Wednesday, December 28, 2016

අනුවණයා පණ්ඩිතයන් නොදකී
යාවජීවම්පි චෙ බාලෝ
පණ්ඩිතං පය්රුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා 
-ධම්මපදය, බාල වග්ගය-

(අනුවණයා දිවි ඇතිතෙක් පණ්ඩිතයන් ඇසුරු කළේ නමුදු දහමක් මනාව අවබෝධ කර නොගනී)

පණ්ඩිත ප‍්‍රිය වූ බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටින සමයේ සිදු වූ කරුණක් මුල් කරගෙන දෙසූවකි ඉහතින් දැක්වෙන්නේ. අනුවණයාගේ පරිහානියත් නුවණැත්තාගේ දියුණුවත් හඳුන්වාදෙමින් දේශිත ගාථා යුගළෙහි මෙයින් පැහැදිලි කෙරෙන්නේ අනුවණයා පිළිබඳවයි. මෙම දේශනාව සිදු කළේ උදායී නම් තෙරුන් වහන්සේ මූලික කරගෙනය. ඒ කථාව හඳුනාගැනීම මෙහිදී අතිශයින් වැදගත් වේ.
බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන සමයේ මුලින් කී උදායි තෙරුන් ද වැඩ සිටියේ එහිමය. ඔහු ශරීරයෙන් පෘෂ්ටිමත් වූයේ නමුදු නුවණින් මඳ විය. තමා කිසි දහම් කරුණක් පිළිබඳ නොදන්නේ වී නමුදු අනෙකාට ප‍්‍රදර්ශනය කළේ තමන් සියල්ලෙන් පරතෙරට ගිය තැනැත්තෙකු ලෙසය. මහතෙරුන් වහන්සේලා දම්සභා මණ්ඩපයේ දහම් සාකච්චා පවත්වන අවස්ථාවන්හි උදායි තෙරුන් ද එහි පැමිණ ධර්මාසනයේ වැඩ හිඳී. උන්වහන්සේ පිළිබඳ නොදත්, ඇසුරු නොකළ උගත්, ගුණෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට අවනත භාවයෙන් වැඩ හිඳිති. වෙනත් පෙදෙසකින් වැඩි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදායි හිමියන් ධර්මධර-විනයධර හිමිනමක් වේ යැයි සිතා උන්වහන්සේගෙන් විනයෙහි සැක ඇති තැන් කිහිපයක් ඇසූහ. එනමුදු උදායි හිමියන් නිහ`ඩවම සිටියේය. ‘විනය පිළිබඳ කිසිදු දැනුමක් නැති මේ හිමියන්ගෙන් දහම්පැන විමසනු කිමදැ’යි විවේචනය කර බුදුන් වහන්සේ අසල හිඳගෙනත් මෙපමණක්වත් නොදැනීම පුදුමයට කරුණක් බව පවසා උන්වහන්සේ බුදුන් සමීපයට වැඩියහ. 
බුදුන් වහන්සේට මෙම කරුණ සැළ කර සිටි කල්හි උන්වහන්සේ මෙම සිදු වීම පෙරටුවේ තබාගෙන ඉහතින් වූ දේශනා පාඨය වදාරා දම්දෙසූ සේක. අනුවණයා නිරන්තරයෙන් පණ්ඩිතයන් ඇසුරු කළේ වී නමුදු ඔවුන්ගේ මාහැඟි ගුණධර්ම තමන් කෙරෙහි ඈඳා ගැනීමට වෙහෙස නොගන්නා බව පෙන්වා දෙමින් එම සිදුවීම උපමාවක් ඇසුරින් ද විස්තර කළ සේක. ඒ කෙසේද යත් ‘මාලූපිනිවල ලූණු රස හෝ ඇඹුල් රස හෝ හැන්ද නොදන්නාක්
මෙනි.

මෙහි අන්තර්ගත කරුණ අප සඳහාත් සමීප කරගත හැකි මනාය. විටෙක බුදුන් වහන්සේ අනුවණයන් අඥානයන් ඇසුරු නොකළ යුතු බව පෙන්වා වදාළ සේක. ඒ කෙසේ වූයේ නමුදු නුවණනැත්තන් ඇසුරු කිරීම විනාශයට, පරිහානියට හේතුවක්මය. එදිනෙදා ජීවිතයේ දී මෙවන් පිරිස්  ඕනැතරම් අපට හමුවේ. පණ්ඩිත, සත්පුරුෂයන් කෙතෙක් සිටිය ද ඔවුන් ඇසුරු කළ ද එම සත්පුරුෂයන් සතු ගුණධර්ම තමාගේ ජීවිතයේ අහළකටවත් වැද්ද ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. ඔවුන්ගෙන් මේ සමාජයට යහපතක් නම් සිදුවන්නේ නැත. සමාජයේ ¥ෂණය, භීෂණය ඇතිකරන්නේ මොවුන්ය. මංකොල්ලකෑම්, මංපැහැරීම් ආදිය ද ඇති කරන්නේ මොවුන්ය. සමාජයේ ජීවත් වන විට මොවුන්ගෙන් ප‍්‍රවේශම්ව ජීවත් වීම අපගේ මෙලෝ දිවියෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. 


No comments:

Post a Comment