Saturday, November 19, 2016

2016-11-20

අනුරාධපුර යුගයේ පැවති වෙළෙඳ කටයුතුවල ස්වභාවය

ප්‍රාග් ඓතිහාසික යුගය හෙවත් ආර්යාවතරණයේ පටන් 10වැනි සියවස දක්වා කාලය අනුරාධපුර අවධිය වශයෙන් මෙහිදී සැලකිය හැකිය. එදා අද මෙන් රටෙහි අභ්‍යන්තර මෙන්ම බාහිරවත් පැතිරගිය දියුණුවූ වෙළඳ ක්‍රමයක් නොතිබුණද එදා තත්ත්වය අනුව දියුණු යැයි කිවහැකි ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරයක් කෙරීගෙන ගිය බවට ඉතිහාසයෙන් බොහෝ සාධක හමුවේ. ඈත අතීතයේ (ක්‍රි.පූ. යුගයේ පටන්) සිටම පෙර අපර දෙදිග වෙළඳ මාර්ගයන්හි කඩ ඉමක පිහිටි ශ්‍රී ලංකාව වාණිජ අංශයෙන් ක්‍රියාකාරී ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතිණි. ලංකාව හාත්පසින්ම මුහුදින් වටවූ දිවයිනක් වීමත් ඉතා වැදගත් වෙළඳ මාර්ග කිහිපයක් මධ්‍යයේ ලංකාව පිහිටීමත් මේ දිවයින ඒ තත්ත්වය ලබා ගන්නට මූලික වූ වැදගත්ම හේතු සාධක ද්විද්වය විය.

ඉහත කරුණ පැහැදිලි කිරීමේදී ක්‍රිස්තු පූර්ව යුගයේ සිට සිදුවූහයි සැලකෙන ලාංකික මුහුදු ගමන් ලැන මහාවංසය ඉදිරිපත් කරන තොරතුරුද අතිශයින් වැදගත් වේ. ඒ තොරතුරු අනුව පැරණිතම වරායයන් කිහිපයක් අපට හමුවේ. ජම්බුකෝල පට්ටන සහ මාන්තොට එයින් වැදගත් වෙළඳ තොටුපළ දෙකක් විය. ජම්බුකෝලපට්ටන හෙවත් දඹකොළපටුන උතුරු ඉන්දීය වෙළඳ මාර්ගයන් හා සම්බන්ධ කඩ ඉමක පිහිටි බව කියන මහාවංසයය එදා දිවයිනේ අගනුවර වූ අනුරාධපුරය හා යාවෙන මහ මගක්ද දඹකොළපටුන හා අනුරාධපුරය අතර තිබුණු බව සඳහන් කරයි. ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරයක් ක්‍රමවත්ව ගෙනයාමට ගමනාගමනය හොඳින් සැලසී තිබිය යුතුය. ඒ අතින් දූපතක් වූ ලංකාවට ජාත්‍යන්තර වෙළඳමකට සම්බන්ධ වීමට අනෙක් සම්බන්ධ රටවලට වඩා විශේෂයෙන් මුහුදු මාර්ග අත්‍යවශ්‍ය වන බව කිවයුතු නොවේ. ක්‍රිස්තු පූර්වයේ සිටම ලංකාවට නැව් ආ ගිය බව ඉතිහාසයේ කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. මහින්දාගමනය හා දුමින්දාගමනයත් ලාංකික වෙළෙඳුන්ගේ මුහුදු ගමන් ගැන කියන ‘ප්ලිනීගේ’ හා ‘කොස්මස්ගේ’ වාර්තාත් ලංකා වෙරළේ ආරක්ෂාව පතා නැව් මහුදාවක අවශ්‍යතාව පෙන්වූ පළමුවැනි මුගලන් රජුගේ ඉතිහාසයත් පඬිරට මා අරමණය ජය ගැනීමට නැව් හමුදා මගින් යුද්ධ සේනාංක යැවූ මහා පැරකුම්බාවන්ගේ කථාවත් මෙය සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂ්‍ය කිහිපයක් වේ.

එදා මේ ගමන් මාර්ගයේ මුල් පෙළේ වූ වෙළඳ තොටුපළ වූ දඹකොළපටුනින් ඉන්දීය වෙරළේ පිහිටි තාම්‍රලිප්තිය හා එතැනින් ගංගානම් නදිය ඔස්සේ පැලලුප් හරහා උතුරු ඉන්දියාවට යාහැකිව තිබුණු අතර මල්වතු මෝයේ පිහිටි මාන්තොටත් අනුරාධපුරය හා මහමගෙකින් සම්බන්ධවී තිබිණි. පුත්තලම දෙවුන්දර වැනි තවත් නගර කිහිපයක්ද දක්නට ලැබුණත් බොහෝවිට භාරතීය සංස්කෘතික දූත පිරිස් එදා පැමිණියේ දඹකොළ පටුන හා මාන්තොට හරහා බව මහාවංසයෙන් පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ මහාවංසාගත තොරතුරු පැහැදිලි කරගැනීමට ලක්දිව පිළිබඳ කරුණු කී විවිධ යාන්ත්‍රිකයින්ගේ සටහන් බොහෝ සේ උපකාරී වී ඇත.

ලංකාවේ දියුණු තත්ත්වයක පැවති පැරණි වෙළඳ ව්‍යාපාරය ලංකාවේ ඒ ඒ රාජ්‍ය යුග අනුවද බෙදිය හැකිව තිබේ. අනුරාධපුර පොළොන්නරු දඹදෙණි යාපහු කුරුණෑගල රයිගම ගම්පල කෝට්ටේ යුග ආදී වශයෙනි. එයින් අනුරාධපුර යුගය ප්‍රථම මෙන්ම අන් යුගවලට වඩා දීර්ඝ වූවක් විය. ඇතැමෙකු රාජ්‍ය යුග වශයෙන් බෙදී යන මේ වෙළඳාමේ අවස්ථාවන් ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවස දක්වා, එතැන් සිට සයවැනි සියවස දක්වා, සයවැනි සියවසේ සිට අටවැනි සියවස මධ්‍ය කාලය වන තෙක් සහ අටවැනි සියවසේ මැදභාගයේ සිට එකොළොස්වැනි සියවසේ අනුරාධපුර යුගයේ අවසානයේ ආදී වශයෙන්ද බෙදා දක්වා තිබේ. ඒ කොයිහැටි වුවත් ලංකාවේ මුල් අවධියේදී සබඳකම් පැවැත්වීම ඉන්දියාවට පමණක් සීමා විය. එහිදී විශේෂයෙන් උත්තර භාරතය සමග පැවතුණු සංස්කෘතික සම්බන්ධය මෙන්ම මේ වෙළඳ සම්බන්ධයද ඉතා පැරණි වූවකි.

ජනප්‍රවාදයන්ට අනුව ලංකාව පළමුවෙන් යටත් කරනු ලැබූයේ උතුරු ඉන්දීය කුමරෙකු විසිනි. එතැන් සිට විජයාවතරණයේ පටන් දෙරට අතර වෙළඳ සම්බන්ධතා නිරතුරුව දියුණු වන්නට විය. මේ අනුව උගතුන්ගේ මතය වී ඇත්තේ ලංකාවට පළමුවෙන් ගොඩ බැස්සේ භාරතීය වෙළෙඳුන් බවයි. එපමණක් නොව මෙහි පාලන බලය අල්ලාගත් විජය නැමැත්තා වෙළඳ පුත්‍රයෙකු බැව් කියන දෙවන සියවසේ භාරතයේ ලියන ලද සංස්කෘත බෞද්ධ ග්‍රන්ථයක් වූ දිව්‍යවදානයේ එන පුවතද ලෙහෙසියෙන් ඉවත දැමිය හැක්කක් නොවේ. කෙසේ වෙතත් මේ කාලයේ සිටම විවිධ දේශයන්හි වෙළෙන්දෝ මෙහි පැමිණියහ. ඒ අනුව පැහැදිලි වන්නේ විදේශීය රටවල් සමග ලංකාව ඈත යුගයේ පටන්ම වෙළඳ ව්‍යාපාරයන් ගෙනගිය බවයි. ඒ හැර ජාතක පෙතෙහි දැක්වෙන වළාහස්ස ජාතකයට වස්තු වූ මුහුදුබත්වී ලංකාවට ගොඩබට වෙළෙන්දන් දෙදෙනෙකු පිළිබඳ කථා ප්‍රවෘත්තියද මේ සම්බන්ධ තොරතුරු තවදුරටත් අනාවරණය කර ගැනීමට ඉවහල් වේ. එමෙන්ම යුධිෂ්ඨර මහා රාජයාට ලංකා රජු විසින් මුතු මැණික් යැවූ බව මහාභාරතයේ සඳහන්ව ඇත. ක්‍රිස්තු වර්ෂ සිව්වැනි සියවසෙහි චන්ද්‍රගුප්ත අධිරාජයාගේ ඇමති මණ්ඩලයේ සිටි කෞටිල්‍යයෝ තම අර්ථ ශාස්ත්‍රය නම් කෘතියෙහි ලංකාව මැණික් උපදින ස්ථානයක් වශයෙන්ද හඳුන්වා තිබේ. මාන්තොට තිබී මෑතකදී සොයාගත් රෝමකාසි රෝම අරාබි බඳුන්වල නටබුන් නිසාත් කොස්මස්ගේ මාන්තොට පිළිබඳ විස්තරයෙනුත් අතීතයේ ලංකාව ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වී තිබුණු බව රහසක් නොවේ. තවදුරටත් 10වැනි සියවසේ ලියැවුණු ‘හුවුඞ් අල් අලාඞ්’ නම් අරාබි ග්‍රන්ථයද ලාංකික වෙළඳ ද්‍රව්‍ය සියල්ල මාන්තොටට රැස්කර එහි සිට ඒවා ලෝක වෙළෙඳුන්ට බෙදා හැරි බව සඳහන්ව ඇත. මේ අන්දමට දැක්වෙන සාහිත්‍ය මූලාශ්‍රය ආධාරයෙන්ද අතීතයේ ලාංකික වෙළඳ ව්‍යාපාරය දියුණු තත්ත්වයක පැවති බැව් මනාකොට හඳුනාගත හැකිය.

ක්‍රිස්තු පූර්ව 327දී මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජය ගත්තාට පසු ලංකාව වෙළඳාම සම්බන්ධ අගයන් තවත් වැඩි වන්නට විය. එයින් ඈත පෙරදිගටත් වෙළඳ ව්‍යාපාරය විකාශනය වීමට ඉඩකඩ පෑදිණි. මෙහිදී ඇලෙක්සැන්ඩර් රජුගේ සෙනෙවියෙකු වූ ‘ඔනෙසික්‍රිටස්’ ලංකාව හා උත්තර භාරතය අතර පැවති වෙළඳ සම්බන්ධතා ගැනද සඳහන් කර ඇත. මේ අනුව බොහෝදුරට උත්තර භාරතය හා ලංකාව අතර ඇතිවූ සංස්කෘතික සම්බන්ධතාවලට පිටුබලයක් වූයේ මේ වෙළඳ සම්බන්ධතා බව සිතිය හැකිය. ඉතිහාසය අනුව තවදුරටත් පෙර අපර දෙදිග වෙළෙන්දන් මුණගැසුණු ඉන්දීය වෙළඳ මධ්‍යස්ථානයකට ලංකාවෙන් ද්‍රව්‍ය සැපයුණු බව කදිමට පැහැදිලිය. අන්තර් ජාතික වෙළෙන්දන් සමග ලාංකික වෙළෙඳුන්ට ඍජුවම වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසුනේ මේ නිසාය.

අතීතයේ වෙළඳාම ගැන තොරතුරු දැන ගැනීඹට ඇති පහසුකම් බොහෝදුරට සීමාවී තිබේ. ඒ සඳහා අපට තරමක් දුරට හරි උපකාරී වන්නේ ඉහත දැක්වූ පරිදි ඉතිහාසය කියන සාහිත්‍ය පුවත්, සෙල්ලිපි හා විදේශීය යාන්ත්‍රිකයින් ලංකාව ගැන ලියූ සටහන් ආදියයි. ඒ අතින් සෙල්ලිපිවල ඇතුළත් වෙළඳාම පිළිබඳ නීතිරීති ආදිය දැකීමෙන් ඒ අවධියේ වෙළඳාම සාරවත්ව කරගෙන ගිය බව පැහැදිලිවේ. බදුලු ටැම්ලිපිය ඒ අතින් ඉතා වැදගත් ලිපියකි. 

විදේශීය යාන්ත්‍රිකයින් ලංකාව ගැන තැබූ නොයෙක් අන්දමේ විස්තර වාර්තා නිසා ලංකාවේ වෙළඳ තත්ත්වය පිළිබඳ කරුණු බොහෝදුරට පිළිගත හැකිවී තිබේ. මේ සටහන් තැබූ බොහෝ යාන්ත්‍රිකයෝ ලංකාවේ සංචාරක කළෝ වූහ. එයින් ඇතැමෙක් ලංකාවට ගොඩ නොබැස්සත් ලංකාව ගැන සෙවීමෙහි බොහෝ සෙයින් මහන්සි වූවෝය. ඒ නිසාම මෙම වාර්තා සත්‍යතාවෙන් යුත් ඒවා බැව් පිළිගැනීමට හැකිවී තිබේ. එසේ ඓතිහාසික සටහන් තැබූවන් අතර කොස්මස්ට ප්‍රධාන ස්ථානයක් හිමියේ. තවද පාහියන් ඉත්සිං හියුංසියැං ටොලමි ආදීහුද එසේ සටහන් තැබූ ප්‍රධාන පෙළේ අය වූහ.

ලංකාවේ පැරණි අවධියේ පහළ වූ පාලන කාලය අතින් දීර්ඝතම රාජධානිය පැවතියේ අනුරාධපුර යුගයේය. එය සියවස් පසළොසක් පමණ වූ ඉතා දීර්ඝ අවධියකට නෑකම් කියන්නකි. බොහෝදුරට එකල ආර්ථික අංශයෙන් රට ස්වයංපෝෂිතව පැවති බව පෙනේ.බොහෝදුරට ඒ තත්ත්වය ලබාගැනීමට පසුබිම් වූයේ මේ වෙළඳාම හා කෘෂිකාර්මික ව්‍යාපාරයන්ය.

ක්‍රිස්තු පූර්ව අවධියේ පටන්ම ලංකාවට මුලින්ම ආ වෙළෙන්දෝ ඉන්දීය වෙළෙන්දෝ වූහ. ඒ අනුව ලංකාවට පර්සියන් වෙළෙඳුන් පැමිණි බවට සාක්ෂ්‍ය ලැබී ඇත. මොවුහු ක්‍රිස්තියානි නෙස්ටෝරියන් ආගමිකයෝ වූහ. මොවුනට අයත් ගලක කෙටූ කුරුසයක් ලංකා පුරාවිද්‍යාඥයින් අතට ලැබීම නිසා ඉහත කී අදහස තහවුරු වී ඇත. තවද එහිදී ඔවුන් ලංකාවේ බෞද්ධ රජවරුන් ඔවුනට ආගමික නිදහස දුන් හෙයින් පල්ලියක් සාදා ආගම ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාරයකුත් ගෙනගියාට සැකයක් නැත. ඉහත නමින් සඳහන් කොස්මස් ලංකාව ගැන සඳහන් කර ඇති සිය කෘතියෙන් ලක්දිව එකල විදේශීය වෙළඳාම ජයට කරගෙන ගිය බව පෙනේ. ග්‍රීකයෙකු වූ කොස්මස් සංචාරක වෙළෙන්ඳෙකි. ඔහු මෙවැනි කරුණු සොයා ගෙන ඇත්තේ වෙළෙඳ සංචාරයන්හිදී බැව් පෙනේ. මෙරටට ඉන්දියාවේ සැම ප්‍රදේශයකින්ම මෙන්ම පර්සියාව, ඇබිසීනියාව ආදී රටවලින්ද වෙළඳ නැව් පැමිණි අතර එහි සිට අන් රටවලටද නැව් පිටත් කොට යැවූ බව ඔහු සඳහන් කරයි. එමෙන්ම චීනය ආදී රටවලින්ද සේද, අගිල්, චන්දන, කරාබුනැටි හා වෙනත් නොයෙක් දෑද මෙහි ගෙනෙනු ලැබූ බවත් ඒ සමගම ඒ සැම රටකටම එහි නිපදවනු ලබන සියලුම දෑ යවනු ලැබූ බවත් කොස්මස් වැඩිදුරටත් සිය කෘතියේදී පෙන්වාදී ඇත. ඒ අනුව ලංකාව එකල අවට ලෝකයට ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්ව තිබුණු බැව් මනාව පැහැදිලි වේ.

පෙරදිග වෙළඳ බලය අල්ලාගෙන සිටි විදේශිකයින් අතර චීන්නුද ඈත අතීතයේ සිටම මේ බලයට හිමිකම් කීහ. කලින් සඳහන් කළ පෙර අපර දෙදිග වෙළෙඳුන් මුණ ගැසුණු දකුණු ඉන්දීය වෙළඳ මධ්‍යස්ථානය නිසා ලංකාව සමග වෙළඳ කටයුතුවලට කෙළින්ම සම්බන්ධවන්නට මේ චීන්නුන්ට අවස්ථාව සැලසිණි. ඔවුහු එදා පෙරදිග වෙළඳ බලය පතා අනෙකුත් වෙළඳ බලවේග සමග තියුණු තරගයක යෙදී සිටියහ. කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේ විසූ ප්ලිනිගේ විස්තරයෙන් ඈත අතීතයේ සිටම චීනය හා ලංකාව අතර මුහුදින් සම්බන්ධයක් පැවති බව පැහැදිලි වේ. ඊටත් පෙර සිට මේ සම්බන්ධය හිමාලය හරහා පැවති බව පාහියන්ගේ ගමන් විස්තරයෙන් විස්වාස කළ හැකිය. මුහුදු ගමනකින් චීනය හා ලංකාවේ සම්බන්ධය සමීප වන්නට පෙර දෙරට අතර වෙළඳද්‍ර්‍රව්‍ය හුවමාරුව හිමාලය මගින් සිදුවූහයි මේ අනුව බොහෝ දෙනෙක් සැක ඇති කර ගනිති. මෙවැන්නකට හේතුවී ඇත්තේ පාහියන්ගේ හිමාලය හරහා වූ පෙරදිග ගමනත් සුමාත්‍රාව හරහා සිදුවූ ආපසු ගමනත්ය. මේ අනුව කලින් ඉන්දියාව මාර්ගයෙනුත් පසුව කෙළින්ම මුහුදු මාර්ගයෙනුත් චීනය හා ලංකාව අතර වෙළඳ සබඳකම් පැවැත්වූ බව බොහෝදෙනෙක් විස්වාස කරති. පශ්චාත් කාලයේ චීනය හා සමීප සංස්කෘතික සම්බන්ධතාවකට පදනම වැටුණේ මෙයින් යැයි කිවහැකිය. ක්‍රිස්තු වර්ෂයෙන් මෙපිට ලංකාකවෙන් චීනයට ගිය සංස්කෘතික දූත පිරිස් දෙකක් ගැන චීන ග්‍රන්ථ සඳහන් කරයි. මේ සමගම ක්‍රිස්තු වර්ෂ 405දී ඉන්දියාව හා මධ්‍යම ආසියාව හරහා චීනය බලා ගිය මෙබඳුම සංස්කෘතික දූත පිරිසක් ගැන චීන පොත්වල සඳහන් වේ.

තවදුරටත් පස්වැනි සියවසේ විසූ ‘ප්‍රොකෝපියස්’ගේ විස්තරය අනුව චීන පටපිළි අලෙවියේ මධ්‍යස්ථානය ලංකාව වූ බවට කිසිම සැකයක් නැත. මේ කාලයේ (ක්‍රිස්තු වර්ෂ 618) චීනයේ රජ කළ ‘ලාඕට්සු’ රජුගේ කාසි හා ක්‍රිස්තු වර්ෂ 776-1266 දක්වා වූ කාලය තුළ රජවරුන් නිකුත් කරන ලද කාසි තොගයක් යාපහුවේ හා පොළොන්නරුවේ තිබී සොයාගෙන ඇත. මුස්ලිමුන් හා තරග කළ මොවුන්ගේ වෙළඳාම මුස්ලිම් බලය නැගීම හේතු කොට ගෙන කෙමෙන් පසුබා ගියත් 10 වැනි සියවසේ දී නැගී ආ සුං රාජ පරම්පරාවේ බලපරාක්‍රමය නිසා නැවත වරක් අර්ථදායක මේ වෙළඳාමට අත ගැසීමට චීන්නුන්ට අවකාශ ලැබිණි. එහෙත් 15 වැනි සියවස වන විට මුස්ලිම් තරගය නැවතත් බලවත් වීම නිසා චීන්නු පෙර අපර දෙදිග මේ මහා වෙළඳ පොළෙන් ටිකෙන් ටික ඈත් වන්නට වූහ. ඒ කෙසේ වෙතත් මේ අනුව චීනය හා ලංකාව අතර පැවති කිට්ටු වාණිජ සම්බන්ධතාවක් ගැන අපට පැහැදිලි නිගමනයකට බැසිය හැකිව තිබේ.

ක්‍රිස්තු පූර්වයේ සිට මේ වෙළඳ බලයට ගතු කියමින් ඉන්දීය වෙරළ සිසාරා ඇවිදි අරාබි වෙළෙන්දෝද ලංකාව සමග වෙළඳාම් කළ බවට පැහැදිලි සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට නොහැකි වුවත් මේ ගැන අදහසක් දෙන ‘පෙරිප්ලස්’ගේ ග්‍රන්ථය මෙහිදී වැදගත් වේ. අරාබි රෙදිවර්ග, මුතු මැණික්, කැස්බෑපොතු මෙහි වූ බව ඔහු සඳහන් කරයි. ඒ සමගම අරාබීන් අනුරාධපුරයේ පදිංචිව සිටි බව පාහියන් සඳහන් කරයි. ඒ කෙසේ වෙතත් යුරෝපියයන් පෙර දිගට පැමිණෙන මොහොත වන විට පෙරදිග වෙළඳ ඒකාධිකාරයට හිමිකම් කී එකම පිරිස අරාබීහු වූහ. මෙසේ ඈත අතීතයේ සිට ලාංකික වෙළෙඳාමට දකුණු ඉන්දීය වෙළෙඳ මධ්‍යස්ථානයට ආ ඉතියෝපියයන් මිසර ඉරාක ග්‍රීක් රෝම වැනි සැම පෙර-අපර දෙදිග වෙළෙඳ ජාතියක්ම සම්බන්ධ වූහ. නමුත් ග්‍රීක් වෙළෙඳුන් වැඩි කලක් ලාංකික වෙළෙඳාම හා සම්බන්ධ වූ බවක් ඉතිහාසයෙන් නොපෙනේ. එහෙත් රෝමන් හා ලාංකික වෙළෙඳාම ඊට වඩා පුළුල් සබැඳියාවකින් පැවතිණි. ඒ බව රෝමයට ගිය වෙළෙඳ දූත පිරිසක් ගැන කියන රෝම ජාතික ප්ලිනිගේම විස්තරයත් ඉන්දීය වෙළෙඳාම ගැන කියන ‘ස්ට්‍රාබෝගේ’ විස්තරයත් ලංකාව හා රෝමය අතර කෙරුණු සුහද වෙළඳ ගිවිසුමක් ගැන කියන ‘ඇමිනස් මර්සලීනස්ගේ’ විස්තරයත් තහවුරු කරයි. ලංකාවේ සැම වරායකින්ම සොයා ගැනීමට හැකිවී ඇති තඹ කාසිද එය තවදුරටත් තහවුරු කර ඇත.

ලංකාව ඈත අතීතයේ පටන්ම ඇත් දත් මුතු මැණික් ඇතුන් ආදී වෙළෙඳ බඩුවලට ප්‍රසිද්ධියක් ඉසිලීය. නොයෙක් දේශවල රජවරු ලංකා රජුගෙන් ඇතුන් මිළදී ගත්හ. ඒ සමගම රජතුමා පර්සියාවෙන් ඇතුන් ගෙන්වාගත් බවද පෙනේ. එසේම ඔහු අසුන් මිළයට ගන්නේ තීරු බද්දක් නොමැතිවය. කොස්මස් පවසන ආකාරයට ලක්දිවින් පිටරට යැවූ වටිනාම දේ වූයේ ඇතුන් ය. නමුත් පිටරට යැවුණු මෙන්ම පිටරටින් එවුනු සැම වෙළෙඳ ද්‍රව්‍යයන්ගෙන්ම රජුට තීරු බද්දක් ලැබුණු බව ඇතැම් සෙල්ලිපි කියයි. ඒ අනුව වරායන් පාලනය කොට තීරු බදු අය කිරීමට විශේෂ නිලධාරීන් කොටසක් පත්කර තිබිණි. සෙල්ලිපිවලින් හමුවන ‘මා වටු ලද්දන්’ එබඳු නිලධාරීන් කොටසකි. තවද ලංකාවේ සංඝාරාමයක තිබුණු නටබුන් අතර ඒ කාලයට අයත් මැණික් ඔබ්බවා සාදන ලද අඩි 32ක් පමණ උසැති පිළිමයක් ලැබී ඇත. එයින් පෙනෙන්නේ එකල සුලබ වශයෙන් මුතු මැණික් ලක්දිව තිබුණු බවය. මේ බව කියන පාහියන් මෙම පිළිබයට චීන ජාතිකයෙකු සේද විජිනිපතක් පූජා කළ බවක්ද කියයි. තවද වෙළෙඳුන්ගේ ගෙවල් දෙමහල් තුන්මහල් වූ අලංකාර ඒවා බව සඳහන් කිරීමෙන් එකල වෙළෙඳුන් ඉසුරුමත්ව විසූ බව පෙනේ. වැඩිදුරටත් මේ ගැන විස්තර කරගෙන යන පාහියන් මහා විහාර භික්ෂුවකගේ ආදාහනෝත්සවයක් ගැනද කරුණු දක්වයි. එම දර සැම තැනම කුරුඳු තෙල් වත්කරන ලදැයි කීමෙන් එකල ලංකාවේ වෙළඳ ද්‍රව්‍යයක් වූ කුරුඳු තෙල් සුලබව තිබෙන්නට ඇත. ඒ සමගම එක්තරා රජෙකු ප්‍රසිද්ධ අරාබි වෙළෙන්දෙකුගේ මරණයෙන් පසු පිළිසරණක් නැති වූ ඒ වෙළඳ පවුල ආපසු නැව් නංවා ස්වකීය දේශයට පිටත් කළ වගක්ද එහි සඳහන් කරයි. එයින් පෙනෙන්නේ සිංහල හා අරාබි වෙළෙඳුන් අතර දැඩි මිත්‍රතාවක් මෙකල පටන්ම පැවති බවයි.

ලංකාවේ අලංකාර දීප්තිමත් මුතු ගැන සඳහන් කරන පාහියන් අද දක්නට නොලැබෙන වෙළෙඳ ක්‍රමයක් ගැනද සඳහන් කරයි. මෙය භූතයින් ගෙන ගිය වෙළෙඳාමක් බව පෙනේ. භූතයෝ තමද්‍ර්‍රව්‍යවල මිළ සටහන් කොට එළිමහන් තැනක තබා සැඟවී සිටියහ. එම බඩු අවශ්‍ය වූවෝ එහි වටිනාකම තබා එම ද්‍රව්‍ය ගෙන ගියහ.

ලංකාව පිළිබඳ කරුණු දක්වන විවිධ දේශාටකයින්ගේ වාර්තා අනුව එකල ලක්දිව වැඩි වශයෙන් තිබූ වෙළෙඳ ද්‍රව්‍යයන් ගැන අවබෝධයක් ලැබිය හැකිව තිබේ. ඒ අනුව ලක්දිව වටිනාම වෙළඳ ද්‍රව්‍ය වූයේ ඇතුන්ය. ඊලියන්, මෙගස්තීනිස්, කොස්මස්, ටොලමි, ස්ට්‍රාබෝ, ඒද්රිස් ආදීන්ගේ වාර්තා නිසා ලංකාවේ හුවමාරු වූ මෙබඳු විවිධ වෙළෙඳ ද්‍රව්‍යයන් ගැන කරුණු අවබෝධ කරගත හැකිය. ඒ හැර මුතු වෙළඳ ව්‍යාපාරය විශාල වශයෙන් කරගෙන ගිය බව පෙනේ. ඡැරසචකසැි දf එයැ ෑරහඑයරස්බ ීැ් නම් ග්‍රන්ථයෙහිද ලංකාවේ බහුල වශයෙන් මුතු ලැබෙන බව සඳහන් කර ඇත. ඒ අතරම එහි විනිවිද පෙනෙන මැණික්ද රෙදි හා කැස්බෑ ලෙලිද ලක්දිව උපදින බව සඳහන්ය. ඇතුන් පිටරට යැවීම පිළිබඳ ඊලියන් මෙසේ සඳහන් කරයි. “දිවයිනේ වැසියෝ අසළ පිහිටි මහා රට වූ ඉන්දියාවට ඇතුන් විකුණති. ඇතුන් පටවා යැවීම සඳහා වනාන්තරවලින් කපාගන්නා ලද ලීයෙන් විශාල පාරා සාදා ඒවායේ පටවා යවනු ලැබේ.” ඒ අනුව ඇතුන් යවා ඇත්තේ කළිඟු රජුට බැව් පෙනේ. 

ටොලමි සඳහන් කරන පරිදි මීපැණි වී ඉඟුරු හාල් රිදී මැනික් ඇතුන් හා වෙනත් ලෝහ පතල් ලංකාවේ විය. බොහෝදුරට ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ ද්‍රව්‍යයන් වූයේ මේවාය. ටොලමි සිය ලංකා සිතියමෙහි තුඩු 8ක්ද ගංගා මෝයවල් 5ක්ද බොකු හා වරායවල් 4ක්ද ලකුණු කොට ඇත. මුහුදු වෙරළේ විශාල වෙළඳ මධ්‍යස්ථාන දෙකක්ද නගර 19ක්ද තවදුරටත් තිබුණු බව කියන ටොලමි ඒ අතර මාෂියන් ‘තප්‍රොබේනාහි’ ජනපද හෙවත් සත්‍රප 13ක්ද වෙළඳ මධ්‍යස්ථාන 22ක්ද දක්වා ඇත. සුලෙයිමාන් ලක්දිව අගිල්භාරන් ගොඩබිම් දේශයෙහි උපදින බවත් එහි වෙරළබඩ මුහුදෙහි මුතු හා හක් ලැබෙන බවත් සඳහන් කරයි. ස්ට්‍රාබෝගේ අදහස අනුව ඇත්දත් සමග කැස්බෑ පොතුද ඉන්දීය වෙළෙඳ මධ්‍යස්ථානවලට යවා ඇත. අබ්දුල්ලා නමැත්තා මෙරට ඇති රමණීය කඳුවලින් ඇදහැලෙන ගංගාවලින් පද්මරාග නිල්මිණි ආදී මැණික් වර්ග ලැබෙන බැව් කියයි. එද්රිස් නම් අරාබි ජාතිකයාගේ භූගෝල විද්‍යා ග්‍රන්ථයෙහි මැණික් කස්තුරි සුවඳවර්ග සුවඳලී ආදී දේ වෙළඳ ද්‍රව්‍ය වශයෙන් හඳුන්වා දී ඇත. මේ අන්දමින් ලක්දිව ඉතා වැදගත් වර්ගයේ මැණික් වර්ග ගැන බොහෝ දෙනෙක් සඳහන් කරති. 

මීළඟට ලංකාවෙන් ඉන්දියාවට කපු රෙදි යැවූ බවක්ද ඉතිහාසයෙන් කියැවේ. විජය කුමරු ලක්දිවට පා තැබූ අවස්ථාවේදී කුවේණිය කපු කටිනිම් සිටි බව කතා පුවත්වල එයි. එයින් හැඟෙන්නේ ඒ අවධියේ පටන්ම මෙහි කපු කර්මාන්තය ප්‍රචලිතව පැවති බවයි. ඉන්දියාවේ මිහිරකුල රජුගේ බිසව ලංකාවේ කපු ඇඳුම්වලට ඉතා ඇල්මක් දැක්වූ බව වාර්තාවලින් පෙනේ. මෙසේ ගෙන්වන ලද ඇඳුමක ලක් රජුගේ පා සටහන් ලකුණු දුටු මිහිරකුල රජු එයින් කෝප වී ලංකාව ආක්‍රමණය කළ බවද රාජතරංගනියේ සඳහන් වී ඇත. එමෙන්ම ලක්දිවින් භාරුකච්චයට කපුරෙදි ගෙන ගිය වෙළෙන්දෙකු ගැන ප්‍රාකෘත තීරන කල්පයේ සඳහන්ය.

මේ අයුරින් අනුරාධපුර යුගය අතරතුර ලංකාවෙන් පිටරට යැවූ ද්‍රව්‍ය රාශියකි. මුතු එයින් ඉතා වැදගත් බව ඉහත සඳහන් විණි. විජය හා දෙවනපෑතිස් රජුන් දඹදිවට යැවූ දූතයින්ට තුටු පඬුරු වශයෙන් ගෙනයාමට දෙන ලද්දේ මුතුමැණික් බව මහාවංසයේ සඳහන්ය. ඒවා ගජමුතු අස්මුතු ආදී වශයෙන් වර්ග 8කට බෙදා තිබිණි. පාහියන් කියන අන්දමට මුතු කිමිදීමේ සම්පූර්ණ අයිතිය තිබුණේ රජුටය. තවද ලංකාව ‘රත්නදීප’ ‘පාඕටු’ ආදී නම්වලින් හඳුන්වනු ලැබූයේ ලංකාව ඈත අතීතයේ පටන්ම මැණික්වලට ප්‍රසිද්ධියක් ඉසිලූ හෙයින් යැයි විස්වාස කළ හැකිය. මේ අතර පිටරටින් මෙරටට ගෙන්වූ ද්‍රව්‍ය අතර රෙදි පිළි ප්‍රධාන තැනක් ගන්නා ලදි. වැඩියෙන් රෙදි ගෙන්වනු ලැබූයේ ඉන්දියාවෙන් හා චීනයෙන්ය. 

මෙතෙක් දැක්වූ විදේශීය වෙළෙඳාම මෙන්ම අභ්‍යන්තර වෙළෙඳාමද දියුණු තත්ත්වයක පැවති බව බදුලු ටැම්ලිපිය දක්වන කරුණුවලින්ද පැහැදිලි වේ. ‘පදිවදිනා බඩු පෙරමගට ගොස් නොගන්නා ඉසා’ යනුවෙන් සඳහන් වීමෙන් සමහර වෙළෙන්දෝ වෙළඳපොළට ඒමට පෙර බඩු අයිතිකරුවන්ගෙන් අඩු මිළකට ඒවා ගත් බව පැහැදිලි වේ. එසේ එන අයගේ බඩු පෙරමගට ගොස් නොගත යුතු යැයි අණක් සඳහන් කර ඇත්තේ ඒ නිසා බව පෙනේ. මෙයින් සල්පිලක හෙවත් වෙළඳ මධ්‍යස්ථානයක පමණක් වෙළඳාම් කිරීමට අවසර තිබූ බව සඳහන්ව ඇත. මේ අනුව ප්‍රධාන වශයෙන් වෙළඳ නගරවලට වෙළෙඳුන් සිය රැකියාවෙහි යෙදී සිටි බව පෙනී යයි. ‘ගණලහස්සෙන් මිසැ සෙසු ලහසියෙන් නොමනිනු ඉසා’ ආදි වශයෙන් වී මැණීම් වැනි කාර්යයන්හිදී ඒවාටම වෙන්කර තිබූ මැණීම් උපකරණවලින් මැණීම් කරන ලෙස ද අවවාද කර ඇත. මෙහි ඇති විශේෂ දෙයක් නම් වෙන මිම්මක් මේ සඳහා පාවිච්චි නොකරන ලෙස දන්වා සිටීමයි. එයින් පෙනෙන්නේ මෙකලත් කූට වෙළෙඳුන් සිටි බවයි. ඒ කොයිහැටි වෙතත් මෙහි ‘ගණ’ යන්න වෙළඳ මණ්ඩලය යයි නිගමනය කිරීමට හේතු තිබේ. බමරගස්තලාව සෙල්ලිපියේද මෙය කරවූ වෙළෙන්දා ‘පරුමක’ නමින් හඳුන්වා ඇත. මොහු වෙළඳ සංගමයක නායකයා යැයි සිතිය හැකිය. එමෙන්ම කලින් සඳහන් කළ වෙළඳ නගර සමහර විට වෙළඳ පොළවල් වියහැකිය. බදුලු ටැම්ලිපියේ හෝපිටිගම් පදියැ යන තැන ‘පදි’ යන්න වෙළඳපොළ යන අර්ථය ගැබ්ව ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි. ඒ අනුව මේ වෙළඳ මණ්ඩල පැවති බව අනුමාන කළ හැකිය. තවදුරටත් වෙළඳ තොරතුරු ගෙන එන බදුලු හෝපිටිගම් ලිපිය වෙළඳපොළ ඒ ඒ බඩුවලට ඒ ඒ කොටස වශයෙන් එක් එක් කොටස් වෙන්කළ බවක් හා ඒ තැන් වෙනස් කිරීම වරදක් බවද දක්වා ඇත. එසේ ද්‍රව්‍ය අලෙවියට මණ්ඩප යොදා ඇත්තේ බදු අය කිරීමේ පහසුවට විය හැකිය. මෙයින් එකල ක්‍රමවත්ව පැවති නීති පද්ධතියක් යටතේ නගරවල සංවිධානාත්මක වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගිය බවට කොතෙකුත් සාක්ෂ්‍ය ලැබේ.

එපමණක් නොව වෙළඳපොළවල කෙරෙන නොයෙක් දූෂණ මග හැර ඒවා පාලනයට නිලධාරීහු වූහ. එමෙන්ම දඩ අයකර ගැනුමද ශිෂ්ට සම්මත පදනමක් පිටකරගෙන යන ලදි. ‘ගැල් නොගන්නා ඉසා’ ‘ගැල්ගොන් මීවුන් මැරියන් නොගන්නා කොට් ඉසා’ ආදී වශයෙන් සඳහන් වන මොරගොඩ සෙල්ලිපියෙන් ඒ බව පැහැදිලි වේ. අනෙක් අතට එකල ගමනාගමන පහසුව නොතිබීම වෙළඳාම දියුණු වීමට බාධකයක් වුවත් ඉහත සඳහනින්ම එකල හරකුන් යෙදූ වාහන තිබුණු බවක් කියවේ. බොහෝ විට තවලම් කරත්ත මේ වාහන වශයෙන් සැලකිය හැකිය.

මීළඟට ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙරට කුමන අන්දමේ ගනුදෙනු ක්‍රමයක් පැවතියේදැයි පිළිගැනීමට තරම් සාක්ෂ්‍ය අප ඉදිරියේ විද්‍යමාන එකිනෙක වෙළෙන්දන් අතර සිදු වූ ද්‍රව්‍ය හුවමාරුව ගැන සිතන්නට කොතෙකුත් කරුණු ඇත. නමුත් වෙළඳාම දියුණුවීම සමගම රෝම පර්සියානු අරාබි කාසි මෙරට පැතිර යන ලදි. සීගිරිය මන්නායි යාපහුව ආදී තැන්වලින් සොයාගත් කාසි ඒ බව කියයි. බොහෝවිට වැඩියෙන් එදා භාවිත වූ කාසි හඳුන්වනු ලැබූයේ කහවනු නමිනි. කෙසේ වෙතත් එකල වෙළඳුන් පාරිභෝගිකයින් හා නිෂ්පාදකයන්ගේත් පහසුව සඳහා මුදල් හා ධාන්‍ය ආදිය තැන්පත් කිරීමේ බැංකු ක්‍රමයක් තැබුණු බව සෙල්ලිපි ආශ්‍රයෙන් දැනගත හැකිව තිබේ. මේ තැන් නියමතන කියා ඒවායේ සඳහන් කර ඇත. එමෙන්ම මේ තැන්පත් කරන දෙයට පොළී එකතු වීමක්ද තිබිණි. මෙබඳු සංවිධානය වූ ආයතන ක්‍රමයක් මෙසේ තිබීම වෙළෙඳුන්ගේ මහත් පහසුවක් විය. එයින් වෙළෙඳුන්ගේ වැදගත් අවශ්‍යතාද පිරිමැසෙන්නට ඇත.

පදියතලාවේ ඤාණවිමල හිමි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය



No comments:

Post a Comment