Wednesday, April 12, 2017

වංසකථා ඉතිහාසය හා දාඨාවංසය

වංස සාහිත්‍ය පාලි සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමිකරගන්නා වූ රචනා විශේෂයකි. වංසකථාවලින් බොහෝ විට ඉදිරිපත් කරන්නේ ඉතිහාසයෙහි (අතීතයෙහි බොහෝ සේ ප‍්‍රසිද්ධියට පත් යම් වස්තුවක් හෝ පුද්ගලයෙකු පිළිබඳ වර්ණනාවලියයි, සාරවත් තොරතුරු රාශියයි. දියුණු සාහිත්‍යයක් ඇති  ඕනෑම භාෂාවක මෙකී සාහිත්‍ය ප‍්‍රභේදය දැකගත හැකිය. නිදසුන් ලෙස පාලි වංසකථා, සංස්කෘත වංශකථා හා සිංහල වංශකථා දැක්විය හැකිය.
සංස්කෘත වංශකථාවලියේ දී බොහෝ සෙයින් හමුවන්නේ රාජ පරම්පරාවක් පිළිබඳ වූ අන්තර්ගතයකි. රඝුවංශය මෙහිලා ඉදිරිපත් කළ හැකි ප‍්‍රකට සාධකයකි. පාලියෙහි දී බොහෝ විට වංසකථා රචනා වන්නේ බුදුදහම කේන්ද්‍ර කර ගනිමිනි. එහිලා බුද්ධ ශාසනයෙහි වැදගත් සිදුවීම් අළලා මෙන්ම බුද්ධචරිතයෙහි වැදගත් සිදුවීම් අළලා මෙවන් වංසකථා රචනා වී ඇති බව අවබෝධ කරගත හැකිය. සිංහල වංශකථා ද මෙම මාර්ගයෙහිම ගමන් කරමින් බෞද්ධ උරුවක් සහිතව රචනා වී ඇති බව සිංහල මහා බෝධිවංශය, දීපවංශය, මහාවංශය, දළදා වංශය, ථූපවංශය ආදී කෘති දෙස බැලීමේදී පෙනී යයි. 
කෙසේ වෙතත් මෙහි දී අපට වැදගත් වන්නේ පාලි වංසකථා සාහිත්‍යය පිළිබඳවයි. පාලියෙහි ලියැවී ඇති වංසකථා ගණන ගණනින් මෙතෙකැයි තීරණය කළ නොහැකිය. කෙසේ නමුත් ඒ අතරින් හමුවන ප‍්‍රධාන වංසකථා කිහිපයකි මේ.
1. දීපවංසය 2. මහාවංසය 3. චූලවංසය
4. මහාබෝධිවංසය 5. ථූපවංසය 6. ලළාටධාතුවංසය
7. දාඨාවංසය 8. ගන්ධවංසය 9. ඡුකේසධාතුවංසය
10. සාසනවංසය  
11. කාම්බෝජ මහාවංසය 
ආදියයි. 
ඉහත සඳහන් වංසකථා අතර දාඨාවංසයට හිමිවන්නේ ප‍්‍රධාන ස්ථානයකි. එයට හේතුව එමගින් විස්තර කරන කථා ප‍්‍රවෘත්තියෙහි විශේෂත්වයයි. බුදුන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ පිළිබඳව කෙරෙන විස්තරාත්මක ලියැවිල්ල දාඨාවංසය යනුවෙන් නම් කළ හැකිය. මෙහි භාෂා විලාසය දෙස විමසිල්ලෙන් බැලීමේ දී පැහැදිලි වන්නේ දොළොස්වැනි සියවසේ අවසාන භාගයේ දී හෝ දහතුන්වැනි සියවසේ මුල්භාගයේ දී රචනා වී ඇති බවයි. මෙහි කර්තෘ වන්නේ තත්කාලීනව වැඩවිසූ මහා සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය ධමම්කිත්ති හිමියන්ය. උන්වහන්සේ පාලි සංස්කෘත විෂයයන් පිළිබඳ මනා පරිචයකින් සිටියෙකු බව කරුණු රැුසක් ඇසුරින් හඳුනා ගත හැකිය. ඒ ඒ විෂයයන්ට අදාළ ව්‍යාකරණය හා කාව්‍ය සාහිත්‍ය පිළිබඳවත් තර්ක ශාස්ත‍්‍රය පිළිබඳවත් දර්ශනවාද පිළිබඳවත් හසළ දැනුමෙන් යුක්ත උන්වහන්සේගේ එම හැකියාව මනාව පෙන්නුම් කෙරෙන අවස්ථාවක් නම් දාඨාවංසයයි. එහි විවිධ විරිත්වලින් සුබැඳුණු කාව්‍ය දක්නට ලැබේ. ඒ අතර ජගතී, ස‍්‍රග්ධරා, මන්දාක‍්‍රාන්තා, ඉන්ද්‍රවජ‍්‍රා, උපේන්ද්‍රවජ‍්‍රා ආදී නා නා ඡුන්දස් නිදසුන් ලෙස දැක්විය හැකිය. 

දාඨාවංසයෙන් ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්තධාතුව පිළිබඳව බව ඉහතින් පෙන්වා දෙන ලදි. එහි අනෙක් නාමය වන්නේ දන්තධාතුවංසයයි. කෙසේ නමුත් මෙරට සිටි පාලි සාහිත්‍ය පිළිබඳ උගතෙකු වූ ගුණපාල මලලසේකර දාඨාවංසයට පසුව ලියැවුණු කෘතියක් ලෙස දන්තධාතුවංසය පෙන්වා දෙයි. එහි අන්තර්ගතය ද දාඨාවංසයට වඩා වෙනස් බව එහි දී ඔහු පවසා තිබේ. දාඨාවංසයේ රචනා ක‍්‍රමය බොහෝ විට ථූපවංසයට සමානය. ථූපවංසයේ කථාව අවසාන වන්නේ දුට්ඨගාමිණී රජුගේ කථාවෙන් අවසන් වේ. දාඨාවංසයෙහි ද කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජු වර්ණනා කර කෘතිය අවසන් කරයි. කලිඟු දේ්ශයේ රජ කෙනෙකු වූ ගුහසීවගේ බෑණනු කෙනෙකු වූ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය බුදුන් වහන්සේගේ වම් දළදාව රැුගෙන මෙහි පැමිණියහ. කිත්සිරිමෙවන් රජු එය මහත් හරසරින් පිළිගෙන පූජෝපහාර පැවැත්වූ අතර එතැන් පටන් මෑතකාලීනව වන තුරුත් දළදා වහන්සේ සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස වන්දනාවට බඳුන් වේ.

දාඨාවංසයේ අන්තර්ගත ගාථා ප‍්‍රමාණය 415කි. ප‍්‍රථම රාජගුරු ධර්මකීර්ති හිමි යනුවෙන් හඳුන්වන්නේ ද ඉහතින් සඳහන් කළ ධම්මකිත්ති හිමියන්මය. නමස්කාර ගාථාවේ පටන් වංසකථාව අවසන් වන අවස්ථාව දක්වාම ඉතා මනහර පද්‍ය බන්ධනවලින් සමන්විත කර දළදාවේ පුවත ඉදිරිපත් කරයි. 

යම් ග‍්‍රන්ථයක් රචනා කිරීමේ දී අනුගමනය කළ යුතු අවස්ථා කිහිපයක් වේ. ඒවා සංඥාදි පඤ්චකය යනුවෙන් හැඳින්වේ. (සංඥා නිමිත්තං කත්තාරං පරිමාණං පයෝජනං* මේ අනුව දාඨාවංසය පිළිබඳ අධ්‍යයනයේ දී,
  • සංඥාව (ග‍්‍රන්ථයේ නම)
  • නිමිත්ත (අරමුණ)
  • කර්තෘ (රචකයා)
  • පරිමාණය (ප‍්‍රමාණය)
  • ප‍්‍රයෝජන ආදී දෑ පිළිබඳ හඳුනාගෙන සිටීම වැදගත් වේ.

        මුලින්ම දක්වා ඇත්තේ සංඥාවයි. සංඥාව යනු කෘතියෙහි නාමය බව මුලින් පෙන්වා දී ඇත. මෙම කෘතිය මගින් දළදා වහන්සේගේ වංසය පිළිබඳ දිගහැරෙන බැවින් දාඨාවංසය යන නාමය ලැබී තිබේ. එය මෙහි සංඥාව වේ. දෙවැනිව දැක්විය යුත්තේ නිමිත්තයි. නිමිත්ත යනු අරමුණයි. මෙහි නිමිත්ත නම් ලෝකවාසී බෞද්ධයන්ගේ හිත සුව පිණිස බුදුන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ පිළිබඳ විස්තර කිරීමයි. එහි ඉතිහාසය ඉදිරිපත් කිරීමයි. තෙවැන්න නම් කර්තෘය. මෙහි කර්තෘ වන්නේ රාජගුරු ධර්මකීර්ති හෙවත් ධම්මකිත්ති හිමියන්ය. ඔහු විසින් රූපාවතාරය නමින් සංස්කෘත ව්‍යාකරණ ග‍්‍රන්ථයක් ද රචනා කර ඇත. දාඨාවංසයෙහි ප‍්‍රමාණය පිළිබඳ විමසීමද අතිශයින් වැදගත් වේ. ඒ අනුව මෙය ගාථා 415කින් සෑදුනකි. ඉහතින් සඳහන් කළ ආකාරයට මෙය මාලිනි, ශාර්දූලවික‍්‍රීඩත, වංසට්ඨ ආදී වෘත්තවලින් බඳිනු ලැබූවක් ද වේ. මෙයින් ලැබෙන ප‍්‍රයෝජන පිළිබඳ සඳහන් කිරීමේ දී,
x බුද්ධසාසනයේ ඉතිහාසය පිළිබඳ හඳුනාගත හැකිවීම
x බෝධිසත්ත්ව චරිතය පිළිබඳ
x බුද්ධත්වය ලැබීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතය
x සර්වඥධාතු බෙදීම පිළිබඳ විස්තර
x දළදා වහන්සේගේ ප‍්‍රාතිහාර්ය පෑම්
x ලංකාවට දළදා වහන්සේ වැඩම කරවීමේ පුවත
x මෙහි විසූ රජවරුන් දළදා වහන්සේට කළ පූජාවන් පිළිබඳ විස්තර
x දළදාවේ ආරක්ෂාව පිණිස ගත් ක‍්‍රියා මාර්ග
ආදී දෑ ප‍්‍රමුඛ වේ. ඊට අමතරව භාෂාව හා පාලි සාහිත්‍යය හදාරන්නන්ට ද මෙම කෘතිය මහත් රුකුලක්වනු නො අනුමානය. මෙය හැදෑරීම මගින් පාලි ඡුන්දස් පිළිබඳව මනා පරිචයක් ලද හැකි අතර මනහර පද්‍ය බන්ධනයට අත්පොත්ක් වශයෙන් ද ආධුනිකයන්ට භාවිත කළ හැකිය. එසේම පාලි ව්‍යාකරණ විෂයයෙහි ද අතිශයින් වැදගත් කෘතියක් ලෙස මෙය හඳුන්වාදීම සාවද්‍ය කරුණක් නො වේ. 

පරිවෙණාධිපති,
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල.

No comments:

Post a Comment