Wednesday, December 28, 2016

පින් කරන්න සැප ලබන්න

තඤ්ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති
‘‘යම් ක‍්‍රියාවක ප‍්‍රතිවිපාකය සැනසුම ගෙන දේ නම් එවැනි දෑ කිරීමට වෙහෙස ගත යුතුයි.’’
-ධම්මපදය, බාල වග්ගය-

පුද්ගලයා කරන කියන දෑ පිළිබඳ මනා අදහසක් ඉදිරිපත් කරමින් දේශනා කළ ගාථා පාඨයකුයි ඉහතින් දැක්වෙන්නේ. මෙම දේශනාව බුදුහිමියන් දේශනා කළේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සමයේ එක් දිනකය. මෙම දේශනාව සිදු කිරීමට හේතු වූ අවස්ථාව ගෙනහැර බැලීම වැදගත් වේ.
රජගහනුවර සුමන නමින් මල්කරුවෙක් වාසය කළේය. ඔහු දිනපතාම රජ මාළිගයට මල් ගෙය යයි. මාළිගයම මල්වලින් සුවඳවත් කරයි. මෙය ඔහුගේ රාජකාරියකි. රාජ නියෝගයට අනුව දිනපතාම, නොකඩවා නිසි වේලාවට මල් රජමාලිගයට සැපයිය යුතුවේ. සුමන මෙකී රාජකාරිය දිනපතා නොපිරිහෙළා ඉටු කරයි. මෙසේ එක් දිනක් මල් උයනින් මල් නෙළා ඒවා මාලිගයට ගෙන යන අතරතුර මාර්ගයේ අනෙක් පසින් බුදු හිමියන් බික්සඟන සමග වඩිනු දැක්කේය. තමාට පිදීමට ඇත්තේ මල් පමණි. ඒවා ද රජුන් පිණිස රැුගෙන යන දෑය. ඔහු දෙලොවක අතරමං විය. බුදුන්ට මල් පුදනවාද මල් රජුට රැුගෙන යනවාද යනු ඒ දෙලොවයි. අවසානයේ දී ඔහු බුදුහිමියන් කෙරෙහි මල් පූජා කළ යුතු මැනවී,යි සිත අදිටන් කරගෙන සුවඳ මලින් බුදුන් පිදුවේය. බිම්සර රජු ද ඒ අවස්ථාවේ මාර්ගයේ අසු පිට යමින් සිටියේය. ඔහු අසු පිටෙන් බැස බුදුන් වහන්සේට නමස්කාර කළේය. පසුව බිම්සර රජු සුමන මාලාකරුට රජමාලිගයට පැමිණෙන ලෙස දන්වා, ඔහු පැමිණි පසු කුමන කරුණක් නිසා අද මල් රජමාලිගාවට නොගෙනාවේදැයි ප‍්‍රශ්න කළේය. ඔහු එහිදී බුදුන් වහන්සේට කළ පූජාව මෙලෝ වශයෙන් පමණක් නොව පරලෝ වශයෙන් ද විපාක ලැබෙන නිසා එසේ පූජා කළ බව සඳහන් කර සිටියේය. රජු ද ඔහුගේ කථාව අසාගෙන සිට සන්තෝෂයට පත්ව බොහෝ මිල මුදල් දුන්නේය. 
මෙම සිදුවීම ආනන්ද හිමි දැනගත්තේය. බුදුන් හමුවට ගිය උන්වහන්සේ ‘ස්වාමීනි, ඔබ වහන්සේට මල් පූජා කළ පිනෙහි විපාක ලෙස ඔහුට අද මෙලෝ ජීවිතය සඳහා මිල මුදල්, ඉඩම්කඩම් ලැබුණේය’ යනුවෙන් සඳහන් කර සිටියේය. එවිට බුදුහිමියන් ‘ආනන්දය, සුමන කළ පින එසේ මෙසේ එකක් නොවේ. ඔහු මේ කළ පිනෙන් අනාගතයේ සුමන නම් පච්චේක බුද්්ධ වන්නේය’ යනුවෙන් දේශනා කළ සේක. එසේ දේශනා කර යම් කටයුත්තක් කරන්නේ නම් ඒ කරන දේහි විපාක සැප විපාක ගෙන දෙන්නක් වන්නේ නම් පමණක් කළ යුතු බව පෙන්වා දුන්හ. 
සුමන මාලාකරුගේ ජීවන චරිතය අපගේ දිවියටද අතිශයින්ම ආදර්ශ සම්පන්නය. ගතකරන ස්වල්ප වේලාව පවා සැපයට හේතුවන දෑ කළ යුතු බවයි මින් ගම්‍ය වන්නේ. අනාගතයේ පසුතැවිලි වීමට සිදු නොවන දෑ කිරීමට කළ යුතු බව නැවත නැවත පෙන්වා දී ඇත. එසේ නම් මෙම අවස්ථාව අපගේ ජීවිතයට ගැනීම වැදගත් වේ. තමන්ගේ දිවි යතත් අනිසි ක‍්‍රියා, අකුසල ක‍්‍රියා සිදු නොකළ යුතුය. හැකි සැමවිටම සැප පිණිස හේතුවන හොඳ ක‍්‍රියා, කුසල ක‍්‍රියා කිරීමට වෙහෙස විය යුතුය. එය ඔබගේ සැපය පිණිස හේතු වන්නේමය.


No comments:

Post a Comment