Saturday, November 19, 2016



ලෝකයේ යථා ස්වරූපය අවබෝධ කර ගැනීමට හේතුඵල දහමේ උපයෝගිතාව 

පදියතලාවේ ඥානවිමල හිමි,

හැඳින්වීම
සම්බුදු රජාණන් වහන්සේ උපත ලැබූයේ ක්‍රිස්තු පූර්ව 06 වන සියවසේ භාරතයෙහි ය. උන්වහන්සේ ලොව පහළ වන විට එදා මිථ්‍යා මතවාද දෙසැටක් (62) තිබූ බව සෑම දෙනෙක් ම දන්නා ප්‍රකට කරුණකි. මෙම දර්ශනයන් එදා භාරතයේ ජීවත් වූ වැසියන් නො මඟට යවමින් ඔවුන්ගේ ජීවිත අඳුරට ම ඇද දැමූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවන් සමයක බුදුන් වහන්සේගේ පහළ වීම මිනිසත් බව ලැබූ අප සැමගේ වාසනාවකි. එකල විසු ප්‍රසිද්ධ යැයි සැලකෙන අන්‍ය ආගමිකයන්ගේ දර්ශනය අභිබවා බුදුන් වහන්සේ දේශනාකළ දහම භාරතය පුරා පැතිරෙන්නටත් එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ වටා විශාල ශ්‍රාවකයන් පිරිසක් බිහිවීමටත් බලපෑවේ උන්වහන්සේ ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ දර්ශනය යි. එහි අන්තර්ගත පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම බෞද්ධයින් වශයෙන් අප සෑම දෙනාට එදා මෙන් ම අදත් අද මෙන් ම හෙටත් අතිශය වැදගත් වේ. මන්ද යත් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන පරම නිෂ්ඨාව වන නිවන කරා යොමු කරවන මාර්ගය ඇත්තේ එහි නිසා ය. මෙම නිබන්ධනය මඟින් ඒ පිළිබඳ විවරණයක් කිරීමට උත්සාහයක් ගෙන ඇත්තෙමි.


ලෝකයේ ස්වභාවය අවබෝධ කරගැනීමට මඟ පෙන්වන හේතුඵල දහම
පටිච්චසමුප්පාදය යන්නෙහි සරල අදහස වන්නේ උපකාර කොටගෙන පහළ වීම යන්නයි. මෙහි ඇති පටිච්ච යන්නට පර්යාය පද ලෙස ත්‍රිපිටකයේ අන්තර්ගත සූත්‍රයන්හි හේතු, නිදාන, පච්චය, උපනිසා ආදී පද දක්නට පු`ඵවනි. ‘මේ මේ සාධකය මුල් කරගෙන මේ මේ සාධකයෝ උපදිත්’ යන අරුත ගැබ් වෙන බැවින් මෙයට හේතු-ඵල විමර්ශනය ලෙස ද හැඳින්විය හැකිය. ආදී බුදු දහමෙහි එන ප්‍රමුඛතම ඉගැන්වීම ලෙස පටිච්ච සමුප්පාදය සඳහන් කළ හැකිය. භාරතීය දර්ශන ඉතිහාසය තුළ මෙයට හිමිවන්නේ මුල් තැනකි. මේ සෑම කරුණකට ම හේතුව වන්නේ බෞද්ධ සිද්ධාන්ත සියල්ලක් ම ගොඩ නැගී ඇත්තේ මෙය  මුල් කරගෙන බැවිනි.
සත්‍ය සොයා යන ගමනේ දී උපතිස්ස පරිබ්‍රාජකයාට හමු වූ පස්වග මහණුන්ගෙන් එක් අයෙකු වන අස්සජි මහ රහතන් වහන්සේත් සඳහන් කළේ මෙම කරුණය ය.
යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතු තථාගතෝ ආහ
තේසං ච යෝ නිරෝධෝ
ඒවං වාදී මහා සමණෝ
මෙහි අදහස වන්නේ හේතුවෙන් හටගත් යම් දහමක් වේ ද ඒවායේ හේතු ද ඒවායේ නැතිවීම ද තථාගතයන් වහන්සේ දේශනා කළ සේක. මහා ශ්‍රමණයන් වහන්සේ එබඳු ය, යන්නයි.
තමන් වහන්සේ කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් බව සම්බුදු හිමියන් අරිය පරියේසන සූත්‍ර දේශනාවෙන් ද පෙන්වා දී ඇත.  සත්ත්වයා සසර සැරිසරන්නේ මේ දහම අවබෝධ කර ගැනීමට නොහැකි වීමෙන් බව දිනක් ආනන්ද තෙරුන් වහන්සේ සමඟ ඇති වූ සාකච්ඡාවක දී දේශනා කළ පහත දේශනාවෙන් පිළිබිඹු වේ.
“ආනන්දය මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරු ය. ගැඹුරු වූ බැස ගැනීම ඇත්තේ ය. ආනන්දය මේ දහම නො දැනීම. ප්‍රතිවේධ නො කිරීම නිසා මේ සත්ත්වයෝ මීයන් විසින් කපා දමන ලද නූල් පන්දුවක් මෙන් අවුල් ව ගියෝ රෙදි වියන්නන්ගේ නූල් පන්දුවක් සේ අවුල් ව ගියෝ තණ පත්වලින් අඹරන ලදුව දිරා ගිය කඹයක කෙඳිමෙන් අවුල් ව ගියෝ සැපයෙන් තොර වූ දුක් සහිත පැවතුම් ඇති දුගතිය ද සසර ද නො ඉක්මවත්.”
ඉහත සඳහන් කළ පරිදි පෙන්වා දෙන වැදගත් කරුණක් ඇත. එනම්,
“යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යො ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති”  (යමෙක් පටිච්චසමුප්පාදය දකී ද හෙතෙම ධර්මය දකී, යමෙක් ධර්මය දකී ද හෙතෙම පටිච්චසමුප්පාදය දකී.) යන්නයි.
බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ සේ සසරෙඑහි මැරි මැරී දුක් විඳින සත්තවයා සසරින් මුදවාලීමේ අතිමානුෂීය මෙහෙවරෙහි නියුක්ත වීම පිණිසයි.
මේ අනුව ආදී බුදු දහමෙහි ප්‍රමුඛතම අපේක්ෂාව වූ දුක්ඛ නිස්සරණය පිණිස අවශ්‍ය යථාභූත ඥානය උපදවන දහම වශයෙන් පටිච්ච සමුප්පාදය එහි ප්‍රතිෂ්ඨාව මෙන් ම හරය ලෙස සැලකිය යුතුය. බුද්ධ ධර්මය අවබෝධ කිරීම යනු පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීමයි. කෙළෙස් වලින් භරිත වු මේ ප්‍රජාවට මෙම පටිච්ච සමුප්පාද දර්ශනය අවබෝධ කර ගැනීමට දුෂ්කර බව බුදුන් වහන්සේ කල්පනා කළ බව සඳහන් වෙයි.
“මහණෙනි, මේ අදහස මට ඇති විය. මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට අපහසු ය. ශාන්ත ය. ප්‍රනීත ය. තර්කයෙන් බැසගත් නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. මේ ප්‍රජා තොමෝ පඤ්චකාම ගුණ සංඛ්‍යාත ආලයන්හි රමණිය කරන්නේ ය. එහි ඇ`ඵනී ය. එහි මැ සතුටු වන්නී ය. ඒ මේ ප්‍රජාව වූ කලී යම් මේ ඉධප්පච්චයතා පටිච්ච සමුප්පාද සංඛ්‍යාත වූ ධර්මය වටහා ගන්නට අසමත් වන්නී ය”.
බුද්ධ ධර්මයෙහි පෙන්වා දෙන අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව යනාදී මූල ධර්මයන්හි පදනම පටිච්ච සමුප්පාදය යි. එමඟින් ප්‍රකාශ වන්නේ සංඛ්‍යාත ධර්මයන්ගේ ස්වභාවය යි. මෙහි ඉධප්පච්චතා යන්නෙන් පෙන්වා දෙන්නේ ධර්මය සඳහා වූ අතිරේක නාමයකි. අවිද්‍යාවෙන් අන්ධව සිටින පෘථග්ජන ලෝකයාට දැකීමට දුෂ්කර වූ මෙම ධර්මය බුදුවරුන් විසින් ප්‍රකට කරනු ලැබේ. එහිදී,
ලෝකයෙහි තථාගතවරුන් උපන්න ද නූපන්න ද ධර්මස්ථිතියක් ධර්ම නියාමයක් වූ ඉධප්පච්චතා පටිච්ච සමුප්පාදය ලොව පවතියි. තථාගත තෙමේ එය අවබෝධ කර ගනී. අභිසමය කෙරෙයි. අවබෝධ කොට අභිසමය කොට දේශනා කෙරෙයි. දක්වයි. පණවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කරයි. බලව යැයි වදාරයි.
මෙසේ වුව ද පටිච්ච සමුප්පාද ධර්මය බුදුවරුන්ගේ නිර්මාණයක් නොවෙයි. බුදුවරයෙකු පහළ වූවත් නොවුවත් ලෝකය පවතින්නේ මේ දහමට අනුවයි.  වරින්වර ලෝකයේ පහළ වන බුදුවරු ඒ ධර්ම න්‍යාය අවබෝධ කර ගෙන ලෝකයට පෙන්වා දෙති. ඒ නිසා මේ ධර්මය ලොව පවතින නියාමයක් ලෙස හැඳින්වෙයි. එහි ඇතුළත් ලකෂණ 04ක් ද සම්බුදු හිමියන් විසින් ම පෙන්වා දෙන ලදී.
තථතා
අවිතථතා
අනඤ්ඤතා
ඉදප්පච්චයතා යනු ඒ 04 යි.

(“උප්පාදා වා තථාගතං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා. තං තථාගතෝ අභිසම්බුජ්ඣති, අභිසමේති, අභිසම්බුජ්ක්‍ධිත්වා අභිසමෙත්වා ආචික්ඛති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානීකරෝති. පස්සාථාති චාහ. අවිජ්ජා පච්චයා භික්ඛවේ සංඛාරා ඉති ඛෝ භික්ඛවේ යා තත්‍ර තථතා අවිතථතා අනඤ්ඤතා ඉදප්පච්චයතා අයං වුච්චති භික්ඛවෙ පටිච්ච සමුප්පාදෝ” )
මෙහි පෙන්වා දෙන තථතා යනු හෙුතුවකින් ඵලයක් ඇතිවන බවයි. අවිතථතා යනු හෙුතු තිබෙන විට ඒවාට අදාළ ප්‍රතිඵල ලැබෙන බවයි. එය වෙනස් නොවන බවයි. අනඤ්ඤතා යනුවෙන් පෙන්වා දෙන්නේ හෙුතුවට අදාළ ප්‍රතිඵල වෙනස් ඒවා නොලැබෙන බවයි. ඉදප්පච්චයතා යනු සෑම ක්‍රියාකාරීත්වයක් ම හේතු ප්‍රත්‍ය අනුව ම සිදුවන බවයි. හටගැනීම ද නිරෝධය ද යන දෙක ම එහි ස්වභාවය බවයි.
ආගම් අතරින් බුදු දහමට විශේෂ තැනක් හිමිවන අතර ම පටිච්ච සමුප්පාද ධර්මයට ද මුල් තැනක් ලැබී තිබෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙන ය. ඒ දෙක නම්,
පටිච්ච සමුප්පාදය මගින් දේව නිර්මාණවාදය ප්‍රතික්ෂේප කිරීම
ආත්ම සංකල්පය බැහැර කිරීම
බ්‍රාහ්මණ,යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දේව නිර්මාණවාදී ආගම් ය. එනම් ඊශ්වරයෙකු විසින් ලෝකය මවන ලද බව පිළිගන්නා ආගම් ය. මැවුම්කාර දෙවියන්ගෙන් තොරව ලෝකය පවතින ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් හෙළි කෙරෙයි. මිනිසා තුළ ආත්මයක් ඇතැයි ද මේ ආගම් සියල්ල ම පිළිගනියි. බුදු සමය ආත්මයක් නැතැයි ද කියයි. දෙවියන් වහන්සේ ද ආත්මය ප්‍රතික්ෂේප කරන ඇතැම් ආගමක් ලෝකය ද මිනිසා ද හෙුතුවක්, ප්‍රත්‍යයක් නැතිව ඉබේ පවතින බව ප්‍රකාශ කරයි. දෙවියන් වහන්සේ ද ආත්මය ද ප්‍රතික්ෂේප කරන බුදු දහම මිනිස් ක්‍රියාවලට හේතුවක් ප්‍රත්‍යයක් නැතැයි යන්න ද බැහැර කරයි. ලෝකයේ පැවැත්ම ද ජීවිතයේ ක්‍රියාකාරීත්වය ද සිදුවන නීතිය පටිච්ච සමුප්පාද ධර්මය බව බුදු දහම පෙන්වා දෙයි.
තමන් වහන්සේ දේශනා කර ඇත්තේ දුක ද දුක නැති කිරීම ද ගැන පමණත් බව බුදු හාමුදුරුවෝ වදාළහ.  මේ නිසා දුක ඇතිවන ආකාරය ද දුක නැති කිරීමේ මාර්ගය ද බුදු දහම මගින් පෙන්වා දිය යුතුව තිබේ. මේ අනුව දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති බව, දුක නැති කිරීමේ මාර්ගය යන කරුණු හතර විස්තර කිරිමට දහම කැපවෙයි. වතුරාර්ය සත්‍යය යනු මේ කරුණු හතරයි. මේ විවසුතර කිරීම සඳහා යෙදා ගෙන ඇති න්‍යාය ධර්මය පටිච්ච සමුප්පාදය යි. අචේල කස්සප නම් වූ බමුණෙකු හා බුදුරජාණන් වහන්දේ අතර ඇති වූ කතාබහකින් මේ කරුණ වඩාත් හොඳින් ප්‍රකට වෙයි. දිනක් බුදු රදුන් හමු වූ අචේල කස්සප මේ අයුරින් කතාවට මුල පිරුවේ ය.
අචේල කස්සප :- භාග්‍යවතුන් වහන්ස ඔබ  වහන්සේගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
භාග්‍යවතුන් වහන්සේ :- අහන්න, කාශ්‍යප.
අචේල කස්සප :- ගෞතමයන් වහන්ස, දුක තමා විසින් කරන ලද්දක් ද ?
භාග්‍යවතුන් වහන්සේ :- නැත, කාශ්‍යප.
අචේල කස්සප :- දුක අනුන් විසින් කරන ලද්දක් ද ?
භාග්‍යවතුන් වහන්සේ :- නැත, කාශ්‍යප.
අචේල කස්සප :- දුක තමන් විසින් හා අනුන් විසින් කරන ලද්දක් ද ?
භාග්‍යවතුන් වහන්සේ :- නැත, කාශ්‍යප.
අචේල කස්සප :- දුක තමන්  විසින් හෝ අනුන් විසින් හෝ නො කරන ලදුව ඉබේ ම හට ගත්තක් ද ?
භාග්‍යවතුන් වහන්සේ :- නැත, කාශ්‍යප.
අචේල කස්සප :- දුක යනුවෙන් කිසිවක් නැද්ද ?
භාග්‍යවතුන් වහන්සේ :- එසේ නොවෙයි කාශ්‍යප. දුක ඇත්තක් මයි.
අචේල කස්සප :- දුක ගැන මගේ හැම ප්‍රශ්නයකට ම නැත යනුවෙන් පිළිතුරු දෙන ඔබ වහන්සේ දුක ඇතැයි ද කියති. එසේ නම් ඒ දුක ගැන ඔබ වහන්සේ නො දන්නෙහි ද? නො දකින්නෙහි ද?
භාග්‍යවතුන් වහන්සේ :- කාශ්‍යප, මම දුක දකිමි.
අචේල කස්සප :- එසේ නම් ගෞතමයන් වහන්ස මට දුක ගැන කියා දෙනු මැනවි.
මෙහි දී බුදු රදුන්ගේ පිළිතුර පිළිබඳ විමසීමට ප්‍රථම මෙතෙක් කළ සංවාදයෙන් මතු වූ කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් ය. බුදු සමය පහළ වීමට ප්‍රථම දුක්ඛ සමුදය ගැන භාරතයේ පැතිර තිබූ සියලු ආගමික ලක්ෂණ කැටිකොට අචේල කස්සප මෙහි දී ප්‍රශ්න නැඟූ බව පෙනේ. මෙහි එන අදහස් ශීර්ෂ 04කට ගොනු කර දැක්විය හැකිය.
01. සයංකත වාදය :- දුක තමා විසින් ම කරන ලදැයි යන මතය. මේ අනුව ක්‍රියා කරන්නා ද ප්‍රතිඵල ලබන්නා ද එක් අයෙක්මයි. වේද ග්‍රන්ථවල මේ අදහස එයි. උපනිෂද්වල ආත්මය අනුව මෙය පිළිගැනෙයි. වරෙක ක්‍රියාවක් කරන ආත්මය පසුවව ඊට ලැබෙන විපාක විඳියි. එවිට ක්‍රියාව කරන්නා ම ප්‍රතිඵල විඳියි යන්න සිදු වෙයි.
02. පරංකත වාදය :- දුක අනුන් විසින් කරන ලදැයි යන මතය ගත් ආගමික චින්තන පහක් තිබුණු බව මෙහි දී පෙනේ.
කාල වාදය -   කාලය අනුව සියල්ල සිදුවන බව
නිර්මාණ වාදය - ඊශ්වරයෙකු විසින් ලෝකය මවන ලද බව
ස්වභාව වාදය - හැමදේ ම ස්වභාවයෙන් සිදු වන බව
කර්ම වාදය - වෙනස් ක නොහෙන පැරණි කර්මය අනුව හැමදේ ම සිදුවේ යන්න පිළිගන්නා බව
නියති වාදය - ඉරණම, දෛවය, ජාතිය හෙවත් වර්ගය අනුව හැමදේ ම සිදුවන බව
03. සයංකත හා පරංකත වාදය :- ජෛන දර්ශනය මෙබඳු ය. පුද්ගලයාගේ අතීත කර්ම බාහිර බලවේගයක් ලෙස ක්‍රියා කරයි. වර්තමාන කර්ම තමන් විසින් ම කරන දේ ය.
04. අසංකත අපරංකත වාදය හෙවත් අධිච්ච සමුප්පන්න වාදය :- කිසිඳු ආකාරයක හේතුඵල සම්බන්ධයක් නැත. සියල්ල ඉබේ සිදුවෙයි යන මතය.
මේ සතර ආකාරයේ ම මත ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ අචේල කස්සපට මෙසේ වඳාළ සේක.
ක්‍රියාව කරන්නා ම ප්‍රතිඵල භුක්ති විඳියි යන්න සඳහන් කිරීම ශාස්වත දෘෂ්ටිය යි. (එනම් පුද්ගලයා තුළ දිගින් දිගට ම අඛණ්ඩව ම ආත්මයක් ඇතැයි පිළිගැනීමයි.) එය එක අන්තගාමි බවකි. අනෙකෙක් ක්‍රියා කරයි. අනෙකෙක් භුක්ති විඳියි යයි කීම උච්ඡේද දෘෂ්ටිය යි. එය අනෙක් අන්තය යි. මේ අන්ත දෙක බැහැර කොට තථාගතයන් වහන්සේ මධ්‍ය වූ මාර්ගයකින් ධර්මය දේශනා කරන්නේ ය.
මෙහි දී බුදුන් වහන්සේ එම ක්‍රමවේදය අචේල කස්සපට පෙන්වා දී ඇත්තේ මෙසේ ය.
අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදන පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.
අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හටගනියි. සංස්කාර හේතුකොට ගෙන විඤ්ඤාණය හටගනියි. විඤ්ඤාණය හේතුකොට ගෙන නාමරූප හටගනියි. නාමරූප හේතුකොට ගෙන සළායතන හටගනියි. සළායතන හේතුකොට ගෙන ස්පර්ශය හටගනියි. ස්පර්ෂය හේතුකොට ගෙන වේදනාව හටගනියි. වේදනාව හේතුකොට ගෙන තණ්හාව හටගනියි. තණ්හාව හේතුකොට ගෙන උපාදානය හටගනියි. උපාදානය හේතුකොට ගෙන භවය හටගනියි. භවය හේතුකොට ගෙන ජාතිය හටගනියි. ජාතිය හේතුකොට ගෙන ජරාමරණසෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාස යන දුක් රැස ම හටගනියි.
ඉහත පෙන්වා දුන් අයුරින් ම දුක නැතිවීමට ක්‍රියා කරන විට සිදුවන බව පෙන්වා දී ඇත. එය පැහැදිලි කරමින් අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ෂය නැතිවෙයි. ස්පර්ෂය නැතිවිමෙන් වේදනා නැතිවෙයි. වේදනා නැතිවීමෙන් තණ්හා නැතිවෙයි. තණ්හා නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැති වීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාස ආදී සියලු දුක් රැස නැතිවෙයි.
මේ අනුව දුක ඇති වීම ද නැතිවීම ද හේතුඵල අනුව ම සිදුවන බව මනා කොට ප්‍රත්‍යක්ෂ ය. මෙම දහම බුදුන් විසින් ම දේශනා කරන දහමකි. ලෝකයේ පවතින අන් ආගම් අතරින් වෙන් කොට හඳුනාගත හැකි ප්‍රධානතම ලක්ෂණය වන්නේ බුදු දහමෙහි මේ ඉගැන්වීමයි.
(ත්‍සරිඑ යැ බැැාි එද ජදසබ ිදපැ බැඅ එැරපි එද ැංචරුි යසි මබාැරිඒබාසබට දf එයැ සාැ්ි රුක්එසබට එද සපචැරප්බැබජැ:්බසජජ්* අයසජය අ්ි එයැ ජදරබැර ිඑදබැ දf යසි චයසකදිදචයහග ඔයසි සි ඉැජ්මිැ එයැ චරුඩ්සකසබට එැරපසබදකදටහ දෙර ජය්බටැ ්බා ජ්මි්එසදබ ඇරු මෙකක දf ිමඉිඒබඑස්කසිඑ ්බා ැඑැරබ්කසිඑ :ි්ි්ඒ* දර ැිැබඑස්කසිඑ ්බා බසයසකසිඑ :මජජයැා්* සපචකසජ්එසදබිග ඔයැ පදිඑ සපචදරඒබඑ ්පදබට ් ාද‘ැබ ිමජය බැඅකහ ජදසබැා එැරපැි ්රු ච්එසජජ්ි්පමචච්බබ්ලචඑසජජ්ි්පමචච්ා් ්බා සා්චච්ජජ්හ්)

පටිච්ච සමුප්පාදය තුළින් විග්‍රහ වනුයේ දුක්ඛ සමුදය සත්‍යය යි. එහි එන අංග දොළොස විභංග සූත්‍රයෙහි විස්තර කර ඇති ආකාරය මෙසේ ය.
අවිජ්ජා යනු :- නො දැනීමයි. කුමක් නො දැනීම ද? දුක, දුක හටගනුනා හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන කරුණු ෂතර නො දැනීමයි. එනම් චතුරාර්ය සත්‍යය නො දැනීමයි.

සංඛාර යනු :-  කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර යන තුන් ආකාරයෙන් දැකිවෙන සකස් කර ගැනීම් ය.


විඤ්ඤාණ යනු :-  චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය මන යන සය ආකාරයෙන් පහළ වන සිත් ය.

නාම රූප යනු :-  නාම වේදනා සඤ්ඤා චේතනා ඵස්ස මනසීකාර යන පසයි. රූප පඨවි ආපෝ තෝජෝ වායෝ යන සතර මහා භුත රූප හා ඒවා නිසා හටගැනෙන උපාදාය රූප විසි හතරයි.


ඵස්ස යනු :-  චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය මන යන ආයතන සයයි.

වේදනා යනු :-  ඉන්ද්‍රය ය හා අදාළ අරමුණු සය ස්පර්ශ කිරීමයි.


තණ්හා යනු :-  රූපාදී අරමුණු සය කෙරෙහි ඇතිවන තෘෂ්ණාවයි.

උපාදාන යනු :-  සිතින් දැඩි මෙස් අල්ලා ගැනීමයි. කාම දිට්ඨි සීලබ්බත අන්තවාද යනුවෙන් උපාදාන සතරාකාරය යි.


භව යනු :-  කාම රූප අරූප යන ත්‍රිවිධ භවයයි.

ජාති යනු :-  ඒ ඒ සත්ත්ව නිකායෙහි හටගැනීමයි. පිළිසිඳ ගැනීමයි. ඉපදීමයි. ස්කන්ධ පහළ වීමයි. ආයතන පිහිටීම යි.


ජරා යනු :-  දිරා යාමයි. දත් වැටීම, කෙස් පැසීම, ඇඟ රැලි වැටීම, ආයුෂ පිරිහීම, ඉන්ද්‍රය මෝරා යාම, වයස් ගත වීම යන දුක් රැසයි.

මරණ යනු :-  ඒ ඒ සත්ත්වයන් තම තමන් තම තමන් අයත් සත්ත්ව නිකායෙන් වෙන්වීම ඉවත් වීම මිය යාම ශරීරය හැර දැමීම ජීවිතීන්ද්‍රය සිඳී යෑම අතුරුදන් වීමයි.


සෝක යනු : - සිතින් විඳින දුකයි. පරිදේව යනු වැලපීම් ය. දුක්ඛ යනු කායික දුක් ය. දෝමනස්ස යනු සිතේ ඇතිවන කනස්සලු ස්වභාවය යි. උපායාස යනු දුක් විඳීම නිසා ඇතිවන දැඩි වෙහෙසයි.
පටුච්ච සමුප්පාදය දන්නා තැනැත්තා ධර්මය දකින බවත් ධර්මය දකින තැනැත්තා බුදුන් දකින බවත් ත්‍රිපිටකයේ සඳහන් වේ.  මෙයින් ලොව පවත්නා ප්‍රතීත්‍ය සමුත්පාදයේ තත්ත්වය පෙනෙයි. තවත් සත්‍යයක් ඉන් අපට පෙන්වා දෙයි. එනම්, සත්ත්වයා සසර සැරිසරන්නේ ප්‍රතීත්‍ය සමුත්පාදය නො දන්නා බව නිසාය යන්නයි.   මේ ආකාර වටිනාකමක් සහිත ප්‍රතීත්‍ය සමුත්පාදයේ මූලධර්ම අවස්ථාව පිළිබඳ අපි විමසා බලමු.
අංග දොළොසකින් සමන්විත ආකාරය හැරුණු විට වෙනත් ක්‍රමවලින් ද ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය විස්තර වෙයි. ද්වාදශාංගයට මුලින් මූලික සූත්‍රයක් වශයෙන් ගාථාවක් තූළ එය ඇතුළත් වන්නේ මෙසේ ය.
අස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
අස්මිං අසති ඉදං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති
මෙහි තේරුම වන්නේ,
මෙය ඇති විට මෙය ඇති වෙයි.
මෙය ඉපදිමෙන් මෙය උපදියි.
මෙය නැති විට මෙය නො වෙයි.
මෙය නැති වීමෙන් මෙය නැති වෙයි,
යන්න යි. මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම පිණිස මෙසේ සඳහන් කිරීම වටී.
් ඇතිවිට ඊ ඇති වෙයි.
් උපදීමෙන් ඊ උපදියි.
් නැති විට ඊ නොවෙයි.
් නැතිවීමෙන් ඊ නැති වෙයි.
පටිච්ච සමුප්පාද ධර්මයේ සාරය ලෙස සඳහන් කළ හැකි මෙම මූලික නිර්දේශය සාධාරණ ස්වරූපයෙන් පළවූවකි. එබැවින් විවිධ අරමුණු උදෙසා අභිමත පරිදි උපයෝගි කර ගත හැකිය. මූලික දේශනාවන්හි විවිධ අවස්ථාවල එසේ උපයෝගි කර ගන්නා ලද බව ද පෙනෙයි. ප්‍රමුඛ වශයෙන් ම සන්තාන ගත දුක පිළිබඳ යථාර්ථය ප්‍රකට කෙරෙනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් ද්වාදශාංගික දේශනාවෙහි මෙම මූල ධර්මය භාවිත කර ඇත. මෙහි ඉමස්මිං සති ඉදං හෝති යන න්‍යාය යටතේ අවිද්‍යා සංඛාර, විඤ්ඤාණ, නාම රූපාදී හේතු ප්‍රත්‍යයන්ගේ අන්‍යෝන්‍ය උපකාරීත්වයෙන් සංසාරගත වූ ජාති, ජරා මරණාදී දුක් උපදනා ආකාරය අනුලෝම දේශනාවෙන් ප්‍රකාශිත ය. එසේ ම අවිද්‍යා, සංස්කාර, විඤ්ඤාණ, නාමරූපාදී හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ජරා මරණාදී දුක් නිරුද්ධ වන ආකාරය ප්‍රතිලෝම දේශනාවෙත් ප්‍රකාශිත ය.
මේ මූල සූත්‍රයෙහි දාර්ශනික අගය ප්‍රකට වන තවත් කරුණක් මෙහි දී පෙන්වා දිය යුතු ය. මේ ගාථාවෙහි 1 සහ 3 පාද වලින් කියැවෙන්නේ එක් ආකාරයක හේතු-ඵල සම්බන්ධතාවකි. 2 සහ 4 පාදවලින් කියැවෙන්නේ තවත් ආකාරයක හේතු-ඵල සම්බන්ධතාවකි. ඒ ඇති විට බී ඇති වෙයි යන්නෙත් ඒ නැතිවිට බී නැතිවෙයි යන්නෙත් ප්‍රකට වන්නේ හේතුවත් ඵලයත් එකවරම දැකිය හැකි ආකාරයේ සම්බන්ධතාවකි. හේතුව පෙනෙන විට ඵලය පෙනීමත් ඵලය පෙනෙන විට හේතුව පෙනීමත් මෙහි ස්වභාවය යි. මෙය සරළ උපමාවකින් විස්තර නරන්නේ නම්, බට ලී මිටි දෙකක් කෙළින් සිටුවා තැබිය හැක්කේ එකක් අනෙකට හේත්තු කර තැබීමෙනි. එයින් එක් බට ලීයක් වැටුණහොත් අනෙක ද වැටේ. නාමරූප හා විඤ්ඤාණය ද ඊට සමාන ය. මේ උපමාව පෙන්වා දෙන්නේ නළකලාප සූත්‍රයෙහි ය. සත්තධාතු සූත්‍රයෙහි ද උපමාවකින් නාම රූප හා විඤ්ඤාණය අතර බවතින සම්බන්ධය පෙන්වා දෙන්නේ මෙසේ ය. ආලෝකය හා අන්ධකාරය සුභ හා අසුභ සම්බන්ධය ද ඒ ආකාරම ය. එසේ ම ආකාස යන්නෙන් අර්ථවත් වන්නේ රූප නිසා ය. මෙවැනි සම්බන්ධතාවට සාපේක්ෂ සම්බන්ධතාව ලෙස නම් කෙරේ. අරියසාවක සූත්‍රයේ අවිද්‍යාව ඇති කල් හි සංස්කාර ඇති වෙයි සංස්කාර ඇති කල්හි විඤ්ඤාණය වෙයි ඈ විසින් මේ ආකාරයට පටිච්ච සමුප්පාදයෙහි ද්වාදස අංගය ම කියනු ලැබේ.
මූලික සූත්‍රහෙි පෙන්වා දෙන පරිදි 2 හා 4 පාද වලින් කිසියම් පෙර පසු බවක් ඇති හේතු-ඵල සම්බන්ධය දැක්වෙයි. එය බීජ න්‍යායට උපමා කොට දැක්විය හැකි ය. “යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵළං” යන්නෙන් පෙන්වා දෙන ආකාරයට යම් සේ බීජ වපුරන්නේ ද ලබා ගන්නා අස්වනු ද ඒ ආකාරම ය. අඹ ඇටයක් සිටුවීමේ දී අස්වැන්න ලෙස අඹ ගෙඩි ලබයි. වී සිටුවීමෙන් අස්වැන්න ලෙස ගොයම් ලැබෙයි. ඒ ආකාරයට ම මව්පියන්ගේ හැඩරුව දරුවන්ට ලැබීම පෙන්වා දිය හැකි ය. එය ජීව විiාත්මක න්‍යායකි. දෙමාපියන්ගෙන් දරුවන්ට එය ඒ ආකාරයට ම පිළිගැනෙයි.මෙහි සදාචාරාත්මක හේතුඵල සම්බන්ධය ද ඒ සමඟම සූත්‍රයේ පෙන්වා දී ඇත. කළ්‍යාණකාරී කළ්‍යාණං පාපකාරී ච පාපකං යහපත් ක්‍රියා කරන තැනැත්තා යහපත් ප්‍රතිඵල ලබනා බවත් පාපකාරී අනර්ථ ක්‍රියා කරන තැනැත්තා අයහපත් විපාක ලබන බවත් එමඟින් ප්‍රකාශිත ය.
නියාම ධර්ම ක්‍රියාත්මක වීමේ දී ඒවා ක්‍රියා කරන අන්දම ආකාර 5කින් විස්තර වේ. මෙහි දී සඳහන් උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම යන පහ අතුරින් ඉහතින් පෙන්වා දෙන්නට යෙදුනේ කම්ම නියාමය හා බීජ නියාමය යි(නියාමො ච නාමෙස කම්ම නියාමො, උතු නියාමො,බීජ නියාමො,චිත්ත නියාමො,ධම්ම නියාමො’ති).  මධුපිණ්ඩික සූත්‍රයෙහි ප්‍රපංචකරණ ක්‍රියාවලියෙන් පෙන්වා දෙනු ලබන්නේ චිත්ත නියාමයේ ස්වරූපය යි. ධම්මපදසේ සඳහන් දූරංගමං ඒකචරං යන ගාථානේ පෙන්වා චෙන්නේ ද චිත්ත නියාමය යි.
තම ජීවිතයේ යෙදෙන විවිධ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට පටිච්ච සමුප්පාද න්‍යාය භාවිත කළ බව මහානිධාන සූත්‍රයාදී විවිධ සූත්‍ර සාක්ෂ්‍ය දරයි. මහානිධාන සූත්‍රයෙහි සමාජ යථාර්ථය පෙන්වා දීම සඳහා භාවිත කර ඇත. එහි සඳහන් ආකාරයට මිනිසා තම ප්‍රත්‍යය උපයෝගි කොට ගෙන පහළ කරගන්නා වූ තෘෂ්ණාව නිසා විවිධාකාරයෙන් ලෞකික වූ දේ ලබාගනී. (වේදනං පටිච්ච තණ්හා පටිච්ච පරියේසනා) මෙසේ සොයමින් විවිධ වූ දේ ලබා ගනී. තණ්හං පටිච්ච පරියේසනා) අනතුරුව එසේ ලබා ගන්නා දේ විනිශ්චයට හෙවත් තක්සේරුවට භාජනය කරගනී.(ලාභං පටිච්ච විනිද්ධයෝ) මේ ඇති කරගන්නා වූ විනිශ්චය නිසා ම ලෞකික දේ පිළිබඳ ඡන්දරාගය ඇති වේ.(විනිච්චයං පටිච්ච ඡන්දරාගෝ) එසේ ඡන්දරාගය නිසා ම අයත් කර ගැනීම යන හැඟීම පහළ වේ.(අජේකත්වාසතං පටිච්ච පරිගාහො) අයත් කර ගැනීම නිසා මසුරු  බව ඇති වේ.(පරග්ගහං පටිච්දච මච්ඡරියං) මසුරු බව නිසා ආරක්ෂාව වේ.(මච්ඡරියං පටිච්ච ආරක්ඛො) මෙම ආරක්ෂක විධිවිධාන නිසා දඬු ගැනීම අවි ගැනීම කලහ ඇති වීම ආදී දේ සිදු වේ. මේ නිසා මෙහි දී මහා නිධාන සූත්‍රය භාවිත කරමින් සමාජයේ විවිධ අකුසල කර්ම ද කලකෝලාහල ද ඇතිවන ආකාරය පෙන්වා දී ඇත.
දීඝ නිකායෙහි අන්තර්ගත චක්කවත්තිසීහනාද, අග්ගඤ්ඤ ආදී සූත්‍රවල පෙන්වා දීමට උත්සාහ කරන්නේ සමාජ විෂමතා පිළිබඳව ය. ඒ අනුව නිසි දේ නිසි පුද්ගලයින්ට මනා ලෙස නොලැබීම නිසා ඇති වන සමාජ විසංවිධානකාරී බව මෙහිදී මොනවට පැහැදිලි වේ.
“අධනානං ධනෙ අනුපදීයමානේ දාළිද්දියං වේපුල්ල මගමාසි.
දාළිද්දියං වේපුල්ලගතේ අදින්නාදානං වේපුල්ල මගමාසි.
අදින්නාදානං වේපුල්ලගතේ මුසාවාදො වේපුප්ප මගමාසි.
මුසාවාදෙ වෙපුල්ලගතේ සත්ථං වෙපුල්ල මගමාසි.”
මේ ආදී කරුණු වලින් සමාජයේ නැති බැරි පිරිසක් හා ඇති හැකි පිරිසක් නිර්මාණය වූ බව පෙන්වා දෙන අතර ම එහි දී ධනය නොමැති වීමෙන් දිළිඳු බවටත් දිළිඳු බව නිසා සොරකමටත් සොරකම වැඩිවීම මත බොරුකීම වැඩිවූ බවත් බොරුව නිසා ආයුධ ඇතිවූ බවත් ඒ නිසා ම තර්ජන ගර්ජන මෙන්ම මිනීමරා ගැනීම් ආදී බිහිසුණු ක්‍රියා ඇති වූ බවත් පෙන්වා දෙයි. මේ අනුව මහා නිධාන සූත්‍රයේ දී සමාජ ගැටලු විෂයෙහි මිනිස් සන්තානය බලපාන අයුරු පෙන්වා දෙන්නා සේ ම චක්කවත්ති සීහනාද සූත්‍රය් දී සමාජ ගැටලු විෂයෙහි සාධකයක් වූ ආර්ථිකය හා දේශපාලන වාතාවරණය පිළිබඳව පැහැදිලි කිරීමක් දැකිවෙයි.
මේ අතර අග්ගඤ්ඤ සූත්‍රයෙහි පටිච්චසමුප්පාද න්‍යාය යොදාගන් ලබන්නේ මිනිස් සමාජයේ ප්‍රභවය හා එහි පරිණාමය ද ඔස්සේ විවිධ විෂමතාවන් හා සංකීර්ණතාවන් ද හටගත් බවයි. එහි දී සමාජ ගැටලු සඳහා බලපාන මානසික සාධක මෙන් ම භෞතික සාධකයන් ද පෙන්වා දී තිබේ. එසේ ම සමාජ පරිණාමය පිළිබඳව ද පෙන්වා දී තිබේ. සංයුත්ත නිකායේ උපතිසා සූත්‍රයේ පටිච්ච සමුප්පාද න්‍යාය ස්වාභාවික භෞතික ක්‍රියාකාරීත්වය උපමා කොට ගනිමින් සසර දුක පිළිබඳ විස්තර කිරීමක් කර ඇත.
 “මහණෙනි කඳු මුදුනක මහත් දිය බිඳු සහිත වැස්ස වස්නා කල්හි ඒ දිය පහත් බිම් අනුව පවත්නේ කඳු බෑවුම් පළි විවර හා කුඩා දිය අගල් යම් සේ පුරවා ද කඳු බෑවුම් පැලි විවර හා කුඩා දිය අගල් පිරුණාහු කුඩා වළවල් පුරවත් ද කුඩා වළවල් පිරුණාහු මහගංගා පුරවත් ද  මහා ගංගා පිරුණාහු මහ මුහුද පුරයවත් ද එපරිද්දෙන් ම සංස්කාරයෝ අවිiාව ප්‍රත්‍ය කොට ඇත්තාහ. විඤ්ඤාණය සංස්කාර ප්‍රත්‍ය කොට ඇත්තාහ. නාමරූප විඤ්ඤාණය ප්‍රත්‍ය කොට ඇත්තාහ.”
මජ්ක්‍ධිම නිකායේ අග්ගි වච්චගොත්ත සූත්‍රයේ දී දස අව්‍යාකෘතයන්හි අගට යෙදුණු චතුෂ්කෝටික භාවිතයන්ගෙන් ද මතු කෙරුණු තථාගත පිළිබඳ ප්‍රශ්න විවරණය කළ බුදුරජාණන් වහන්සේ එහිදී ද භෞතික ධර්මයන් උපමා කොටගත් සේක.  මෙහි දී උපමා කොට ගත්තේ ගින්න ය. “වත්සය තොප ඉදිරියේ යම් ගින්නක් දැල්වේ ද ඒ ගින්න කුමන ප්‍රත්‍යකොට දිළිසේ ද භවත් ගෞතමයෙනි මා හමුවයි යම් ගින්නක් දැල්වේ ද ඒ ගින්න තණ පරඬැල් උපාදාන කොට දිළිසේ. වත්සය තොප ඉදිරියේ යම් ගින්නක් නිමේ නම් ඒ ගින්න මා හමුවෙහි නිවිළෙැයි දත්තාහු ද?”
ආදී ලෙස පෙන්වා දී ඇත. වාසෙට්ඨ සූත්‍රයේ දී රැකියාව හෝ ක්‍රියාව අනුව පුදුගලයින් වර්ග කෙරෙන අයුරු දීර්ඝ වශයෙන් විස්තර කෙරෙයි. මෙහිදී ද පෙන්වා දෙන්නේ සමාජය සැකසී ඇත්තේ ප්‍රතීත්‍ය සමුප්පාදය මුල් කරගනිමින් බවයි.

ඒවමේතං යථාභූතං කම්මං පස්සන්ති පණ්ඩිතා
පටිච්චසමුප්පාදදසා කම්මවිපාක කොවිදා
හේතුඵල දහම දකින්නා වූ කර්ම විපාක තේරුම් ගැනීමෙහි දක්ෂ වූ නුවණැත්තෝ මේ ආකාරයට එම කර්මය පිළිබඳ ඇති තතු එලෙස ම දකිති. යන්න මෙයින් විශද කෙරේ. මේ අනුව පෙන්වා දීමට යෙදෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය ඔස්සේ භෞතික, අභෞතික සෑම දේ ම නිවැරදිව අවබෝධ කරගැනීමට මංපෙත් විවර කරනා බවයි.

සාරාංශය
බෞද්ධ දර්ශනයේ මූලික හරය ලෙස පෙන්වා දීමට හැකි වන්නේ පටිච්චසමුප්පාදය යි. නිවන සාක්ෂාත් කර ගැනීමට වෙර දරන සෑම දෙනා ම වෙසෙසින් අවබෝධ කරගත යුත්තේ මේ ධර්මතාව බව බුදුන් වහන්සේ විසින් දේශිත ය. මෙහි අන්තර්ගත කරුණු කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකිය.
මිනිසාගේ ඇතැම් ක්‍රියාවල නිරර්ථක භාවය පෙන්නුම් කර දෙන අතර සැබෑ විමුක්ති මාර්ගයක් මේ ඔස්සේ පෙන්වා දෙයි.
මිනිසාට තමන්ගේ ඇති ගැටලු විසඳා ගැනීමට මඟ කියා දෙයි.
මිනිසා තුළ ආත්ම විස්වාසයක් ගොඩ නඟාගෙන ධනාත්මක චින්තනයක් ඇති කරගනී.
සමස්ථය දැකීමේ දෘශ්ටිය හඳුන්වා දෙයි.
මිනිසාගේ පුහුදුන් මානසිකත්වය බැහැර කරයි.
උතුම් මිනිස් සමාජයකට මඟ පෙන්වා දෙයි.
පොදුවේ බෞද්ධ අබෞද්ධ කාහටත් පිළිගත හැකි මාර්ගයක් විවෘත කරයි.
මේවා කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබඳව අවසානයේ දී හඳුනාගත යුතුය. එහිදී,
බියෙන් තැතිගැන්වීම් වලින් මිදෙන්නට ගස්, ගල්, පර්වත සරණ යෑම විමුක්තිය පතා දෙවියන් සතුටු කිරීමට යාඥා ප්‍රාර්ථනාවල යෙදීම, පව් සෝදා හැරීමට ශුද්ධ වූ ජලයේ ගිලී ස්නානය කිරීම, බලාපොරොත්තු ඉටු කරගැනීමට බාර-හාර පුදපූජා පැවැත්වීම, බලිබිලි යාගහෝම කිරීම, සසරින් ගැලවීම සඳහා නොයෙකුත් වධහිංසා පමුණුවා ගැනීම ආදී වශයෙන් විමුකිත්ය පතා හෝ දිනපතා ජීවිතයේ සාර්ථකත්වය පිණිස කෙරෙන විවිධාකාර ක්‍රියාවල නිරර්ථක බව පෙන්වා දෙමින් විමුක්තිය සඳහා වූ නිවැරදිම මාර්ගය පෙන්වා දීමට පටිච්ච සමුප්පාදය සමත් වෙයි.

තමන්ට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වූ විට විවිධ අර්ථ ශූන්‍ය ක්‍රියාවල යෙදෙනු වෙනුවට ගැටලුව විග්‍රහ කොට බලා හේතු ප්‍රත්‍ය හාප්‍රතිඵල වෙන්කොට තේරුම් ගෙන ප්‍රශ්නය උද්ගත කළ හේතු එකින් එක හෝ එකවර සමූහය ම නැති කර ගෙන එය විසඳා ගැනීමට මිනිස් සිත මෙහෙයවන්නේ පටිච්චසමුප්පාදයයි.


කිසියම් ප්‍රශ්නයක් එක් අංශයක් දැකීම වෙනුවට එසේ දැක ඒකාංශ වු පිළිතුර වෙනුවට ප්‍රශ්නයක සියලු පැති හේතු සාධක විමසීම මඟින් සපයා සමස්ථය දැක ඉතා සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට මංපෙත් විවර කරන්නේ පටිච්චසමුප්පාදය යි.

තමා තනි වූ වෙන් වූ ඒකකයක් නොව සෙසු සමාජය සත්ව වර්ග, ශාක පද්ධතිය, භෞතික වස්තු ඇතු`ඵ සමස්ථ පරිසරය ම අංශු මාත්‍රයක් ය යන සිතුවිල්ල ජනිත කරවීමට තරම් මනසක් ඇති වන්නේ පටිච්චසමුප්පාදය නිසාවෙනි.
ක්‍රිස්තු පූර්ව අවදියේ දී පමණක් නොව ක්‍රිස්තු සමාජයේ ද 21 වන සියවසේ ද මිනිසාගේ පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට ඕනෑම ආගමක් අදහන හෝ ආගම් ප්‍රතික්ෂේප කරන කවර හෝ ප්‍රබුද්ධ මිනිසෙකුට හෝ සමාජයකට වුව ද පිළිගත හැකි න්‍යායක් ඉදිරිපත් කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය මඟිනි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
කලුපහන, ඬේවිඞ්. ජේ. භාරතීය දර්ශන ඉතිහාසය, නුගේගොඩ: තිවිර ප්‍රකාශන,2002
කහටපිටිය, ලක්ෂ්මන්. සම්බුදු බුදුබණ, කොළඹ 10, ගොඩගේ සහ සමාගම, 2000
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා
මේධානන්ද හිමි, දේවාලේගම. බෞද්ධ අධ්‍යයන ප්‍රවේශය, කැළණිය: නිව් දීපා මුද්‍රණාලය, 1997
රාජපක්ෂ,ඩී.ටී.පී. පංචස්කන්ධය පටිච්චසමුප්පාදය සතිය හා සුන්‍යතාවය, දෙහිවල: ශ්‍රීදේවී ප්‍රින්ටර්ස්, 1999 දෙවන මුද්‍රණය
සරණංකර හිමි, ගණේගම. බුදුහාමුදුරුවෝ, කොළඹ 11: ගුණසේන සහ සමාගම, 2000
සෝමරංසි හිමි, උඩගලදෙණියේ. බෞද්ධ දර්ශනය සහ සමාජ දර්ශනය, කොළඹ 10: සමයවර්ධන පොත්හල, 1987 දෙවන මුද්‍රණය
හෙට්ටිආරච්චි, ධර්මසේන සහ මහතන්ත්‍රිගේ, ගුණසේන. බුදුදහමේ මූලික ඉගැන්වීම්,  නුගේගොඩ: තිවිර ප්‍රකාශන,2003       .                    .

No comments:

Post a Comment