Saturday, November 19, 2016

 භය සදන 'ණය'
බිබිල, යල්කුඹුර,
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ
රාජකීය පණ්‌ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
සමාජීය වශයෙන් මිනිසා දිවිගෙවීමේදී ඔහු සමාජයෙන් වෙන් කිරීම කෙරෙහි අතිශයින් බලපාන සාධකයක්‌ ලෙස ණයවලින් යුක්‌තවීම දැක්‌විය හැකිය. බුදුදහමේ වරෙක පෙන්වා දෙන කරුණක්‌ නම් සැපවත් ජීවිතයක්‌ ලැබීම සඳහා ණය -තුරස්‌වලින් මිදී දිවි ගෙවීම වැදගත් වන බවයි. අණන සූත්‍රයේදී මේ බව මැනවින් පැහැදිලි වේ. අප සමාජයේ ඇති ජනප්‍රිය වදනක්‌ ලෙස 'මම ණයත් නෑ, බයත් නෑ' යන කියමන දැක්‌විය හැකිය. අතීතයේ පටන් වර්තමාන සමාජ රටාව තෙක්‌ ගෙනහැර බැලීමේදී සැබැවින්ම මිනිසා ණය වීම කෙරෙහි පැවතියේ කිසිසේත්ම සුබවාදී ආකල්පයක්‌ නොවේ. යම්සේ මිනිසෙකු ණයක්‌ වන්නේ නම් ඒ ඔහුට කිසිත් කරකියා ගත නොහැකි වූ විටෙක පමණකි. සමාජීය මිනිසුන්ද ණයබරින් වෙලී ඉන්නන් දෙස බැලුවේ සුබවාදී ආකල්පයකින් නොවේ. 
කෙසේ නමුත් අතීතය හා වර්තමානය දෙස බැලීමේදී මේ තත්ත්වය යම් තරමක්‌ පහව ගොස්‌ ඇති බව පෙනේ. බොහෝ අවස්‌ථාවලදී විවිධ සමාගම්වලින් ණය ලබාදෙන බවක්‌ පෙන්නුම් කරයි. පැරණි සමාජයේ ණයවීම සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක්‌ වුවද වර්තමානයේ එම තත්ත්වය යටපත් වී ණය ගැනීම ජනප්‍රිය වී ඇත. නිවාසයක්‌ තනා ගැනීමට, වාහනයක්‌ මිලදී ගැනීමට, අලුතින් ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට, ඉඩමක්‌ මිලදී ගැනීමට ආදී වූ විවිධ හේතුකාරණා නිසා මිනිසුන් බැංකුවලින් හෝ එබඳු ණය දෙන ස්‌ථානවලින් ණය ලබාගැනීමට පෙළඹී ඇති අයුරු මනාව වටහාගත හැකිය. එකවර විශාල මුදලක්‌ සොයා ගැනීමේ ගැටලුව පිරිමසා ගනුවස්‌ මේ ලෙස ඔවුහු එකවර විශාල මුදලක්‌ ණයක්‌ වශයෙන් ගෙන පසුකාලීනට එම ණය මුදල 'ටික ටික ගෙවීමේ ක්‍රමයට' පියවා දමති.

වර්තමානයේ ලොවෙහි ඇති ආර්ථික රටාව අනුව මිනිසෙකුට ණයක්‌ නොවී ජීවත්වීම අසීරු, අපහසු කාර්යයකි. ඉහතින් පෙන්වා දුන් පරිදි තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ණය ගැනීමට ඔවුන් පෙළඹී ඇත. ඒ අනුව මෙසේ ණය ගැනීම කොටස්‌ දෙකක්‌ යටතේ විග්‍රහ කර දැක්‌විය හැකිය. එනම්,
1. ආයෝජනය සඳහා ණය ගැනීම
2. පරිභෝජනය සඳහා ණය ගැනීම
යනාදී වශයෙනි. මෙහිදී ආයෝජනය යනු තමන් යම්සේ ආරම්භ කරන වෙළඳ ව්‍යාපාර කටයුත්තක්‌ සාර්ථක කරගැනීම පිණිස ගන්නාවූ ණය මුදලයි. පරිභෝජනය සඳහා ගන්නාවූ ණය වශයෙන් දක්‌වා ඇත්තේ තමාගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවන් සඳහා ගන්නාවූ ණය මුදලයි. මෙසේ ගන්නාවූ ණය මුදල ආපසු ගෙවීමේදී ගැටලුකාරී තත්ත්වයක්‌ පැනනගී. එනම් ඒ මුදල් සැබැවින්ම නැවත තමන් උපයාගෙන එය ගෙවිය යුතු හෙයිනි. ඉහතින් පෙන්වා දුන් ආයෝජන ව්‍යාපාර මගින් තමන්ට කෙසේ හෝ මුදල් ඒකරාශී කරගත හැකි අතර පරිභෝජන ක්‍රියාවලියේදී මුදල් 'වැය' වීමක්‌ මිස 'අය' වීමක්‌ සිදු නොවේ. 

ණය වීම පිළිබඳ බුද්ධ දේශනාවේ කෙසේ සඳහන් වේදැයි මෙහිදී විමසා බැලීම වටී. මෙහිදී ඉණ සූත්‍රයේ පෙන්වාදී ඇති කරුණු අතිශයින් වැදගත් වේ. ණය වීම හා ඉන් ලැබෙන අසහනකාරී මානසික වාතාවරණය පිළිබඳ බුදුන් වහන්සේ සහ ශ්‍රාවක භික්‌ෂූන් අතර ඇතිවූ සංවාදය ඒ පරිදිම දක්‌වා ලීම ඔබට ණයවීම මගින් ඇති වන අසහනකාරී මානසිකත්වය මැනවින් අවබෝධ කරගැනීමට මංපෙත් විවර කරනු ඇත. 

බුදුන් වහන්සේ (- 'පින්වත් මහණෙනි, කම්සැප විඳිමින් සිටින ගිහි පුද්ගලයෙකුට එදා වේල සොයා ගැනීමටවත් නොහැකිව, අඳින්නට ඇඳුමක්‌ නොමැතිව, සන්තකයේ කිසිදු මුදලක්‌ නැතිව දුප්පත්ව සිටීමට සිදුවුවහොත් එය දුකක්‌ නොවන්නේද?'
ශ්‍රාවක භික්‌ෂුන් වහන්සේලා (- 'එසේය ස්‌වාමීනි, ගිහි පුද්ගලයෙකුට සන්තකයේ කිසිදු මුදලක්‌ නොමැතිව ජීවත් වීම කළ නොහැක්‌කකි. එය දුකක්‌මය.' 
බුදුන් වහන්සේ (- 'පින්වත් මහණෙනි, එසේ පිහිටක්‌ නොමැති, ජීවත් වීමට නොහැකිව සිටින මිනිසාට ජීවත් වීම පිණිස කිසියම් වූ ණය මුදලක්‌ ගැනීමට සිදු වුවහොත් එය දුකක්‌ නේද?'
ශ්‍රාවක භික්‌ෂුන් වහන්සේලා (- 'එසේය ස්‌වාමීනි, එයද දුකක්‌ වන්නේමය. ඔහුට සමාජයේ 'දිළින්දා' යනුවෙන් නමක්‌ද පටබැඳෙන අතර ණය බරින් වෙලී ජීවත් වීමට සිදුවේ. තමන්ට ණයකාරයෙකු වීමට සිදුවීම ගැන සැබැවින්ම ඔහු දුකින් තැවේ.'
බුදුන් වහන්සේ (- 'පින්වත් මහණෙනි, දුප්පත් පුද්ගලයා ණයක්‌ ගත් කල්හි එම ණය මුදලට සරිලන පොලියක්‌ ද එකතු වීම නිසා ඔහුගේ දුක තවතවත් වැඩි වන බව සැබෑව නේද?'
ශ්‍රාවක භික්‌ෂුන් වහන්සේලා (- 'එසේය ස්‌වාමීනි, ණය මුදලට අමතරව පොලියකුත් ණය මුදලටම එකතු වීම නිසා ඔහුගේ ණය මුදල තවතවත් වැඩිවේ. මෙය ඔහුට දරාගත නොහැකිය. දුක වැඩිවීමටද එය හේතුවක්‌ වේ.'
බුදුන් වහන්සේ (- 'පින්වත් මහණෙනි, මෙම දුප්පත් ණයකරුවාගේ පොලිය වැඩෙනවා. ඔහුට පොලිය ගෙවා ගන්නත් නොහැකියි, ණය ගෙවා ගන්නත් නොහැකියි. මේ නිසා කිහිප දිනකින්ම ණය ලබාදුන් තැනැත්තා චෝදනා පත්‍රයක්‌ ණයකරුවා වෙත යොමුකරයි. ණය මුදලත් පොලියත් ගෙවිය යුතු බව ඔහු නැවත නැවත ඉල්ලා සිටිනවා. ණයකරුවා ගත් ණය මුදල ගැනත් ඔහුට පියවීමට ඇති පොලිය ගැනත් නැවත නැවත මතක්‌ කරමින් චෝදනා කරනවා. මෙය දිළිඳු පුද්ගලයාට සැබැවින්ම දුකක්‌ නේද? එපමණකුත් නොවෙයි,
පින්වත් මහණෙනි, දැන් ඒ විදිහට මතක්‌ කර කර චෝදනා කරන විට මොහු කරන්නට දෙයක්‌ නොමැතිව හැංගෙනවා. එසේ හැංගෙන කොට ඔහුට ණය දුන් අය ඔහුව පන්න පන්නා හොයනවා. මහණෙනි, ණය දුන් අය එසේ මොහුගේ පස්‌සෙන් පැන්න වීම දුකක්‌ නොවේද?'
ශ්‍රාවක භික්‌ෂුන් වහන්සේලා (- 'එසේය, ස්‌වාමීනි, එයත් දුකකි.'
බුදුන් වහන්සේ (- 'පින්වත් මහණෙනි, ණය ගෙවා ගැනීමට නොහැකිව මොහු සැඟවී සිටින විට, ණය දුන් අය පැමිණ මොහු අල්ලා ගනී. එසේ අල්ලා නීති මාර්ගයට ඉදිරිපත් කොට මොහුව හිරේ විලංගුවේ දමන්නේය. මහණෙනි, දුප්පත් මනුෂ්‍යයෙකු එසේ හිරේ විලංගුවේ වැටීම දුකක්‌ නොවේද?'
ශ්‍රාවක භික්‌ෂූන් වහන්සේලා (- 'ස්‌වාමීනි, එයත් දුකකි.'
බුදුන් වහන්සේ (- 'පින්වත් මහණෙනි, මෙලෙස කම්සැප විඳිමින් අඹු දරුවන් ආරක්‌ෂා කරමින් නඩත්තු කරමින් එහි ජීවිතය ගත කරන්නට කැමැති වී සිටින කෙනෙකුට මේ ලෝකයේ දිළින්දෙකු ලෙස ඉන්නට සිදුවුවහොත් එයද දුකකි. මේ ලෝකේ කම්සැප විඳින කෙනෙක්‌ ඒ වගේ ණයක්‌ අරගෙන ඒ ණයට පොලිය වැඩෙනවා යන්නද දුකකි. එම පොලිය වැඩිවීම නිසා ණය දුන් අය මොහුට ණය මතක්‌ කරමින් බනියි. පොලිය ඉල්ලමින් බනියි. එයද මොහුට දුකකි. ණය නොගෙවූ හෙයින් ණය දුන් අය පස්‌සෙන් පන්නාගෙන ඒමද දුකකි. ඔහු මොහු අල්ලාගෙන හිරේ විලංගුවේ දමයි. එයද දුකකි.'
මෙම සංවාදය අනුව ණය ගැනීමෙන් වන විපත මනාව හඳුනාගත හැකිය. එසේ වුවද පරිභෝජනය සඳහා තමන්ට ණය ගැනීමට සිදුවේ නම් එය ගැනීම වරදක්‌ නොවන බව පෙන්වා දී ඇත. තමන් ගත් ණය මුදල ඉතා ඉක්‌මනින් ගෙවා දැමීමට ඔහු කටයුතු කළ යුතු බව බෞද්ධ දේශනාවේ පෙන්වා දී ඇත. මන්දයත් ණය බරින් මිඳී ජීවත් වීම සැබැවින්ම සතුටට හේතුවක්‌ වන බැවිනි. 
'මහණෙනි, යම්සේ පුරුෂයෙකු පොලියට ණය මුදලක්‌ ගෙන කර්මාන්ත කරන්නේද ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධි වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම් ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේද, මත්තෙහි ඉතිරි වූ යමක්‌ ඇත්නම් එය අඹුදරුවන් රක්‌නා පිණිස වන්නේද, එසේවූ ඔහුට මම පළමුව ණය මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මාගේ කර්මාන්ත සමෘද්ධි විය. එසේ මම යම් පැරැණි ණය මුදල් වී නම් ඒ සියල්ලත් ගෙවා අවසන් කළෙමි. අඹුදරුවන් රැකීමට වැඩිපුර ඉතිරි වූ මුදලක්‌ද මට ඇතැයි සිතන්නේද හේ එම ණය නැති බව හේතු කොටගෙන, සතුටට සොම්නසට පත්වෙයි.' යනුවෙන් බුද්ධ දේශනාවේ ඒ බව දක්‌වා තිබේ. 
පරිභෝජනය සඳහා හෝ ආයෝජනය සඳහා ගත් ණය මුදල් සියල්ලම ගෙවා දැමිය යුතුමය. වර්තමානයේ ඇතැම් අය විශාල ලෙස බැංකුවලින් ණය මුදල් ගෙන ඒවා නොගෙවා ඒවාට වංචා කරන අයුරු කෙතෙකුත් දක්‌නට හැකි වෙයි. එමෙන්ම ඇතැම් පුද්ගලයන් තවත් අයෙකුගෙන් ණය මුදල් ගෙන, පසුව 'තමා එසේ ණය නොගත්තේ යෑ'යි කියමින් පලා යන අවස්‌ථාද දැකිය හැකිය. එවැනි පුද්ගලයින් වසලයන් බැව් වසල සූත්‍රයේ (යො හවේ මාදාය, චුæජමානෝ පලායති නහි තේ ඉණමත්îති, තං පඤ්ඤ වසලෝ ඉති) සඳහන් වේ. 
යම් පුද්ගලයෙකු ණයක්‌ ගෙන එම ණය ඉතා ඉක්‌මනින් ගෙවා නිදහස්‌ වේ නම්, ඔහුගේ සිතට එය මහත් සැනසිල්ලකි. එමෙන්ම කිසිවකුට කිසිසේත්ම ණය නොවූ පුද්ගලයකු තමා ණය නොවූවකු හෙයින් සතුටු වීම, 'අනණ සුඛ' යෑයි බුදුන් වහන්සේ දේශනා කළහ. ඒ බැව් අංගුත්තර නිකායේ අනණ සූත්‍රයෙහි 'ගැහැවිය, අනණ සුඛය කවරේද යත්, ගැහැවිය, මෙලොව කුල පුත්‍රයෙක්‌ කිසිවකුට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක්‌ නොමැති වීමේ සුඛය විඳියි. සොම්නස විඳියි. ගැහැවිය මේ අනණ සුඛ යෑයි කියනු ලැබේ' යනුවෙන් අන්තර්ගතව ඇත. මේ අනුව ණය නොවී ගෙවන ජීවිතය සැබැවින්ම සැපවත් එකක්‌ බව ඉහත දේශනා අනුසාරයෙන් මනාව වටහාගත හැකිය.
2016 නොවැම්බර් 14 දින බුදුමග පුවත්පත
Powered By -  

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

No comments:

Post a Comment