යහපත් ගති ඇත්තා
යස්ස චේතං සමුච්ඡින්නං
මූලඝච්චං සමූහතං
ස වන්තදෝසෝ මේධාවී
සාධුරූපෝති වුච්චති
‘‘නසන ලද දෝෂ ඇති, නුවණැති වූ තැනැත්තාම යහපත් ගති ලක්ෂණ ඇත්තෙකි.’’ (ධම්මපදය - ධම්මට්ඨ වර්ගය)
මනුෂ්‍ය දිවියේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේද යන ප‍්‍රස්තූතය සඳහා අතිශයින් වටිනා ඔවදනක් මෙම පාඨයෙන් ලැබේ. සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුන් වහන්සේ එක්තරා සිදුවීමක් මුල් කොටගෙන මෙම ගාථා පාඨය දේශනා කළ සේක. මෙම දේශනාව සිදු වන්නේ සැවැත්නුවර විහාරස්ථාන කිහිපයක විසූ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම-විනය ගැටලූවක් විසඳීම පිණිසය. එහිදී ධර්මය හදාරවන ඇදුරුවරු ධර්මධර යනුවෙන් ප‍්‍රචලිතව සිටි අතර විනය හදාරවන්නන් විනයධර යනුවෙන් ප‍්‍රසිද්ධ විය. ඔවුනට අතවැසි වූවෝද බොහෝ විසූහ. එම අතවැසියන් අතර තරුණ, කුඩා ආදී වයස්වල භික්ෂූන්ද සිටියහ. උන්වහන්සේලා ධර්මය පිළිබඳවත් විනය පිළිබඳවත් ඇදුරන්ට වඩා හොඳින් ඉගෙනගත්තෝ වූහ. ඔවුන් අතරින් ද එක් අදහසක් පැන නැග්ගේය. එනම් ධර්මධර-විනයධර හිමිවරුන් මෙන්ම තමන්ද ධර්මය විනය මනාව පෙළ අරුත් විසිතුරු අයුරින් විග‍්‍රහ කර අර්ථ දැක්වීමේ හැකියාවෙන් යුක්ත අය ලෙසයි. මෙකී පිරිස ඒකරාශී වී තමන්ද අනෙක් දෙගොල්ල පරිදි සමාජයේ ප‍්‍රසිද්ධ වීම පිණිස, සමාජයෙන් ගරු බුහුමන් ලැබීම පිණිස මෙසේ පාර්ශ්වයක් සාදා ගැනීම අරමුණ විය. මේ අදහස බුදුන් අභිසයට ගොස් පැවසූ පසු බුදුහිමියන් එය නිමිති කරගෙන මෙම දේශනාව සිදු කළ සේක.
එහි දී උන්වහන්සේ, ‘මහණෙනි, අනෙකෙකුගේ මිහිරි වදන් ඇති පමණින් හෝ සිරුරේ පැහැය ඇති පමණින් හෝ ඔහු කෙරෙහි හටගත් නොසතුට නිසා යම් තැනැත්තෙක් සුන්දර පුද්ගලයෙකු නොවේ. යමෙක් අනුන්ගේ රුව ගුණ දැක ඒවාට ඊර්ෂ්‍යා නොකරන්නේද, සන්තුෂ්ඨියට පත්වන්නේද එයින්ම සුන්දර පුද්ගලයෙක් වේ’ යනුවෙන් වඳාළ සේක.
ඉහතින් සඳහන් කළ ගාථා පාඨයෙන් දැක්වෙන්නේ සුන්දර පුද්ගලයෙකු වන අන්දමයි. එයට සම්බන්ධ කර තවත් ගාථා පාඨයක් ද දේශනා කර ඇත. ඉන් කියැවෙන්නේ අයහපත් ගති ඇති පුද්ගලයා පිළිබඳවය.
න වාක්කරණමත්තේන - වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපෝ නරෝ හෝති - ඉස්සුකී මච්ඡුරී සඨෝ
යනුවෙන් ඒ බව කියැවේ. මේ අනුව විසිතුරු වචන ඇති පමණින් හෝ, මිහිරි කටහ`ඩ ඇති පමණින් හෝ, වචන ගළපා නිසි පරිදි කියාපාන පමණින් හෝ සුන්දර පුද්ගලයෙකු නොවන බවත් සිරුරේ පැහැය නිසා එසේ යහපත් පුද්ගලයෙකු නොවන බවත් එසේම අන් සැපත නො ඉවසන, ඊර්ෂ්‍යා සහගත, අනුන්ගේ දොස් නිතරම කියන, අශීලාචාර, පරිත්‍යාගශීලි නොවන, වංචනික තැනැත්තා යහපත් නොවන බවත් පෙන්වා දුන් සේක. මෙහි සමහර පිරිස් ශරීරයෙන් මනහරය, වචනයෙන් මනහරය එනමුදු ඊර්ෂ්‍යා සහගතය. වඤ්චනිකය. ක‍්‍රියාවෙන් දුස්සීලය. සමහරු ශරීරයෙන් පැහැපත් නොවූවත් කරන ක‍්‍රියා සුපසන්ය. ප‍්‍රසාදනීයය. අනුන්ට වැඩ සාදන සුලූය. මෙවැනි වූ පිරිස් කාණ්ඩ 4ක ලා දැක්විය හැකිය. කෙසේ නමුදු මේ අය අතුරින් ශරීර සම්පත්තිය ඇති හෝ නැති යහපතෙහි ඇළුණු තැනැත්තා යහපත් තැනැත්තෙකු ලෙස බුදුන් වහන්සේ ප‍්‍රශංසා කර ඇත.
මේ උපදේශය අපටත් අතිශයින්ම වැදගත්වේ. ශරීර සම්පත්තිය හෝ වෙනත් බාහිර ලක්ෂණ ගැන නොව අභ්‍යන්තර ගුණ වගාව දියුණු කළ යුතු බවයි මින් පෙන්වා දෙන්නේ. අපත් බාහිර ලක්ෂණ නොව අභ්‍යන්තර ගුණ වර්ධනය කරගැනීමට පෙළඹෙමු. එය අපගේ ඉදිරි දියුණුව පිණිස හේතුවනවා නො අනුමානයි.
පදියතලාවේ ඤාණවිමල හිමි - මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ
No comments:
Post a Comment