කච්චායන ධාතු මඤ්ජුසාව
පාලි ව්‍යාකරණයට අයත් වන සුවිශේෂ කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දියහැකිය. මෙහි කෘතියෙන් පෙන්වා දෙන අදහස අනුවම කුමන කරුණු අන්තර්ගත වේ දැයි අවබෝධ කර ගත හැකිය. ධාතු යනුවෙන් හඳුන්වන්නේ ක‍්‍රියා පදවල මුල් ස්වරූපයයි. මඤ්ජුසාවක් යනු යම් යම් දේවල් බහාලිය හැකි, අසුරා තැබිය හැකි පෙට්ටියකි, ඇසුරුමකි. එසේ නම් ධාතු මඤ්ජුසාව නමින් දක්වා ඇත්තේ ධාතූන් හෙවත් ක‍්‍රියා මූල රැුසක් ඒකරාශි කර ඇති ඇසුරුමකටය. මෙහි මුලින්ම ඇත්තේ කච්චායන යනුවෙනි. එම පදයෙන් හැඟවෙන කරුණත් අවබෝධයේ තබා ගැනීම අතිශයින්ම වැදගත් වේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිතව ගිය පාලි ව්‍යාකරණ සම්ප‍්‍රදායයන් තුනක් තිබුණේය. ඒවා,
- කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදාය
- මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප‍්‍රදාය
- සද්දනීති ව්‍යාකරණ සම්ප‍්‍රදාය
ලෙසින් හඳුන්වනු ලැබේ.
මෙම ව්‍යාකරණ සම්ප‍්‍රදායයන් තුන අතරින් කච්චායන සහ මොග්ගල්ලාන සම්ප‍්‍රදායන් දෙකට වැඩි තැනක් හිමි වූ අතර එයින් ද කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදාය ජනප‍්‍රිය වූ ව්‍යාකරණ සම්ප‍්‍රදාය විය. මෙම ව්‍යාකරණ සම්ප‍්‍රදායයට අයත් කෘති කිහිපයක් මුලින් හඳුනාගෙන සිටීම අපගේ දැනුම වර්ධනය විෂයයෙහි ද වැදගත් වේ.
කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදායයෙහි ඇති කෘති අතර,
- බාලාවතාරය
- රූපසිද්ධිය
- අභිධානප්පදීපිකාව
- නාමමාලා සහ වරනැගිල්ල
- ධාතු මඤ්ජුසාව
ආදි කෘති ප‍්‍රමුඛ තැනක් හිමිකර ගනී.
මීට අමතරව මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප‍්‍රදාය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නේ නම් එයත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිතව ගිය ව්‍යාකරණ සම්ප‍්‍රදායයක් වූ නමුදු එය කච්චායනය තරම් දියුණුවට හෝ ප‍්‍රසිද්ධියට හෝ ජනප‍්‍රියත්වයට පත් වූයේ නැත. එයට හේතුව නම් එකී කෘතිවල පාලිය අන්‍ය භාෂා සමග මිශ‍්‍ර වූ බවක් දක්නට තිබීමයි. කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදායයෙහි ඇති කෘතිවල ඇත්තේ අමිශ‍්‍ර වූ පාලි වදන් ය. එසේම සරල බවින්ද යුක්තය. මේ නිසා කච්චායනයම ලංකාවේ ප‍්‍රසිද්ධ විය. සද්දනීති ව්‍යාකරණ සම්ප‍්‍රදාය මෙරටෙහි ව්‍යාප්ත වී නොගිය තරම්ය.
දැන් අපි තවදුරටත් කච්චායන ධාතුමඤ්ජුසාව පිළිබඳ අවබෝධ කර ගනිමු.
ඉහතින් පෙන්වා දුන් පරිදි මෙහි ඇත්තේ ධාතූන් රාශියක් ඒකරාශි කොට ලියා දැක්වීමකි. ධාතුවක් යනුවෙන් හඳුන්වන්නේ ක‍්‍රියාපදයක මුල් අවස්ථාව බව ඉහතින් පෙන්වා දෙන ලදි. මෙම ධාතුවක් විභක්ති ප‍්‍රත්‍යයක් හා සම්බන්ධ වීමෙන් අනතුරුව ක‍්‍රියා පදයක් නැතහොත් ආඛ්‍යාත පදයක් නිර්මාණය වේ. එසේම ධාතු ගණ කිහිපයක්ද පාලි ව්‍යාකරණයෙහි විද්‍යමාන වේ. ඒ අතර
- භුවාදි ගණය
- තුදාදි ගණය
- රුධාදි ගණය
- දිවදි ගණය
- ස්වාදි ගණය
- කියාදි ගණය
- තනාදි ගණය
- චුරාදි ගණය
- ගහාදි ගණය
- ජුහාදි ගණය
- අදාදි ගණය
ආදි වශයෙන් ගණ රැසක් දක්වා ඇත. මේවා මනාලෙස සංග‍්‍රහ කිරීමක් කෘතියෙහි අවසානයේ දැකගත හැකිවේ. ආඛ්‍යාත පදයක් නිර්මාණය වීමේ දී විවිධ වෙනස්කම් ඇති වේ. ධාතුවක් වුවද වෙනස් ස්වරූපයන්ට පත්වීම මෙහි දී සිදුවන කාර්යයකි. ධාතුවට විකරණ ප‍්‍රත්‍යයක් එක්වීමත් ධාත්වංගය නිර්මාණය වීමත් එයට විභක්ති ප‍්‍රත්‍යයක් සම්බන්ධ කිරීමත් මෙහි දී විශේෂයෙන්ම සිදුවේ. ඉන් පසුවය ක‍්‍රියාපදයක් නිර්මාණය වන්නේ. මේ පිළිබඳ වැඩි දැනුමක් මෙම අවස්ථාවේදී අවශ්‍ය නොවේ.
කච්චායන ධාතු මඤ්ජුසාව අයත් වන්නේ කෝෂ ග‍්‍රන්ථ ගණයට ය. කෝෂ ග‍්‍රන්ථයක් යනුවෙන් හඳුන්වන්නේ ද යම් වූ පද සමූහයක් ඒකරාශි කර බඳින ලද කෘතියකටය. ශබ්දකෝෂ යනුවෙන් ද හඳුන්වන්නේ පද රාශියක් සංග‍්‍රහ කොට තිබීම නිසා කෝෂ ග‍්‍රන්ථය යන්න කුමක්දැයි මනාව අවබෝධ කරගත හැකිවේ.
අපගේ වැඩිදුර ඉගෙනීමට කෝෂ ග‍්‍රන්ථ කිහිපයක්ද දැනගෙන සිටීම වැදගත්ය.
- එකක්ඛරකොස
- නිරුක්තිසංගහ
- විභක්ත්‍යත්ථදීපනී
- අභිධානප්පදීපිකා
ආදිය එහිදී අප මතක තබාගත යුතු කෝෂ ග‍්‍රන්ථ කිහිපයකි. මින් පසු අවධානය යොමු කළ යුත්තේ මෙහි කර්තෘ සංඥා ආදී කරුණු පිළිබඳවය. එහිදී
1. සංඥා
2. කර්තෘ
3. නිමිත්ත
4. ප‍්‍රමාණය
5. කාලය
6. ප‍්‍රයෝජනය
යන අවස්ථා පිළිබඳ අවබෝධ කරගෙන සිටිය යුතුය.
සංඥාව යනුවෙන් දක්වා ඇත්තේ කෘතියෙහි නාමයයි. ධාතු පිළිබඳ සංග‍්‍රහ කර ඇති මෙහි සංඥාව නොහොත් නාමය කච්චායන ධාතු මඤ්ජුසාවයි.
දෙවැනිව කර්තෘ කවුද යන්න සොයා බැලිය යුතුය. මෙහි කර්තෘ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලද නොහැකිය. එනමුදු මෙහිම අවසාන පද්‍ය කිහිපයෙන් පෙනී යන්නේ සීලවංස නම් භික්ෂුවක විසින් කළ බවයි. (යක්ඛද්දිලේනාඛ්‍ය නිවාසවාසි සීලවංසො යතිස්සරෝ ඉදං අකාසි) නමුදු එයින්ම මෙහි කතුවරයා කවරෙක්දැයි නිවැරදිව හඳුනාගත නොහැකි වේ.
ඉන් පසුව මෙය රචනා වූ කාලය පිළිබඳ දැනගත යුතුය. මෙය රචනා වී ඇත්තේ දඹදෙණි යුගයේදී හෝ කුරුණෑගල යුගයේදීය.
එසේම මෙහි නිමිත්ත පිළිබඳ දැක්වීමේදී නිමිත්ත යනු අරමුණයි. ඕනෑම කෘතියක් රචනා කිරීමට යම් අරමුණක් තිබිය යුතුය. මෙහි අරමුණ ලෙස අපට ගත හැකි වන්නේ ධාතු ප‍්‍රත්‍යය ඒකරාශි කිරීමයි. එය ආධුනිකයන්ට මෙන්ම ප‍්‍රවීණයන්ට ද මහත් වැදගත් වන්නකි. එසේම මෙහි ප‍්‍රමාණය දෙස බැලීමේදී ගාථා 148කින් යුක්තය. මුලින්ම නමස්කාර ගාථා අන්තර්ගත කර ඇති අතර අවසානයේදී සමත්තා සත්තගණා යනුවෙන් කොටසක් අන්තර්ගත කර ඇත ඒ සියල්ල එක්කර බැලීමේ දී ගාථා 7කි. එවිට සියල්ල 155කි.
එසේම මෙහි ධාතු දක්වා ඇත්තේ විශේෂ ක‍්‍රමවේදයකටය. අකාරාදි පිළිවෙළට ධාතු ඒකරාශි කර ඇති අතර අකාරාදිය සංග‍්‍රහ කර ඇත්තේ ධාතුවේ අවසාන පදයට ගැළපෙන පරිද්දෙනි. මෙහි ඇති විශේෂත්වය එයයි.
මෙයින් ලබාගත හැකි ප‍්‍රයෝජන අවසාන වශයෙන් දැක්වීම වැදගත් වේ. එහි දී පාලි භාෂාව හා ව්‍යාකරණය සාහිත්‍ය අධ්‍යයනය කරන අපට මෙය අධ්‍යයනය කිරීමෙන්, වනපොත් කිරීමෙන් ලද හැකි ප‍්‍රයෝජන රාශියකි.
1. ක‍්‍රියාපද පිළිබඳ අවබෝධයක් ලද හැකි වීම
2. වාක්‍ය නිර්මාණයේදී අවශ්‍ය ක‍්‍රියාපදය සොයා ගැනීමට හැකිවීම
3. ධාතු ගණ පිළිබඳ හා ඒ ඒ ධාතුව අයත් ධාතු ගණය හඳුනාගත හැකි වීම
4. ධාතු පිළිබඳ අවබෝධ කරගත හැකිවීම
5. ආඛ්‍යාතයෙන් ප‍්‍රකාශවන අර්ථය දැනගත හැකිවීම
6. අප අසා නැති, භාවිත කර නැති අලූත් ආඛ්‍යාත පද හඳුනාගත හැකිවීම
7. පාලි ව්‍යාකරණයෙහි හා වාක්‍ය සාධනයෙහි නිපුණයෙකු බවට පත්වීමට හැකිවීම
ආදිය දැක්විය හැකිය.
පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල
0715326935
No comments:
Post a Comment