Wednesday, December 28, 2016

අනුවණයා පණ්ඩිතයන් නොදකී
යාවජීවම්පි චෙ බාලෝ
පණ්ඩිතං පය්රුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා 
-ධම්මපදය, බාල වග්ගය-

(අනුවණයා දිවි ඇතිතෙක් පණ්ඩිතයන් ඇසුරු කළේ නමුදු දහමක් මනාව අවබෝධ කර නොගනී)

පණ්ඩිත ප‍්‍රිය වූ බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටින සමයේ සිදු වූ කරුණක් මුල් කරගෙන දෙසූවකි ඉහතින් දැක්වෙන්නේ. අනුවණයාගේ පරිහානියත් නුවණැත්තාගේ දියුණුවත් හඳුන්වාදෙමින් දේශිත ගාථා යුගළෙහි මෙයින් පැහැදිලි කෙරෙන්නේ අනුවණයා පිළිබඳවයි. මෙම දේශනාව සිදු කළේ උදායී නම් තෙරුන් වහන්සේ මූලික කරගෙනය. ඒ කථාව හඳුනාගැනීම මෙහිදී අතිශයින් වැදගත් වේ.
බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන සමයේ මුලින් කී උදායි තෙරුන් ද වැඩ සිටියේ එහිමය. ඔහු ශරීරයෙන් පෘෂ්ටිමත් වූයේ නමුදු නුවණින් මඳ විය. තමා කිසි දහම් කරුණක් පිළිබඳ නොදන්නේ වී නමුදු අනෙකාට ප‍්‍රදර්ශනය කළේ තමන් සියල්ලෙන් පරතෙරට ගිය තැනැත්තෙකු ලෙසය. මහතෙරුන් වහන්සේලා දම්සභා මණ්ඩපයේ දහම් සාකච්චා පවත්වන අවස්ථාවන්හි උදායි තෙරුන් ද එහි පැමිණ ධර්මාසනයේ වැඩ හිඳී. උන්වහන්සේ පිළිබඳ නොදත්, ඇසුරු නොකළ උගත්, ගුණෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට අවනත භාවයෙන් වැඩ හිඳිති. වෙනත් පෙදෙසකින් වැඩි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදායි හිමියන් ධර්මධර-විනයධර හිමිනමක් වේ යැයි සිතා උන්වහන්සේගෙන් විනයෙහි සැක ඇති තැන් කිහිපයක් ඇසූහ. එනමුදු උදායි හිමියන් නිහ`ඩවම සිටියේය. ‘විනය පිළිබඳ කිසිදු දැනුමක් නැති මේ හිමියන්ගෙන් දහම්පැන විමසනු කිමදැ’යි විවේචනය කර බුදුන් වහන්සේ අසල හිඳගෙනත් මෙපමණක්වත් නොදැනීම පුදුමයට කරුණක් බව පවසා උන්වහන්සේ බුදුන් සමීපයට වැඩියහ. 
බුදුන් වහන්සේට මෙම කරුණ සැළ කර සිටි කල්හි උන්වහන්සේ මෙම සිදු වීම පෙරටුවේ තබාගෙන ඉහතින් වූ දේශනා පාඨය වදාරා දම්දෙසූ සේක. අනුවණයා නිරන්තරයෙන් පණ්ඩිතයන් ඇසුරු කළේ වී නමුදු ඔවුන්ගේ මාහැඟි ගුණධර්ම තමන් කෙරෙහි ඈඳා ගැනීමට වෙහෙස නොගන්නා බව පෙන්වා දෙමින් එම සිදුවීම උපමාවක් ඇසුරින් ද විස්තර කළ සේක. ඒ කෙසේද යත් ‘මාලූපිනිවල ලූණු රස හෝ ඇඹුල් රස හෝ හැන්ද නොදන්නාක්
මෙනි.

මෙහි අන්තර්ගත කරුණ අප සඳහාත් සමීප කරගත හැකි මනාය. විටෙක බුදුන් වහන්සේ අනුවණයන් අඥානයන් ඇසුරු නොකළ යුතු බව පෙන්වා වදාළ සේක. ඒ කෙසේ වූයේ නමුදු නුවණනැත්තන් ඇසුරු කිරීම විනාශයට, පරිහානියට හේතුවක්මය. එදිනෙදා ජීවිතයේ දී මෙවන් පිරිස්  ඕනැතරම් අපට හමුවේ. පණ්ඩිත, සත්පුරුෂයන් කෙතෙක් සිටිය ද ඔවුන් ඇසුරු කළ ද එම සත්පුරුෂයන් සතු ගුණධර්ම තමාගේ ජීවිතයේ අහළකටවත් වැද්ද ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. ඔවුන්ගෙන් මේ සමාජයට යහපතක් නම් සිදුවන්නේ නැත. සමාජයේ ¥ෂණය, භීෂණය ඇතිකරන්නේ මොවුන්ය. මංකොල්ලකෑම්, මංපැහැරීම් ආදිය ද ඇති කරන්නේ මොවුන්ය. සමාජයේ ජීවත් වන විට මොවුන්ගෙන් ප‍්‍රවේශම්ව ජීවත් වීම අපගේ මෙලෝ දිවියෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. 


පින් කරන්න සැප ලබන්න

තඤ්ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති
‘‘යම් ක‍්‍රියාවක ප‍්‍රතිවිපාකය සැනසුම ගෙන දේ නම් එවැනි දෑ කිරීමට වෙහෙස ගත යුතුයි.’’
-ධම්මපදය, බාල වග්ගය-

පුද්ගලයා කරන කියන දෑ පිළිබඳ මනා අදහසක් ඉදිරිපත් කරමින් දේශනා කළ ගාථා පාඨයකුයි ඉහතින් දැක්වෙන්නේ. මෙම දේශනාව බුදුහිමියන් දේශනා කළේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සමයේ එක් දිනකය. මෙම දේශනාව සිදු කිරීමට හේතු වූ අවස්ථාව ගෙනහැර බැලීම වැදගත් වේ.
රජගහනුවර සුමන නමින් මල්කරුවෙක් වාසය කළේය. ඔහු දිනපතාම රජ මාළිගයට මල් ගෙය යයි. මාළිගයම මල්වලින් සුවඳවත් කරයි. මෙය ඔහුගේ රාජකාරියකි. රාජ නියෝගයට අනුව දිනපතාම, නොකඩවා නිසි වේලාවට මල් රජමාලිගයට සැපයිය යුතුවේ. සුමන මෙකී රාජකාරිය දිනපතා නොපිරිහෙළා ඉටු කරයි. මෙසේ එක් දිනක් මල් උයනින් මල් නෙළා ඒවා මාලිගයට ගෙන යන අතරතුර මාර්ගයේ අනෙක් පසින් බුදු හිමියන් බික්සඟන සමග වඩිනු දැක්කේය. තමාට පිදීමට ඇත්තේ මල් පමණි. ඒවා ද රජුන් පිණිස රැුගෙන යන දෑය. ඔහු දෙලොවක අතරමං විය. බුදුන්ට මල් පුදනවාද මල් රජුට රැුගෙන යනවාද යනු ඒ දෙලොවයි. අවසානයේ දී ඔහු බුදුහිමියන් කෙරෙහි මල් පූජා කළ යුතු මැනවී,යි සිත අදිටන් කරගෙන සුවඳ මලින් බුදුන් පිදුවේය. බිම්සර රජු ද ඒ අවස්ථාවේ මාර්ගයේ අසු පිට යමින් සිටියේය. ඔහු අසු පිටෙන් බැස බුදුන් වහන්සේට නමස්කාර කළේය. පසුව බිම්සර රජු සුමන මාලාකරුට රජමාලිගයට පැමිණෙන ලෙස දන්වා, ඔහු පැමිණි පසු කුමන කරුණක් නිසා අද මල් රජමාලිගාවට නොගෙනාවේදැයි ප‍්‍රශ්න කළේය. ඔහු එහිදී බුදුන් වහන්සේට කළ පූජාව මෙලෝ වශයෙන් පමණක් නොව පරලෝ වශයෙන් ද විපාක ලැබෙන නිසා එසේ පූජා කළ බව සඳහන් කර සිටියේය. රජු ද ඔහුගේ කථාව අසාගෙන සිට සන්තෝෂයට පත්ව බොහෝ මිල මුදල් දුන්නේය. 
මෙම සිදුවීම ආනන්ද හිමි දැනගත්තේය. බුදුන් හමුවට ගිය උන්වහන්සේ ‘ස්වාමීනි, ඔබ වහන්සේට මල් පූජා කළ පිනෙහි විපාක ලෙස ඔහුට අද මෙලෝ ජීවිතය සඳහා මිල මුදල්, ඉඩම්කඩම් ලැබුණේය’ යනුවෙන් සඳහන් කර සිටියේය. එවිට බුදුහිමියන් ‘ආනන්දය, සුමන කළ පින එසේ මෙසේ එකක් නොවේ. ඔහු මේ කළ පිනෙන් අනාගතයේ සුමන නම් පච්චේක බුද්්ධ වන්නේය’ යනුවෙන් දේශනා කළ සේක. එසේ දේශනා කර යම් කටයුත්තක් කරන්නේ නම් ඒ කරන දේහි විපාක සැප විපාක ගෙන දෙන්නක් වන්නේ නම් පමණක් කළ යුතු බව පෙන්වා දුන්හ. 
සුමන මාලාකරුගේ ජීවන චරිතය අපගේ දිවියටද අතිශයින්ම ආදර්ශ සම්පන්නය. ගතකරන ස්වල්ප වේලාව පවා සැපයට හේතුවන දෑ කළ යුතු බවයි මින් ගම්‍ය වන්නේ. අනාගතයේ පසුතැවිලි වීමට සිදු නොවන දෑ කිරීමට කළ යුතු බව නැවත නැවත පෙන්වා දී ඇත. එසේ නම් මෙම අවස්ථාව අපගේ ජීවිතයට ගැනීම වැදගත් වේ. තමන්ගේ දිවි යතත් අනිසි ක‍්‍රියා, අකුසල ක‍්‍රියා සිදු නොකළ යුතුය. හැකි සැමවිටම සැප පිණිස හේතුවන හොඳ ක‍්‍රියා, කුසල ක‍්‍රියා කිරීමට වෙහෙස විය යුතුය. එය ඔබගේ සැපය පිණිස හේතු වන්නේමය.


යහපත් ගති ඇත්තා
යස්ස චේතං සමුච්ඡින්නං
මූලඝච්චං සමූහතං
ස වන්තදෝසෝ මේධාවී
සාධුරූපෝති වුච්චති

‘‘නසන ලද දෝෂ ඇති, නුවණැති වූ තැනැත්තාම යහපත් ගති ලක්ෂණ ඇත්තෙකි.’’ (ධම්මපදය - ධම්මට්ඨ වර්ගය)

මනුෂ්‍ය දිවියේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේද යන ප‍්‍රස්තූතය සඳහා අතිශයින් වටිනා ඔවදනක් මෙම පාඨයෙන් ලැබේ. සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුන් වහන්සේ එක්තරා සිදුවීමක් මුල් කොටගෙන මෙම ගාථා පාඨය දේශනා කළ සේක. මෙම දේශනාව සිදු වන්නේ සැවැත්නුවර විහාරස්ථාන කිහිපයක විසූ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම-විනය ගැටලූවක් විසඳීම පිණිසය. එහිදී ධර්මය හදාරවන ඇදුරුවරු ධර්මධර යනුවෙන් ප‍්‍රචලිතව සිටි අතර විනය හදාරවන්නන් විනයධර යනුවෙන් ප‍්‍රසිද්ධ විය. ඔවුනට අතවැසි වූවෝද බොහෝ විසූහ. එම අතවැසියන් අතර තරුණ, කුඩා ආදී වයස්වල භික්ෂූන්ද සිටියහ. උන්වහන්සේලා ධර්මය පිළිබඳවත් විනය පිළිබඳවත් ඇදුරන්ට වඩා හොඳින් ඉගෙනගත්තෝ වූහ. ඔවුන් අතරින් ද එක් අදහසක් පැන නැග්ගේය. එනම් ධර්මධර-විනයධර හිමිවරුන් මෙන්ම තමන්ද ධර්මය විනය මනාව පෙළ අරුත් විසිතුරු අයුරින් විග‍්‍රහ කර අර්ථ දැක්වීමේ හැකියාවෙන් යුක්ත අය ලෙසයි. මෙකී පිරිස ඒකරාශී වී තමන්ද අනෙක් දෙගොල්ල පරිදි සමාජයේ ප‍්‍රසිද්ධ වීම පිණිස, සමාජයෙන් ගරු බුහුමන් ලැබීම පිණිස මෙසේ පාර්ශ්වයක් සාදා ගැනීම අරමුණ විය. මේ අදහස බුදුන් අභිසයට ගොස් පැවසූ පසු බුදුහිමියන් එය නිමිති කරගෙන මෙම දේශනාව සිදු කළ සේක.
එහි දී උන්වහන්සේ, ‘මහණෙනි, අනෙකෙකුගේ මිහිරි වදන් ඇති පමණින් හෝ සිරුරේ පැහැය ඇති පමණින් හෝ ඔහු කෙරෙහි හටගත් නොසතුට නිසා යම් තැනැත්තෙක් සුන්දර පුද්ගලයෙකු නොවේ. යමෙක් අනුන්ගේ රුව ගුණ දැක ඒවාට ඊර්ෂ්‍යා නොකරන්නේද, සන්තුෂ්ඨියට පත්වන්නේද එයින්ම සුන්දර පුද්ගලයෙක් වේ’ යනුවෙන් වඳාළ සේක. 
ඉහතින් සඳහන් කළ ගාථා පාඨයෙන් දැක්වෙන්නේ සුන්දර පුද්ගලයෙකු වන අන්දමයි. එයට සම්බන්ධ කර තවත් ගාථා පාඨයක් ද දේශනා කර ඇත. ඉන් කියැවෙන්නේ අයහපත් ගති ඇති පුද්ගලයා පිළිබඳවය. 
න වාක්කරණමත්තේන - වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපෝ නරෝ හෝති - ඉස්සුකී මච්ඡුරී සඨෝ
යනුවෙන් ඒ බව කියැවේ. මේ අනුව විසිතුරු වචන ඇති පමණින් හෝ, මිහිරි කටහ`ඩ ඇති පමණින් හෝ, වචන ගළපා නිසි පරිදි කියාපාන පමණින් හෝ සුන්දර පුද්ගලයෙකු නොවන බවත් සිරුරේ පැහැය නිසා එසේ යහපත් පුද්ගලයෙකු නොවන බවත් එසේම අන් සැපත නො ඉවසන, ඊර්ෂ්‍යා සහගත, අනුන්ගේ දොස් නිතරම කියන, අශීලාචාර, පරිත්‍යාගශීලි නොවන, වංචනික තැනැත්තා යහපත් නොවන බවත් පෙන්වා දුන් සේක. මෙහි සමහර පිරිස් ශරීරයෙන් මනහරය, වචනයෙන් මනහරය එනමුදු ඊර්ෂ්‍යා සහගතය. වඤ්චනිකය. ක‍්‍රියාවෙන් දුස්සීලය. සමහරු ශරීරයෙන් පැහැපත් නොවූවත් කරන ක‍්‍රියා සුපසන්ය. ප‍්‍රසාදනීයය. අනුන්ට වැඩ සාදන සුලූය. මෙවැනි වූ පිරිස් කාණ්ඩ 4ක ලා දැක්විය හැකිය.  කෙසේ නමුදු මේ අය අතුරින් ශරීර සම්පත්තිය ඇති හෝ නැති යහපතෙහි ඇළුණු තැනැත්තා යහපත් තැනැත්තෙකු ලෙස බුදුන් වහන්සේ ප‍්‍රශංසා කර ඇත.
මේ උපදේශය අපටත් අතිශයින්ම වැදගත්වේ. ශරීර සම්පත්තිය හෝ වෙනත් බාහිර ලක්ෂණ ගැන නොව අභ්‍යන්තර ගුණ වගාව දියුණු කළ යුතු බවයි මින් පෙන්වා දෙන්නේ. අපත් බාහිර ලක්ෂණ නොව අභ්‍යන්තර ගුණ වර්ධනය කරගැනීමට පෙළඹෙමු. එය අපගේ ඉදිරි දියුණුව පිණිස හේතුවනවා නො අනුමානයි.

පදියතලාවේ ඤාණවිමල හිමි - මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ