්‍රියා පදවල මුල් ස්වරූපයයි. මඤ්ජුසාවක් යනු යම් යම් දේවල් බහාලිය හැකි, අසුරා තැබිය හැකි පෙට්ටියකි, ඇසුරුමකි. එසේ නම් ධාතු මඤ්ජුසාව නමින් දක්වා ඇත්තේ ධාතූන් හෙවත් ක‍්‍රියා මූල රැුසක් ඒකරාශි කර ඇති ඇසුරුමකටය. මෙහි මුලින්ම ඇත්තේ කච්චායන යනුවෙනි. එම පදයෙන් හැඟවෙන කරුණත් අවබෝධයේ තබා ගැනීම අතිශයින්ම වැදගත් වේ. 
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිතව ගිය පාලි ව්‍යාකරණ සම්ප‍්‍රදායයන් තුනක් තිබුණේය. ඒවා,
  • කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදාය
  • මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප‍්‍රදාය
  • සද්දනීති ව්‍යාකරණ සම්ප‍්‍රදාය 

ලෙසින් හඳුන්වනු ලැබේ.

    මෙම ව්‍යාකරණ සම්ප‍්‍රදායයන් තුන අතරින් කච්චායන සහ මොග්ගල්ලාන සම්ප‍්‍රදායන් දෙකට වැඩි තැනක් හිමි වූ අතර එයින් ද කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදාය ජනප‍්‍රිය වූ ව්‍යාකරණ සම්ප‍්‍රදාය විය. මෙම ව්‍යාකරණ සම්ප‍්‍රදායයට අයත් කෘති කිහිපයක් මුලින් හඳුනාගෙන සිටීම අපගේ දැනුම වර්ධනය විෂයයෙහි ද වැදගත් වේ.
කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදායයෙහි ඇති කෘති අතර,
  1. බාලාවතාරය
  2. රූපසිද්ධිය
  3. අභිධානප්පදීපිකාව
  4. නාමමාලා සහ වරනැගිල්ල
  5. ධාතු මඤ්ජුසාව

ආදි කෘති ප‍්‍රමුඛ තැනක් හිමිකර ගනී. 

    මීට අමතරව මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප‍්‍රදාය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නේ නම් එයත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිතව ගිය ව්‍යාකරණ සම්ප‍්‍රදායයක් වූ නමුදු එය කච්චායනය තරම් දියුණුවට හෝ ප‍්‍රසිද්ධියට හෝ ජනප‍්‍රියත්වයට පත් වූයේ නැත. එයට හේතුව නම් එකී කෘතිවල පාලිය අන්‍ය භාෂා සමග මිශ‍්‍ර වූ බවක් දක්නට තිබීමයි. කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදායයෙහි ඇති කෘතිවල ඇත්තේ අමිශ‍්‍ර වූ පාලි වදන් ය. එසේම සරල බවින්ද යුක්තය. මේ නිසා කච්චායනයම ලංකාවේ ප‍්‍රසිද්ධ විය. සද්දනීති ව්‍යාකරණ සම්ප‍්‍රදාය මෙරටෙහි ව්‍යාප්ත වී නොගිය තරම්ය. 
දැන් අපි තවදුරටත් කච්චායන ධාතුමඤ්ජුසාව පිළිබඳ අවබෝධ කර ගනිමු.

    ඉහතින් පෙන්වා දුන් පරිදි මෙහි ඇත්තේ ධාතූන් රාශියක් ඒකරාශි කොට ලියා දැක්වීමකි. ධාතුවක් යනුවෙන් හඳුන්වන්නේ ක‍්‍රියාපදයක මුල් අවස්ථාව බව ඉහතින් පෙන්වා දෙන ලදි. මෙම ධාතුවක් විභක්ති ප‍්‍රත්‍යයක් හා සම්බන්ධ වීමෙන් අනතුරුව ක‍්‍රියා පදයක් නැතහොත් ආඛ්‍යාත පදයක් නිර්මාණය වේ. එසේම ධාතු ගණ කිහිපයක්ද පාලි ව්‍යාකරණයෙහි විද්‍යමාන වේ. ඒ අතර
  1. භුවාදි ගණය
  2. තුදාදි ගණය
  3. රුධාදි ගණය
  4. දිවදි ගණය
  5. ස්වාදි ගණය
  6. කියාදි ගණය
  7. තනාදි ගණය
  8. චුරාදි ගණය

  •         ගහාදි ගණය
  •         ජුහාදි ගණය
  •         අදාදි ගණය

ආදි වශයෙන් ගණ රැසක් දක්වා ඇත. මේවා මනාලෙස සංග‍්‍රහ කිරීමක් කෘතියෙහි අවසානයේ දැකගත හැකිවේ. ආඛ්‍යාත පදයක් නිර්මාණය වීමේ දී විවිධ වෙනස්කම් ඇති වේ. ධාතුවක් වුවද වෙනස් ස්වරූපයන්ට පත්වීම මෙහි දී සිදුවන කාර්යයකි. ධාතුවට විකරණ ප‍්‍රත්‍යයක් එක්වීමත් ධාත්වංගය නිර්මාණය වීමත් එයට විභක්ති ප‍්‍රත්‍යයක් සම්බන්ධ කිරීමත් මෙහි දී විශේෂයෙන්ම සිදුවේ. ඉන් පසුවය ක‍්‍රියාපදයක් නිර්මාණය වන්නේ. මේ පිළිබඳ වැඩි දැනුමක් මෙම අවස්ථාවේදී අවශ්‍ය නොවේ.
කච්චායන ධාතු මඤ්ජුසාව අයත් වන්නේ කෝෂ ග‍්‍රන්ථ ගණයට ය. කෝෂ ග‍්‍රන්ථයක් යනුවෙන් හඳුන්වන්නේ ද යම් වූ පද සමූහයක් ඒකරාශි කර බඳින ලද කෘතියකටය. ශබ්දකෝෂ යනුවෙන් ද හඳුන්වන්නේ පද රාශියක් සංග‍්‍රහ කොට තිබීම නිසා කෝෂ ග‍්‍රන්ථය යන්න කුමක්දැයි මනාව අවබෝධ කරගත හැකිවේ. 

    අපගේ වැඩිදුර ඉගෙනීමට කෝෂ ග‍්‍රන්ථ කිහිපයක්ද දැනගෙන සිටීම වැදගත්ය. 
  • එකක්ඛරකොස
  • නිරුක්තිසංගහ
  • විභක්ත්‍යත්ථදීපනී
  • අභිධානප්පදීපිකා

ආදිය එහිදී අප මතක තබාගත යුතු කෝෂ ග‍්‍රන්ථ කිහිපයකි. මින් පසු අවධානය යොමු කළ යුත්තේ මෙහි කර්තෘ සංඥා ආදී කරුණු පිළිබඳවය. එහිදී
1. සංඥා
2. කර්තෘ
3. නිමිත්ත
4. ප‍්‍රමාණය
5. කාලය
6. ප‍්‍රයෝජනය
යන අවස්ථා පිළිබඳ අවබෝධ කරගෙන සිටිය යුතුය.
    සංඥාව යනුවෙන් දක්වා ඇත්තේ කෘතියෙහි නාමයයි. ධාතු පිළිබඳ සංග‍්‍රහ කර ඇති මෙහි සංඥාව නොහොත් නාමය කච්චායන ධාතු මඤ්ජුසාවයි. 
දෙවැනිව කර්තෘ කවුද යන්න සොයා බැලිය යුතුය. මෙහි කර්තෘ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලද නොහැකිය. එනමුදු මෙහිම අවසාන පද්‍ය කිහිපයෙන් පෙනී යන්නේ සීලවංස නම් භික්ෂුවක විසින් කළ බවයි. (යක්ඛද්දිලේනාඛ්‍ය නිවාසවාසි සීලවංසො යතිස්සරෝ ඉදං අකාසි) නමුදු එයින්ම මෙහි කතුවරයා කවරෙක්දැයි නිවැරදිව හඳුනාගත නොහැකි වේ.
ඉන් පසුව මෙය රචනා වූ කාලය පිළිබඳ දැනගත යුතුය. මෙය රචනා වී ඇත්තේ දඹදෙණි යුගයේදී හෝ කුරුණෑගල යුගයේදීය. 
එසේම මෙහි නිමිත්ත පිළිබඳ දැක්වීමේදී නිමිත්ත යනු අරමුණයි.  ඕනෑම කෘතියක් රචනා කිරීමට යම් අරමුණක් තිබිය යුතුය. මෙහි අරමුණ ලෙස අපට ගත හැකි වන්නේ ධාතු ප‍්‍රත්‍යය ඒකරාශි කිරීමයි. එය ආධුනිකයන්ට මෙන්ම ප‍්‍රවීණයන්ට ද මහත් වැදගත් වන්නකි. එසේම මෙහි ප‍්‍රමාණය දෙස බැලීමේදී ගාථා 148කින් යුක්තය. මුලින්ම නමස්කාර ගාථා අන්තර්ගත කර ඇති අතර අවසානයේදී සමත්තා සත්තගණා යනුවෙන් කොටසක් අන්තර්ගත කර ඇත ඒ සියල්ල එක්කර බැලීමේ දී ගාථා 7කි. එවිට සියල්ල 155කි. 

එසේම මෙහි ධාතු දක්වා ඇත්තේ විශේෂ ක‍්‍රමවේදයකටය. අකාරාදි පිළිවෙළට ධාතු ඒකරාශි කර ඇති අතර අකාරාදිය සංග‍්‍රහ කර ඇත්තේ ධාතුවේ අවසාන පදයට ගැළපෙන පරිද්දෙනි. මෙහි ඇති විශේෂත්වය එයයි. 

මෙයින් ලබාගත හැකි ප‍්‍රයෝජන අවසාන වශයෙන් දැක්වීම වැදගත් වේ. එහි දී පාලි භාෂාව හා ව්‍යාකරණය සාහිත්‍ය අධ්‍යයනය කරන අපට මෙය අධ්‍යයනය කිරීමෙන්, වනපොත් කිරීමෙන් ලද හැකි ප‍්‍රයෝජන රාශියකි.
1. ක‍්‍රියාපද පිළිබඳ අවබෝධයක් ලද හැකි වීම
2. වාක්‍ය නිර්මාණයේදී අවශ්‍ය ක‍්‍රියාපදය සොයා ගැනීමට හැකිවීම
3. ධාතු ගණ පිළිබඳ හා ඒ ඒ ධාතුව අයත් ධාතු ගණය හඳුනාගත හැකි වීම
4. ධාතු පිළිබඳ අවබෝධ කරගත හැකිවීම
5. ආඛ්‍යාතයෙන් ප‍්‍රකාශවන අර්ථය දැනගත හැකිවීම
6. අප අසා නැති, භාවිත කර නැති අලූත් ආඛ්‍යාත පද හඳුනාගත හැකිවීම
7. පාලි ව්‍යාකරණයෙහි හා වාක්‍ය සාධනයෙහි නිපුණයෙකු බවට පත්වීමට හැකිවීම
ආදිය දැක්විය හැකිය. 

පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල
0715326935

වංසකථා ඉතිහාසය හා දාඨාවංසය

වංස සාහිත්‍ය පාලි සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමිකරගන්නා වූ රචනා විශේෂයකි. වංසකථාවලින් බොහෝ විට ඉදිරිපත් කරන්නේ ඉතිහාසයෙහි (අතීතයෙහි බොහෝ සේ ප‍්‍රසිද්ධියට පත් යම් වස්තුවක් හෝ පුද්ගලයෙකු පිළිබඳ වර්ණනාවලියයි, සාරවත් තොරතුරු රාශියයි. දියුණු සාහිත්‍යයක් ඇති  ඕනෑම භාෂාවක මෙකී සාහිත්‍ය ප‍්‍රභේදය දැකගත හැකිය. නිදසුන් ලෙස පාලි වංසකථා, සංස්කෘත වංශකථා හා සිංහල වංශකථා දැක්විය හැකිය.
සංස්කෘත වංශකථාවලියේ දී බොහෝ සෙයින් හමුවන්නේ රාජ පරම්පරාවක් පිළිබඳ වූ අන්තර්ගතයකි. රඝුවංශය මෙහිලා ඉදිරිපත් කළ හැකි ප‍්‍රකට සාධකයකි. පාලියෙහි දී බොහෝ විට වංසකථා රචනා වන්නේ බුදුදහම කේන්ද්‍ර කර ගනිමිනි. එහිලා බුද්ධ ශාසනයෙහි වැදගත් සිදුවීම් අළලා මෙන්ම බුද්ධචරිතයෙහි වැදගත් සිදුවීම් අළලා මෙවන් වංසකථා රචනා වී ඇති බව අවබෝධ කරගත හැකිය. සිංහල වංශකථා ද මෙම මාර්ගයෙහිම ගමන් කරමින් බෞද්ධ උරුවක් සහිතව රචනා වී ඇති බව සිංහල මහා බෝධිවංශය, දීපවංශය, මහාවංශය, දළදා වංශය, ථූපවංශය ආදී කෘති දෙස බැලීමේදී පෙනී යයි. 
කෙසේ වෙතත් මෙහි දී අපට වැදගත් වන්නේ පාලි වංසකථා සාහිත්‍යය පිළිබඳවයි. පාලියෙහි ලියැවී ඇති වංසකථා ගණන ගණනින් මෙතෙකැයි තීරණය කළ නොහැකිය. කෙසේ නමුත් ඒ අතරින් හමුවන ප‍්‍රධාන වංසකථා කිහිපයකි මේ.
1. දීපවංසය 2. මහාවංසය 3. චූලවංසය
4. මහාබෝධිවංසය 5. ථූපවංසය 6. ලළාටධාතුවංසය
7. දාඨාවංසය 8. ගන්ධවංසය 9. ඡුකේසධාතුවංසය
10. සාසනවංසය  
11. කාම්බෝජ මහාවංසය 
ආදියයි. 
ඉහත සඳහන් වංසකථා අතර දාඨාවංසයට හිමිවන්නේ ප‍්‍රධාන ස්ථානයකි. එයට හේතුව එමගින් විස්තර කරන කථා ප‍්‍රවෘත්තියෙහි විශේෂත්වයයි. බුදුන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ පිළිබඳව කෙරෙන විස්තරාත්මක ලියැවිල්ල දාඨාවංසය යනුවෙන් නම් කළ හැකිය. මෙහි භාෂා විලාසය දෙස විමසිල්ලෙන් බැලීමේ දී පැහැදිලි වන්නේ දොළොස්වැනි සියවසේ අවසාන භාගයේ දී හෝ දහතුන්වැනි සියවසේ මුල්භාගයේ දී රචනා වී ඇති බවයි. මෙහි කර්තෘ වන්නේ තත්කාලීනව වැඩවිසූ මහා සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය ධමම්කිත්ති හිමියන්ය. උන්වහන්සේ පාලි සංස්කෘත විෂයයන් පිළිබඳ මනා පරිචයකින් සිටියෙකු බව කරුණු රැුසක් ඇසුරින් හඳුනා ගත හැකිය. ඒ ඒ විෂයයන්ට අදාළ ව්‍යාකරණය හා කාව්‍ය සාහිත්‍ය පිළිබඳවත් තර්ක ශාස්ත‍්‍රය පිළිබඳවත් දර්ශනවාද පිළිබඳවත් හසළ දැනුමෙන් යුක්ත උන්වහන්සේගේ එම හැකියාව මනාව පෙන්නුම් කෙරෙන අවස්ථාවක් නම් දාඨාවංසයයි. එහි විවිධ විරිත්වලින් සුබැඳුණු කාව්‍ය දක්නට ලැබේ. ඒ අතර ජගතී, ස‍්‍රග්ධරා, මන්දාක‍්‍රාන්තා, ඉන්ද්‍රවජ‍්‍රා, උපේන්ද්‍රවජ‍්‍රා ආදී නා නා ඡුන්දස් නිදසුන් ලෙස දැක්විය හැකිය. 

දාඨාවංසයෙන් ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්තධාතුව පිළිබඳව බව ඉහතින් පෙන්වා දෙන ලදි. එහි අනෙක් නාමය වන්නේ දන්තධාතුවංසයයි. කෙසේ නමුත් මෙරට සිටි පාලි සාහිත්‍ය පිළිබඳ උගතෙකු වූ ගුණපාල මලලසේකර දාඨාවංසයට පසුව ලියැවුණු කෘතියක් ලෙස දන්තධාතුවංසය පෙන්වා දෙයි. එහි අන්තර්ගතය ද දාඨාවංසයට වඩා වෙනස් බව එහි දී ඔහු පවසා තිබේ. දාඨාවංසයේ රචනා ක‍්‍රමය බොහෝ විට ථූපවංසයට සමානය. ථූපවංසයේ කථාව අවසාන වන්නේ දුට්ඨගාමිණී රජුගේ කථාවෙන් අවසන් වේ. දාඨාවංසයෙහි ද කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජු වර්ණනා කර කෘතිය අවසන් කරයි. කලිඟු දේ්ශයේ රජ කෙනෙකු වූ ගුහසීවගේ බෑණනු කෙනෙකු වූ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය බුදුන් වහන්සේගේ වම් දළදාව රැුගෙන මෙහි පැමිණියහ. කිත්සිරිමෙවන් රජු එය මහත් හරසරින් පිළිගෙන පූජෝපහාර පැවැත්වූ අතර එතැන් පටන් මෑතකාලීනව වන තුරුත් දළදා වහන්සේ සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස වන්දනාවට බඳුන් වේ.

දාඨාවංසයේ අන්තර්ගත ගාථා ප‍්‍රමාණය 415කි. ප‍්‍රථම රාජගුරු ධර්මකීර්ති හිමි යනුවෙන් හඳුන්වන්නේ ද ඉහතින් සඳහන් කළ ධම්මකිත්ති හිමියන්මය. නමස්කාර ගාථාවේ පටන් වංසකථාව අවසන් වන අවස්ථාව දක්වාම ඉතා මනහර පද්‍ය බන්ධනවලින් සමන්විත කර දළදාවේ පුවත ඉදිරිපත් කරයි. 

යම් ග‍්‍රන්ථයක් රචනා කිරීමේ දී අනුගමනය කළ යුතු අවස්ථා කිහිපයක් වේ. ඒවා සංඥාදි පඤ්චකය යනුවෙන් හැඳින්වේ. (සංඥා නිමිත්තං කත්තාරං පරිමාණං පයෝජනං* මේ අනුව දාඨාවංසය පිළිබඳ අධ්‍යයනයේ දී,
  • සංඥාව (ග‍්‍රන්ථයේ නම)
  • නිමිත්ත (අරමුණ)
  • කර්තෘ (රචකයා)
  • පරිමාණය (ප‍්‍රමාණය)
  • ප‍්‍රයෝජන ආදී දෑ පිළිබඳ හඳුනාගෙන සිටීම වැදගත් වේ.

        මුලින්ම දක්වා ඇත්තේ සංඥාවයි. සංඥාව යනු කෘතියෙහි නාමය බව මුලින් පෙන්වා දී ඇත. මෙම කෘතිය මගින් දළදා වහන්සේගේ වංසය පිළිබඳ දිගහැරෙන බැවින් දාඨාවංසය යන නාමය ලැබී තිබේ. එය මෙහි සංඥාව වේ. දෙවැනිව දැක්විය යුත්තේ නිමිත්තයි. නිමිත්ත යනු අරමුණයි. මෙහි නිමිත්ත නම් ලෝකවාසී බෞද්ධයන්ගේ හිත සුව පිණිස බුදුන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ පිළිබඳ විස්තර කිරීමයි. එහි ඉතිහාසය ඉදිරිපත් කිරීමයි. තෙවැන්න නම් කර්තෘය. මෙහි කර්තෘ වන්නේ රාජගුරු ධර්මකීර්ති හෙවත් ධම්මකිත්ති හිමියන්ය. ඔහු විසින් රූපාවතාරය නමින් සංස්කෘත ව්‍යාකරණ ග‍්‍රන්ථයක් ද රචනා කර ඇත. දාඨාවංසයෙහි ප‍්‍රමාණය පිළිබඳ විමසීමද අතිශයින් වැදගත් වේ. ඒ අනුව මෙය ගාථා 415කින් සෑදුනකි. ඉහතින් සඳහන් කළ ආකාරයට මෙය මාලිනි, ශාර්දූලවික‍්‍රීඩත, වංසට්ඨ ආදී වෘත්තවලින් බඳිනු ලැබූවක් ද වේ. මෙයින් ලැබෙන ප‍්‍රයෝජන පිළිබඳ සඳහන් කිරීමේ දී,
x බුද්ධසාසනයේ ඉතිහාසය පිළිබඳ හඳුනාගත හැකිවීම
x බෝධිසත්ත්ව චරිතය පිළිබඳ
x බුද්ධත්වය ලැබීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතය
x සර්වඥධාතු බෙදීම පිළිබඳ විස්තර
x දළදා වහන්සේගේ ප‍්‍රාතිහාර්ය පෑම්
x ලංකාවට දළදා වහන්සේ වැඩම කරවීමේ පුවත
x මෙහි විසූ රජවරුන් දළදා වහන්සේට කළ පූජාවන් පිළිබඳ විස්තර
x දළදාවේ ආරක්ෂාව පිණිස ගත් ක‍්‍රියා මාර්ග
ආදී දෑ ප‍්‍රමුඛ වේ. ඊට අමතරව භාෂාව හා පාලි සාහිත්‍යය හදාරන්නන්ට ද මෙම කෘතිය මහත් රුකුලක්වනු නො අනුමානය. මෙය හැදෑරීම මගින් පාලි ඡුන්දස් පිළිබඳව මනා පරිචයක් ලද හැකි අතර මනහර පද්‍ය බන්ධනයට අත්පොත්ක් වශයෙන් ද ආධුනිකයන්ට භාවිත කළ හැකිය. එසේම පාලි ව්‍යාකරණ විෂයයෙහි ද අතිශයින් වැදගත් කෘතියක් ලෙස මෙය හඳුන්වාදීම සාවද්‍ය කරුණක් නො වේ. 

පරිවෙණාධිපති,
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල.
දිවියෙහි වටිනාම අවස්‌ථාව

පදියතලාවේ ඤාණවිමල හිමි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

යෝ  චේ වස්‌සසතං ජීවේ
දුප්පඤ්ඤො අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පඤ්ඤාවන්තස්‌ස ඣායිනෝ

වර්ෂ සියයක්‌ පුරා අඥානව ජීවත් වුවත් ඵළියක්‌ නැත. ප්‍රඥවන්තව ගෙවන එක්‌ දිනක්‌ වුවද ඊට වඩා යහපත්ය.

ජීවිතයක්‌ ගත කළ යුත්තේ කෙසේද යන්න ඉතා පැහැදිලිව පෙන්වා දෙන අවස්‌ථාවකි. ඉහතින් ඇත්තේ. මනුෂ්‍ය ආත්ම භාවයක්‌ ලබා ගැනීම අප සිතන තරම් ලෙහෙසි පහසු කරුණක්‌ නොවේ. එය බොහෝ විට සිදුවන්නේ අප පෙරාත්මවලදී ලබා ඇති කුසල්, අකුසල්, පින් පව් ආදී දෑහි බලපෑමක්‌ සමඟය. කෙසේ හෝ අප දැන් එසේ වාසනාවන්ත වූ ආත්මභාවයක්‌ ලබා ඇති බව නොරහසකි. එසේ නම් දැන් කළ යුත්තේ කුමක්‌ද?

ලොවෙහි වෙසෙන බොහෝ දෙනෙක්‌ ජීවත්වන්නේ මනුෂ්‍යයකුව උපන් නිසාම බැව් බොහෝ අවස්‌ථාවලදී ඔවුනොවුන් කරන කියන දෑ අනුව සිතා ගත හැකිය . එසේ ජීවිතය නිස්‌කාරණයේ ගෙවා දැමීම සැබැවින්ම තමාටත් අනෙකාටත් යහපත පිණිස නොව අයහපතම පිණිස හේතුවන බැව් අප අත්විඳින බොහෝ ජීවන අවස්‌ථාවන් මගින්ම අවබෝධ කරගත හැකිය.

අප ජීවත්විය යුත්තේ කුමන කරුණක්‌ සාක්‌ෂාත් කර ගැනීම පිණිසද යන පැනය අප අපගෙන්ම අසා අවබෝධ කරගත යුත්තේ නොවේද? මිනිසත් බව ලැබූ නිසාම ජීවත්වනවාද නොඑසේනම් මේ ලබාගත් ජීවිතය මතුවට වැඩදායී ලෙස පැවැතීමට කටයුතු ඒකරාශී කරගන්නවාද? අප සිතා බැලිය යුතු නොවේද මේ ගැන පෙරට වඩා? ජීවිතයෙහි ඇති අස්‌ථිරතාව, එසේම එහි ඇති වටිනාකම දැන හඳුනාගත් ප්‍රඥාවන්ත මනුෂ්‍යරත්නයෝ දිනපතාම වෙහෙසෙන්නේ තම දිවිය එකලු කර ගැනීම පිණිසය. දිවි එකලු කර ගැනීමට නම් අප ප්‍රඥාවන්ත විය යුතුය. ප්‍රඥාවන්ත භාවයට පත්වී එක්‌ දිනකුදු ජීවත්වීම වර්ෂ සියයක්‌ ජීවත්වීමට වඩා වටින්නේ ඒ නිසාය.

ප්‍රඥාවන්ත භාවය ඇති කරගන්නේ කෙසේද? අප ප්‍රඥාවන්තයින් දැයි හඳුනාගන්නේ කෙසේද? අප අසල ඇති වැදගත්ම පැනය එයම නොවේද? මේ කරුණ අප නිවැරදිව හඳුනාගත යුතුය. මේ ලෝකය පිළිබඳව මනා දැනීමක්‌ ඇති කරගෙන, එසේම තම ජීවිතයෙහි ස්‌වභාවය පිළිබඳව මනා දැනීමක්‌, වැටහීමක්‌ ඇතිකරගෙන ත්‍රිලක්‍ෂණය, පුනර්භවය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදි බෞද්ධ දර්ශනයෙහි පැනෙන කේන්ද්‍රීය ලක්‍ෂණ පිළිබඳ මනා දැනීමක්‌ ඇතිකරගෙන ජීවත් වන්නේ නම් එයම ප්‍රඥාවන්ත ජීවිතයක ලක්‍ෂණයක්‌ නොවේද? එපමණක්‌ නොවේ. මෙම බෞද්ධ දර්ශනයේ න්‍යායයන් මනාව දැන ජීවිතය ලෝකෝත්තර විමුක්‌තිය කෙරෙහි මෙහෙයවීමෙන් සිදු කළ යුතු ප්‍රධාන කාර්යයකි. මෙවැනි වූ මාවතක ගමන් කරන්නා සැබැවින්ම ජයග්‍රහයකයෙකි. අපත් නැණවත් වෙමු. ඥානයෙන් පිරිපුන්, ජීවිතාවබෝධය ලැබූ තැනැත්තෙකු වීමට අදිටන් කර ගනිමු.


බුදුමග 2017 04 10 බක් පුර පසළොස්වක පොහෝ දින කලාපය

Wednesday, December 28, 2016

අනුවණයා පණ්ඩිතයන් නොදකී
යාවජීවම්පි චෙ බාලෝ
පණ්ඩිතං පය්රුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා 
-ධම්මපදය, බාල වග්ගය-

(අනුවණයා දිවි ඇතිතෙක් පණ්ඩිතයන් ඇසුරු කළේ නමුදු දහමක් මනාව අවබෝධ කර නොගනී)

පණ්ඩිත ප‍්‍රිය වූ බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටින සමයේ සිදු වූ කරුණක් මුල් කරගෙන දෙසූවකි ඉහතින් දැක්වෙන්නේ. අනුවණයාගේ පරිහානියත් නුවණැත්තාගේ දියුණුවත් හඳුන්වාදෙමින් දේශිත ගාථා යුගළෙහි මෙයින් පැහැදිලි කෙරෙන්නේ අනුවණයා පිළිබඳවයි. මෙම දේශනාව සිදු කළේ උදායී නම් තෙරුන් වහන්සේ මූලික කරගෙනය. ඒ කථාව හඳුනාගැනීම මෙහිදී අතිශයින් වැදගත් වේ.
බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන සමයේ මුලින් කී උදායි තෙරුන් ද වැඩ සිටියේ එහිමය. ඔහු ශරීරයෙන් පෘෂ්ටිමත් වූයේ නමුදු නුවණින් මඳ විය. තමා කිසි දහම් කරුණක් පිළිබඳ නොදන්නේ වී නමුදු අනෙකාට ප‍්‍රදර්ශනය කළේ තමන් සියල්ලෙන් පරතෙරට ගිය තැනැත්තෙකු ලෙසය. මහතෙරුන් වහන්සේලා දම්සභා මණ්ඩපයේ දහම් සාකච්චා පවත්වන අවස්ථාවන්හි උදායි තෙරුන් ද එහි පැමිණ ධර්මාසනයේ වැඩ හිඳී. උන්වහන්සේ පිළිබඳ නොදත්, ඇසුරු නොකළ උගත්, ගුණෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට අවනත භාවයෙන් වැඩ හිඳිති. වෙනත් පෙදෙසකින් වැඩි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදායි හිමියන් ධර්මධර-විනයධර හිමිනමක් වේ යැයි සිතා උන්වහන්සේගෙන් විනයෙහි සැක ඇති තැන් කිහිපයක් ඇසූහ. එනමුදු උදායි හිමියන් නිහ`ඩවම සිටියේය. ‘විනය පිළිබඳ කිසිදු දැනුමක් නැති මේ හිමියන්ගෙන් දහම්පැන විමසනු කිමදැ’යි විවේචනය කර බුදුන් වහන්සේ අසල හිඳගෙනත් මෙපමණක්වත් නොදැනීම පුදුමයට කරුණක් බව පවසා උන්වහන්සේ බුදුන් සමීපයට වැඩියහ. 
බුදුන් වහන්සේට මෙම කරුණ සැළ කර සිටි කල්හි උන්වහන්සේ මෙම සිදු වීම පෙරටුවේ තබාගෙන ඉහතින් වූ දේශනා පාඨය වදාරා දම්දෙසූ සේක. අනුවණයා නිරන්තරයෙන් පණ්ඩිතයන් ඇසුරු කළේ වී නමුදු ඔවුන්ගේ මාහැඟි ගුණධර්ම තමන් කෙරෙහි ඈඳා ගැනීමට වෙහෙස නොගන්නා බව පෙන්වා දෙමින් එම සිදුවීම උපමාවක් ඇසුරින් ද විස්තර කළ සේක. ඒ කෙසේද යත් ‘මාලූපිනිවල ලූණු රස හෝ ඇඹුල් රස හෝ හැන්ද නොදන්නාක්
මෙනි.

මෙහි අන්තර්ගත කරුණ අප සඳහාත් සමීප කරගත හැකි මනාය. විටෙක බුදුන් වහන්සේ අනුවණයන් අඥානයන් ඇසුරු නොකළ යුතු බව පෙන්වා වදාළ සේක. ඒ කෙසේ වූයේ නමුදු නුවණනැත්තන් ඇසුරු කිරීම විනාශයට, පරිහානියට හේතුවක්මය. එදිනෙදා ජීවිතයේ දී මෙවන් පිරිස්  ඕනැතරම් අපට හමුවේ. පණ්ඩිත, සත්පුරුෂයන් කෙතෙක් සිටිය ද ඔවුන් ඇසුරු කළ ද එම සත්පුරුෂයන් සතු ගුණධර්ම තමාගේ ජීවිතයේ අහළකටවත් වැද්ද ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. ඔවුන්ගෙන් මේ සමාජයට යහපතක් නම් සිදුවන්නේ නැත. සමාජයේ ¥ෂණය, භීෂණය ඇතිකරන්නේ මොවුන්ය. මංකොල්ලකෑම්, මංපැහැරීම් ආදිය ද ඇති කරන්නේ මොවුන්ය. සමාජයේ ජීවත් වන විට මොවුන්ගෙන් ප‍්‍රවේශම්ව ජීවත් වීම අපගේ මෙලෝ දිවියෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. 


පින් කරන්න සැප ලබන්න

තඤ්ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති
‘‘යම් ක‍්‍රියාවක ප‍්‍රතිවිපාකය සැනසුම ගෙන දේ නම් එවැනි දෑ කිරීමට වෙහෙස ගත යුතුයි.’’
-ධම්මපදය, බාල වග්ගය-

පුද්ගලයා කරන කියන දෑ පිළිබඳ මනා අදහසක් ඉදිරිපත් කරමින් දේශනා කළ ගාථා පාඨයකුයි ඉහතින් දැක්වෙන්නේ. මෙම දේශනාව බුදුහිමියන් දේශනා කළේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සමයේ එක් දිනකය. මෙම දේශනාව සිදු කිරීමට හේතු වූ අවස්ථාව ගෙනහැර බැලීම වැදගත් වේ.
රජගහනුවර සුමන නමින් මල්කරුවෙක් වාසය කළේය. ඔහු දිනපතාම රජ මාළිගයට මල් ගෙය යයි. මාළිගයම මල්වලින් සුවඳවත් කරයි. මෙය ඔහුගේ රාජකාරියකි. රාජ නියෝගයට අනුව දිනපතාම, නොකඩවා නිසි වේලාවට මල් රජමාලිගයට සැපයිය යුතුවේ. සුමන මෙකී රාජකාරිය දිනපතා නොපිරිහෙළා ඉටු කරයි. මෙසේ එක් දිනක් මල් උයනින් මල් නෙළා ඒවා මාලිගයට ගෙන යන අතරතුර මාර්ගයේ අනෙක් පසින් බුදු හිමියන් බික්සඟන සමග වඩිනු දැක්කේය. තමාට පිදීමට ඇත්තේ මල් පමණි. ඒවා ද රජුන් පිණිස රැුගෙන යන දෑය. ඔහු දෙලොවක අතරමං විය. බුදුන්ට මල් පුදනවාද මල් රජුට රැුගෙන යනවාද යනු ඒ දෙලොවයි. අවසානයේ දී ඔහු බුදුහිමියන් කෙරෙහි මල් පූජා කළ යුතු මැනවී,යි සිත අදිටන් කරගෙන සුවඳ මලින් බුදුන් පිදුවේය. බිම්සර රජු ද ඒ අවස්ථාවේ මාර්ගයේ අසු පිට යමින් සිටියේය. ඔහු අසු පිටෙන් බැස බුදුන් වහන්සේට නමස්කාර කළේය. පසුව බිම්සර රජු සුමන මාලාකරුට රජමාලිගයට පැමිණෙන ලෙස දන්වා, ඔහු පැමිණි පසු කුමන කරුණක් නිසා අද මල් රජමාලිගාවට නොගෙනාවේදැයි ප‍්‍රශ්න කළේය. ඔහු එහිදී බුදුන් වහන්සේට කළ පූජාව මෙලෝ වශයෙන් පමණක් නොව පරලෝ වශයෙන් ද විපාක ලැබෙන නිසා එසේ පූජා කළ බව සඳහන් කර සිටියේය. රජු ද ඔහුගේ කථාව අසාගෙන සිට සන්තෝෂයට පත්ව බොහෝ මිල මුදල් දුන්නේය. 
මෙම සිදුවීම ආනන්ද හිමි දැනගත්තේය. බුදුන් හමුවට ගිය උන්වහන්සේ ‘ස්වාමීනි, ඔබ වහන්සේට මල් පූජා කළ පිනෙහි විපාක ලෙස ඔහුට අද මෙලෝ ජීවිතය සඳහා මිල මුදල්, ඉඩම්කඩම් ලැබුණේය’ යනුවෙන් සඳහන් කර සිටියේය. එවිට බුදුහිමියන් ‘ආනන්දය, සුමන කළ පින එසේ මෙසේ එකක් නොවේ. ඔහු මේ කළ පිනෙන් අනාගතයේ සුමන නම් පච්චේක බුද්්ධ වන්නේය’ යනුවෙන් දේශනා කළ සේක. එසේ දේශනා කර යම් කටයුත්තක් කරන්නේ නම් ඒ කරන දේහි විපාක සැප විපාක ගෙන දෙන්නක් වන්නේ නම් පමණක් කළ යුතු බව පෙන්වා දුන්හ. 
සුමන මාලාකරුගේ ජීවන චරිතය අපගේ දිවියටද අතිශයින්ම ආදර්ශ සම්පන්නය. ගතකරන ස්වල්ප වේලාව පවා සැපයට හේතුවන දෑ කළ යුතු බවයි මින් ගම්‍ය වන්නේ. අනාගතයේ පසුතැවිලි වීමට සිදු නොවන දෑ කිරීමට කළ යුතු බව නැවත නැවත පෙන්වා දී ඇත. එසේ නම් මෙම අවස්ථාව අපගේ ජීවිතයට ගැනීම වැදගත් වේ. තමන්ගේ දිවි යතත් අනිසි ක‍්‍රියා, අකුසල ක‍්‍රියා සිදු නොකළ යුතුය. හැකි සැමවිටම සැප පිණිස හේතුවන හොඳ ක‍්‍රියා, කුසල ක‍්‍රියා කිරීමට වෙහෙස විය යුතුය. එය ඔබගේ සැපය පිණිස හේතු වන්නේමය.