Sunday, May 19, 2019

ජීවිතයට සතුට ගෙනෙන අණන සැපය

අපි උපන්දා සිට මියෙන තුරාවට සතුටින්, සුවෙන් ජීවත්වීමට කැමැත්තෙමු. ඒ සඳහා විවිධ කාර්යයන්හිද අපි නියුක්ත වෙමු. ළමා කාලයේ නිසි අධ්‍යාපනයක් ලැබීමත් තරුණ කාලයේ දී හොඳ රැකියාවක් සහ සුදුසු විවාහයක් සිදු කරගැනීමත් ජීවිතයේ එළඹෙන සැම අවස්ථාවකදීම සතුට සොම්නස හා ප‍්‍රාර්ථනා කරන දෑ එලෙසම සිදුවන්නේ නම් අපි සැම දෙන ඊට ප‍්‍රිය කරමු. ඒ සැම දේටම අප තුළ නිවැරදි දැක්මක් සහ උනන්දුව, වුවමනාව, උත්සාහය ද තිබිය යුතුය. එවැනි වූ සංකල්ප අප හදවත් තුළ නොමැත්තේ නම් කෙතරම් සිතුවත් ප‍්‍රතිඵල ළඟා කරගත නොහැකිය. අපි සමාජයේ ජීවත් වන අනෙකුත් පිරිස් සමග, ඥාතීන්, අසල්වාසීන් හා අප ඇසුරු කරන මිතුරු මිතුරියන් ආදි සැම දෙනා සමග දිවි ගෙවන විට ඔවුන්ගේ සිත් නොරිදවෙන අයුරින් ජීවත් වීමට බොහෝ සෙයින් උත්සාහ ගනිමු. ඒ සඳහා අතිශයින් වැදගත් වන සංකල්පයක් ලෙස වැදගත් වන්නකි අණන සැපය.
අණන සැපය යනු සිව් වැදෑරුම් සැප අතර තෙවැනි සැපයයි. එක්තරා දිනෙක බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අනේපි`ඩු සිටුතුමා බුදුරදුන්ට වැඳ ගරුබුහුමන් දක්වා සතුටු සාමිචියේ යෙදීමෙන් පසුව තම සිත්හි ඇති වූ වැදගත් හැඟීමක් පිළිබඳ උන්වහන්සේගෙන් විමසා සිටියේය. එනම් ගිහි ජීවිත ගත කරන මිනිසුන්ට ප‍්‍රීතිමත් ජීවිත ගත කිරීම සඳහා ඉවහල් වන කරුණු මොනවාද යන්නයි. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත‍්‍ර දේශනාව ‘අණන සූත‍්‍රය’ නමින් හැඳින්වේ. මෙකී සූත‍්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වර්ගයේ අන්තර්ගත වෙයි. එහිදී ගිහි ජීවිත ගත කරන, එසේත් නැත්නම් ලෞකික ජීවිත ගත කරන අය සඳහා අතිශයින්ම වැදගත් වන කරුණු සතරෙකි. ඒ කරුණු සතර පිළිවෙළින්,

අත්ථි සුඛ (ඇත යන හැඟීමෙන් ඇති වන සැපය)
භෝග සුඛ (පරිභෝග කිරීමට හැකි නිසා ඇති වන සැපය)
අණන සුඛ (ණය නැති නිසා ඇති වන සැපය)
අනවජ්ජ සුඛ (නිවැරදි දිවි ගෙවීම නිසා ඇති වන සැපය)

ලෙස දැක්විය හැකිය. මෙහි තෙවැනි සැපය පිළිබඳයි. අප විමසීමට ලක් කරන්නේ. ‘ණය’ යන වදන ඔබට මට අලූත් වචනයක් නොවේ. කුඩා ළමයෙකු හැරුණු විට මේ පිළිබඳ නොදන්නා කිසිවෙකු නොමැති තරම් ය. ඒ තරම් ජනප‍්‍රිය වචනයක් වුවත් ‘ණය බරින් යුතු වීම’ කෙනෙකුගේ සිත සතුටු කරන හැඟීමක් නොව පීඩාවට පත් කරන හැඟීමකි. අංගුත්තර නිකායේ අට්ඨකථාව වන මනෝරථපූරණියේ අණන සැපය විග‍්‍රහ කර ඇත්තේ ‘අණනොස්මීති උප්පජ්ජනක සුඛං අණන සුඛං නාම’ ආදි ලෙස ය. ඒ අනුව අණන සුවය යනුවෙන් හැඳිනගැනෙන්නේ ‘මම කිසි කෙනෙකුට ණයකාරයෙක් නොවෙමි’ යනුවෙන් ඇති වන හැඟීමයි. සැබැවින්ම ඔබ සැපවත් ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබ ‘ණයබරෙන්’ නිදහස්ව සිටීම වැදගත් ය. එය සැමට කළ හැක්කක් නොවන බව ඔබට අද්දැකීම් වශයෙන් අවබෝධ වී ඇත.
‘ණය’ යනුවෙන් හඳුන්වන වදනේ මූලාරම්භය කවදා සිදුවිණිදැයි නිශ්චිතව කිව හැක්කක් නොවේ. බුද්ධකාලීන සමාජයේ පමණක් නොව ඊට බොහෝ ඈත සිට මෙකී වදන මනුෂ්‍ය ශබ්දකෝෂයේ තිබී ඇති බව පැහැදිලිව පෙනේ. බෝසත් කථා රැගෙන එන ජාතක කථා ප‍්‍රවෘත්තීන්හිද ණය වීම සම්බන්ධ ජාතක කථා සොයාගැනීම දුෂ්කර වන්නක් නොවේ. කෙසේ නමුත් ණය වීම යනුවෙන් අප සරලව හඳුනාගන්නේ කෙනෙකුගෙන් මුදලක් ණයට ගැනීමයි. එසේම මුදලට සාපේක්ෂ බඩුභාණ්ඩ ද ණයට ගත හැකිය. වර්තමානය වන විට මූල්‍ය ණය ආධාර, නිවාස ණය ආධාර ආදි ලෙස රජය මගින් වුව ජානපදිකයන් උදෙසා විවිධ ණය ක‍්‍රම හඳුන්වා දී තිබේ. කෙසේ නමුත් ඔබ රජයෙන් හෝ වේවා මිතුරෙකුගෙන් හෝ වේවා කිසිවෙකුගෙන් හෝ ණය ලබාගෙන ණයකාරයෙකු වී ඇත්නම් ඔබගේ සිතේ රැව්පිළිරැව් දෙන චිත්ත පීඩා ඇති කරන හැඟීමක් බවට එය පත්ව ඇති බව ඔබටම පැහැදිලිව වටහා ගැනීමට පහසු වනු ඇත.

අප ණය ලබාගන්නේ විවිධ හේතු කාරණා නිසා ය. එය නිවෙසක් ගොඩනැගීමට විය හැකිය. එසේත් නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විය හැකිය. එසේත් නැත්නම් කෘෂිකර්මාන්තයේ යෙදීමට විය හැකිය. ඊට අමතරව විවිධ හේතු පෞද්ගලික වශයෙන් ඔබට තිබිය හැකිය. සමහර ණය ගැනීම්වලදී මාසික වශයෙන් ඔබ ණය පොළියක් ද ලබා දිය යුතුය. පොලී දිනය ළඟා වෙත්ම ඔබ දසඅතේ කල්පනා කරන්නේ ණය මුදල නොව පොළී මුදල ගෙවා දමන්නේ කෙසේද යන්නයි. ණයෙන් යුතු වීම නිසා ණය ගෙවා දැමිය නොහැකිව කීදෙනෙක් තම දිවියෙන් වන්දි ගෙවා ඇද්ද? සියදිවි නසා ගැනීම පිණිස ණයකාරයෙකු වීම ද හේතුවන්නට හැකි බව එළඹ ඇති දශකය තුළ සිදුවී ඇති සියදිවි නසා ගැනීම් දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නකි. එසේ නම් ණය ලබා ගැනීම ඒ මොහොතට තෘප්තියක් ගෙන දුන්න ද ගෙවා දැමීමට කාලය එළඹෙන විට කනස්සල්ලට හේතුවන මානසික සිතිවිල්ලක්ම වේ.

ණය ලබාගන්නා සේම අප ගත් ණය ගෙවා දැමීමට ද ඒ අයුරින්ම වෙහෙස ගත යුතුය. ණයක් ගෙන නොගෙවා පැහැර හරින්නෝ ඕනෑ තරම් මේ සමාජයේ ජීවත් වෙති. වසල සූත‍්‍රයේදී එවැන්නන් වසලයන් ලෙසින් බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත. එය සමාජ පැවැත්මට අහිතකර දෙයකි. මිනිසුන් තුළ පවතින විශ්වාසය පළුඳු කරන අවස්ථාවක් ලෙස ණය ගෙන පැහැර හැරීම දැක්විය හැකිය. ගිහි පිරිස් පමණක් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද ගත් ණය ගෙවා ගත නොහැකිව සිටි අවස්ථාවක වෝහාරිකතිස්ස රජතුමා මුල්වී එකී ණය මුදල ගෙවා දැමූ බව මහාවංසයේ 36වැනි පරිච්ඡ්දයේ සඳහන් වෙයි.

තීණි සතසහස්සානි දත්වාන මනුජාධිපො
ඉණතො සයිණෙ භික්ඛු මොචෙසි සාසනප්පියො (මහාවංසය, 36 පරි. 39 ගාථාව)

මේ අනුව මෙකී භික්ෂූන් වහන්සේලා තුන් ලක්ෂයක් පමණ මුදලක් ණය වී ඇති බව පැහැදිලිව හැඳිනගත හැකි නමුත් කුමන කරුණකට මෙසේ ණය වූයේ දැයි පැහැදිලිව සඳහන් නැත. කෙසේ නමුත් ණය වීම මගින් සිතට කිසිම ආකාරයේ සතුටක් භුක්ති විඳිය නොහැකිය. තමා ණයකරුවෙකු බව නැවත නැවත සිහිවීමෙන් කෙතෙක් තෘප්තිමත්ව සිටියද ක්ෂණයකින් එම සතුට දුකක් වේදනාවක් බවට පත්විය හැකිය. ඒ අනුව ඔබ කිසිවෙකුටවත් ණය නොමැතිව සිටින්නේ නම් ඔබ කෙතරම් දුප්පතෙකු වුවද ඔබ විඳින සැපය ණයගත් පොහොසත් වීමට අපේක්ෂා කරන පුද්ගලයාට ලබා ගැනීමට නොහැකිය.

ඔබ ගෙවන ජීවිතය තෘප්තිමත් නම් ඔබගෙන් අනෙකාට කිසිඳු අනතුරක් සිදු නොවේ. මෙහි අනතුරක් වශයෙන් දැක්වූයේ වෙන කිසිවක් නොව ණයගත් පුද්ගලයාගේ මනසත් ණයබරෙන් නිදහස් වූ තැනැත්තාගේ මනසත් එකිනෙකට වෙනස් බැවිනි. ණය නොගත් තැනැත්තා තම දරුවන් සමග තිබෙන දේ පිළිබඳ සෑහීමකට පත්ව සතුටින් දිවි ගෙවන අතර ණය බරින් ළතැවෙන්නා තම ¥දරුවන් සමග හෝ බිරිඳ සමග හෝ සතුටින් සිටින්නේ යැයි කිවනොහැකිය. ඔහු ක්ෂණයකින් නුරුස්නා චරිතයක් බවට පත් වන්නේ තමා ණයකාරයෙකු බව සිහිවීමෙනි.
යමෙකු ණය වීම සඳහා විවිධ හේතු බලපෑ හැකිය. ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඉහතින් දැක්වූ පරිදි තම ජීවිතයේ අපේක්ෂා සමෘද්ධ කරගැනීම පිණිස ණය වන්නේ ද විය හැකිය. ඒ කුමන පදනමකින් ඔබ ණය ලබාගත්තත් ඔබ ණය ගැනීමෙන් පසු සැපයෙන් සිටින්නේ යැයි කිය නොහැකිය.

ඔබ ඔබේ ජීවිතය කළමණාකරණය කරගත යුතුය. කිසිවෙකුට බාධාවක් නොකොට ජීවත් වන අයට සැමදෙනාම කැමතිය. ඒ නිසා තරුණ කාලයේ සිටම ඔබ ඔබේ ජීවිතය අරමුණුවලින් පුරවා ගත යුතුය. හොඳ, යහපත් ජීවිතයක් ගත කිරීමට ඔබේ අරමුණු සඵල කරගැනීම දක්වා උත්සාහයෙන්, වීර්යයෙන් ක‍්‍රියා කළ යුතුය. ජීවිතයේ අදාළ අවස්ථාවල අදාළ දේ සිදු නොකිරීම නිසා විනාශයට, පශ්චාත්තාපයට පත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

අචරිත්වා බ‍්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොඤ්චාව ඣායන්ති - ඛීණමච්ඡෙව පල්ලලෙ

යනාදි ලෙසින් පැහැදිලි කරන්නේ එයයි. ඒ අනුව බඹසර නොවැසීමත් යෞවන කාලයේ ධනය නොමැති වීමත් නිසා මසුන් නැති මඩ පිට හිඳ තැවෙන මහලූ කොස්වාලිහිණියන් මෙන් තැවීමට හේතු වන බව කියාදෙන්නේ එයයි. මෙයින් දෙන උපදේශය වන්නේ සුදුසු දේ සුදුසු කාලයේ කළයුතුයි යන්නයි. එසේ නොකිරීමෙන් අපගේ දැනුම, දක්ෂතා කලඑළි බසින්නේ නැත. ළමා කාලයේ නිසි අධ්‍යාපනයක් නොලැබූ තැනැත්තාට විචාර බුද්ධිය හෝ හරි වැරැද්ද අවබෝධ කරගැනීම ඉතා අපහසුය. පාසල් අධ්‍යාපනය නොලැබූවද සමාජීය වශයෙන් දැනුම ලබාතිබීමත් වැදගත් ය. කෙසේ නමුත් ඔබගේ දක්ෂතා ඔබ හඳුනාගැනීමට නම් ඔබ ඒ අවස්ථා උදා කරගත යුතුය. රජය මගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කාර්මික මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ ඒ සඳහා ය. ඒවා මගින් ඔබ කිසියම් වූ දෙයකට සුදුස්සෙකු බවට පත් කරයි. ඔබට අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවක් නොමැති වුවද එය ප‍්‍රශ්නයක් නොවේ. ඔබ යම්කිසි වෘත්තීයකට දක්ෂයෙකු විය හැකිය. වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, කුඹල් කර්මාන්තය, වාහන එකලස් කිරීමේ කර්මාන්ත ආදි වූ බොහෝ කර්මාන්ත අතුරින් ඔබ එක් දෙයකට හෝ දක්ෂයෙකු නොවේ යැයි කාටනම් කිව හැකිද? ‘ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත’ යනුවෙන් පැරැන්නන් කීවේ මෙයයි.

ඔබ ණය වීම සඳහා බලපාන කරුණු රාශියක් ඔබ සමග ඇඳී බැඳී සිටිය හැකිය. ඔබ යහපත් ජීවිතයක් ගත කිරීම පිණිස ණය ගත්තේ වුවත් ඊට හාත්පසින්ම වෙනස් අවශ්‍යතා නිසා ඔබ ණය ගත් පුද්ගලයෙක් ද විය හැකිය. ඔබ එසේ ණය ගත්තේ ඔබට අනවශ්‍ය දෙයකට විය හැකිය. ඔබ සුරාපානයට ළැඳි අයෙකු නම් නිතැතින්ම ණයකාරයෙකු ද වනු නොඅනුමානය. එසේම සූදුවට ඇබ්බැහි වූවෙකු නම් ඔබ ණය වී හෝ එහි යෙදෙනවා ඇත. මිතුරන් ලෙසින් පෙනී සිටින පාපී මිතුරන් නිසා ඔබ මතට ඇබ්බැහි වී සිටින අයෙකු නම් ඔබ ණය වී හෝ මිතුරන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බැඳී සිටිනු ඇත. මතට ඇබ්බැහි වීම, උත්සව සන්දර්ශනවලට ලොල්ව ඒවාට යෑම, අනිසි දෑ සඳහා වියදම් කිරීම ආදි කී නොකී බොහෝ දෑ සඳහා මුදල් නොමැති ඔබ ණය වී හෝ ඒවා සඵල කරගැනීමට ඔබව මෙහෙයවිය හැකිය. ඔබව දුසිරිත කෙරෙහි යොමු කිරීම පාපී මිතුරාගේ සුලබ ලක්ෂණයකි. එසේම ඔබ අලස පුද්ගලයෙක් නම් නිතැතින්ම ඔබ ණය තුරස් වී ජීවිකාව ගත කිරීමට වෙහෙසෙනු ඇත. අලස වී සිටින පිරිස ණය ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි භාවිත කරයි. දින වකවානු පිළිබඳ කියා ණය අරගනී. යළිත් ගත් ණය නොදී පැහැර හරින උදවිය වර්තමානයේ  ඕනෑතරම් සොයා ගත හැකිය. ඒ නිසා අලසකම, කම්මැලිිකම වැනි මනෝභාවයන් ඇති පිරිස බොහෝ වේලාවට ණයකාරයෝ ද වෙති.

ව්‍යග්ගපජ්ජ සූත‍්‍රයේදී මෙලොව දියුණුව පිණිස බලපාන කරුණු සතරක් ද පරලොව දියුණුව පිණිස බලපාන කරුණු සතරක් ද අන්තර්ගත ය. මෙලොව දියුණුව පිණිස උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යනාදි ගුණාංගයෝ වැදගත් වෙති. ඉහතින් ද මෙකී කරුණු පිළිබඳ වක‍්‍ර ලෙසින් පැහැදිලි කොට ඇත. මෙහි සමජීවිකතා සංකල්පය මිනිසා තුළ නොමැති නම් උපයා ගන්නා ධනය විනාශ වී ණයගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත. සමජීවිකතාව යනු අය වැය මනාව තුලනය කරගෙන ජීවත් වීමයි. එහෙත් අපගේ දිට්ඨානුගතික භාවය නිසා එසේ කිරීම ඉතා අපහසු ය. අප බොහෝ විට අපගේ අසල්වාසීන්ගේ ජීවිත පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ජීවන වෘත්තාන්තයන් අනුකරණය කිරීමට පෙළඹේ. අසල්වැසියා ගෘහභාණ්ඩයක් ගත්තේ නම් එය දකින අනෙකාත් ඊට වඩා වටිනා ගෘහභාණ්ඩයක් මිලදී ගැනීමට පෙළඹේ. වාහනයක් ගත්තේ නම් කෙසේ හෝ ණයතුරස් වී වාහනයක් ගැනීමට පෙළඹේ. මේ දිට්ඨානුගතිය නිසා, අනුකරණය කිරීම නිසා තමන් උපයනා ධනයට වඩා වියදම් පක්ෂය වැඩි කරගැනීම නිසා ණය ගැනීමට එය හේතුවක් වෙයි. මේ නිසා සමජීවිකතාව අතිශයින් වැදගත් වෙයි. අයවැය තුලනය කරගැනීමේ හැකියාව ස්වාමියාට හා භාර්යාවට තිබිය යුතුය. අරපරෙස්සම මෙහිදී අතිශයින්ම වැදගත් සංකල්පයකි.

මේ අනුව ණය බරින් මිදී ජීවත් වන්නා කෙතරම් නිදහස් ජීවිතයක් ගත කරන්නේදැයි ඔබට වැටහෙනවා ඇත. ඔබ ණයකාරයෙකු නොවේ නම් කිසිදින ඔබගෙන් ණය ඉල්ලා පැමිණ දෙස්දෙවොල් තියන්නේ නැත. ඔබට සැ`ගවී සිටීමට ඉඩක් ලැබෙන්නේ නැත. ණය වී සිටින්නා හා ණය නොවී සිටින්නා අතර පවතින මානසික තත්ත්වය අහසට පොළොව මෙනි. ණයගත්තෙකු විඳින වේදනා ඔබ සියැසින් දැක තිබේනම් හෝ ඔබත් කෙදිනක හෝ ඒ තත්ත්වයට පත්ව ඇත්නම් හොඳින් අවබෝධ වනවා ඇත. එසේනම් ඔබේ ජීවිතයේ සතුට උදා කරන මාහැ`ගි කරුණක් ලෙස අණන සැපය හඳුනාගත හැකි නේද? අණන භාවය ලබාගැනීම පිණිස ඔබ බොහෝ සේ වෙහෙස මහන්සි ගත යුතු බව අණන සූත‍්‍රයේ මුලින් පෙන්වා දෙන කරුණු දෙක හා පසුව පෙන්වා දෙන කරුණ ද වැදගත් වේ. ඔබත් ණය බරින් නිදහස් වෙන්න. ජීවිතයේ නිදහස භුක්ති විඳින්න. එය ලෞකික ජීවිතය සාරවත් කරගැනීමට පමණක් නොව ලෝකෝත්තර විමුක්තිය ලබා ගැනීම පිණිස ද නිතැතින්ම 
බලපාන්නේමය.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල

0778438417