සංඝරාජ සාධු චරියාවෙන් හෙළිවන වැලිවිට සරණංකර සංඝරාජ චරිතය සහ උන්වහන්සේගේ අධ්‍යාපන ශාස්ත්‍රීය සේවය
පදියතලාවේ ඤාණවිමල හිමිප්රවේශය
ලංකා ඉතිහාසයේ මහනුවර රාජ්‍ය සමය හෙවත් සෙංකඩගල අවධිය දේශපාලන, ආගමික, සමාජීය යන සියලු අංශ පරිහානියට පත්ව පැවති කාල වකවානුවකි. මෙම යුගය විශේෂයෙන්ම වැදගත් වන්නේ රාජ්‍ය යුගාවලියේ අවසානය සනිටුහන් කරන නිසා ය. අතොරක් නැතිව ඇති වූ විදේශීය ආක්‍රමණ නිසා විවිධ ව්‍යසනයන්ට රාජ්‍ය පත්වූ සේ ම බෞද්ධ ජන සමාජයට ද භික්ෂු සාසනයට ද උරුම වූයේ ඊට සමාන පරිහානීය තත්ත්වයකි. සංඝරාජ සාධු චරියාව නම් වූ මාහැඟි කෘතිය මගින් ප්‍රකාශ වන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිතය වුවත් එමගින් තත්කාලීන දේශපාලන තත්ත්වය මෙන් ම ආගමික, සමාජීය, සංස්කෘතික තොරතුරු ලබාගත හැකිය. මේ අනුව සංඝරාජ සාධු චරියාව අංශ ගණනාවකින් වැදගත්කමක් උසුලයි.
සංඝරාජ සාධු චරියාව කෘතියේ කර්තෘ වන්නේ ආයිත්තාලියැද්දේ මුහන්දිරම්රාළ යි. මහනුවර යුගයේ දී රචිත, මුද්‍රිත පිටු 54ක් පමණ වූ මෙය චරිත කථාවක් වශයෙන් පමණක් නොව තත්කාලීන සමාජයේ තොරතුරු රැසක් ලබාදෙන කෘති ඉතිහාස කෘතියක් ලෙස ප්‍රමාණ කළ හැකිය. ‘සාධු චරියාව’ යනු ශ්‍රේෂ්ඨ, උසස්, උතුම් චරිතය යන අදහස ගෙන දෙයි. ඒ අනුව මෙම කෘතියේ අන්තර්ගතය පිළිබඳ සියුම් අදහසක් ලබාගත හැකිය. එනම් වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ උසස් ජීවන චරිතය මෙමගින් ප්‍රකාශ කරන බවයි. කරුණු සංක්‍ෂිප්ත ලෙස දැක්වූවත් තත්කාලීන සමාජයේ ස්වභාවය මැනවින් හඳුනාගත හැකි බව කෘතිය පරිශීලනයේ දී පැහැදිලි වේ. මෙහි ඇති වැදගත්කම අතින් එය ප්‍රධානත්වයෙහිලා ගැණිය හැකිය. චරිත කථාවකින් යමෙකුගේ චරිතය දිගහැරෙන බව අපි දනිමු. එහෙත් තදීය කෘතියෙන් තත්කාලීන දේශපාලන, සමාජීය, සංස්කෘතික, ආගමික වාතාවරණය හෙළි කෙරෙන්නේ නම් එය උසස් කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍ර කළ හැකිය. එයට කදිම නිදර්ශනයක් ලෙස සංඝරාජ සාධු චරියාව ප්‍රමාණ කළ හැකිය. මෙම ලිපියෙන් සංඝරාජ චරිතය සහ උන්වහන්සේගේ අධ්‍යාපන ශාස්ත්‍රීය සේවය පිළිබඳ ඇගයීමක් කෙරේ.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ චරිතය
සොළොස්වැනි සියවසේ සිට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන විදේශීය ආක්‍රමණ-සංක්‍රමණවලින් ලාංකේය ජනතාව පීඩා විඳි අතර ඒත් සමගම ආරම්භ වූ මහනුවර යුගය ද අතිශයින් අඳුරු කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකිය. තම පියා ඝාතනය කිරීම නිසා හටගත් චිත්ත වික්ෂෝපයෙන් මිඳීම සඳහා පළමුවැනි රාජසිංහ රජු ශිව ආගම වැළඳගත් අතර ඔහු පමණක් නොව ඔහුට හිතපක්ෂ ආන්ධ්‍ර පූජකවරුන්ගෙන් සහ මුහුදුබඩ පළාත් පාලනය කළ පෘතුගීසීන්ගෙන් ලක්බුදුසසුනට එල්ල වූයේ ප්‍රබල තර්ජනයකි. මේ හේතුව නිසා අටළොස් වැනි සියවස එළඹෙත්ම ගණපූරණයට තරම්වත් භික්ෂූන් වහන්සේලා සොයා ගැනීමට නොහැකි විය.
මහනුවර යුගය පිළිබඳ මත කිහිපයක් පළ වී ඇත. සිංහල සාහිත්‍ය වංශය රචනා කළ පුඤ්චිබණ්ඩාර සන්නස්ගල පෙන්වා දෙන්නේ ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය කාලයේ සිට (ක්‍රි.ව. 1706 - 1739) ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලය (ක්‍රි. ව. 1798 - 1815) මහනුවර කාලය ලෙස දක්වා ඇත. මේ කාල පරාසය තුළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී රාජාධිරාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යනාදි රජවරුන් රාජ්‍ය විචාරා ඇත(සන්නස්ගල. පී. බී. සිංහල සාහිත්‍ය වංශය, 1994, 356 - 436). එසේ ම ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතාගේ අදහස වන්නේ 1592 දී රාජ්‍යපද ප්‍රාප්ත වූ පළමුවැනි විමලධර්මසූරිය රජුගෙන් ඇරඹි 1739 පමණ දක්වා සිංහල රජුන් යටතේ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සමයේ සිට ශ්‍රී විජය රාජසිංහ රජුගේ කාලය දක්වා නායක්කාර් වංශික රජුන් යටතේ ද පැවති රාජ්‍ය සමය මහනුවය යුගයට ඇතුළත් වන බවයි(හෙට්ටිආරච්චි, ඩී. ඊ. මහනුවර යුගයේ සිංහල සාහිත්‍ය, 1958, 58). දහසය වන ශතවර්ෂයේ අවසාන භාගයෙහි යළිත් සිංහල රාජධානිය උඩරට ප්‍රදේශයෙහිම පිහිටි සෙංකඩගල නුවර හෙවත් සිරිවර්ධන පුරයෙහි පිහිටුවන ලද්දේය. මේ රාජධානිය වර්ෂ 1815 දක්වා අවිනෂ්ටව පැවැත්තේය. මේ නයින් බලන කල මහනුවර රාජධානිය අවුරුදු 225ක පමණ කල් පැවැත්නේ යැයි සිතාගත හැකිය’ යනුවෙන් පී. ඊ. ඊ. ප්‍රනාන්දු මහතා ද අදහසක් ඉදිරිපත් කර ඇත(ප්‍රනාන්දු, පී. ඊ. ඊ. මහනුවර සමයෙහි අධ්‍යාපනය, 1958, 61). මේ මත කිහිපය අතුරින් සංඝරාජ සාධු චරියාව පිළිබඳ කථිකාවතේ දී වඩාත් වැදගත් පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සහ පී. ඊ. ඊ. ප්‍රනාන්දුගේ මතද්වය යි.
සරණංකර හිමියන් මෙලොව උපත ලබන්නේ ක්‍රි. ව. 1698 වර්ෂයේ මැද භාගයේ දී ය. මෝඩයන්ගේ පාරාදීසයක් වශයෙන් සිංහලයන් අතර විරුදාවලී ලැබූ තුම්පනේ වැලිවිට නම් ග්‍රාමයේ උපත ලබා ඇත( වාචිස්සර හිමි, කොටගම. සරණඩ්කර සඩ්ඝරාජ සමය, 2003, 149). අදාළ සිදුවීම සංඝරාජ සාධු චරියාවේ ‘ජනාකීර්‍ණ කන්ද උජ රට පහට ඇතුලත් බොහෝ ග්‍රාමයන් අතුරෙන් වෙල්ලස්සේ දිශාව සහ තුම්පනේ රට කරවූ කුලතුංග මුදලි පරම්පරානුගතව එන ස්වකීය බන්ධූ වර්‍ගයාගෙන් ගැවසී ගත් වැලිවිට යන ලෝකප්‍රසිද්‍ධ ග්‍රාමයෙහි එම ස්වකීය කුලතුංග මුදලි පරම්පරානුගතව පටබැඳි මුදියන්සේට සහෝදර මල් බෑව උපන් පින්වත් කුල දරුවාණ කෙනෙක් පූර්ව ජාතියෙහි සමුපචිත කුශලබල හෙතුයෙන්...’ යනාදි ලෙස දක්වා ඇත(සංඝරාජ සාධු චරියාව (සංස්.) අකුරටියේ විමලවංස හිමි සහ ආරියදාස සෙනෙවිරත්න, 1997, 2). මේ අනුව 1698 ජුනි මස 19 වැනි දින මෙම කුමරු උපත ලබා ඇති අතර ඔහුගේ පියාණන් වූයේ කුලතුංග නම් වූ ගොවි කුල මුදලි කෙනෙකි. ඔහුගේ නම කුලතුංග වූ අතර දෙටු සොහොයුරා කුලතුංග පටබැඳි මුදියන්සේ ය. මේ තොරතුරු විද්‍යමාන නමුදු ඔහුගේ මෑණියන් පිළිබඳ කිසිඳු සාක්‍ෂ්‍යයක් හමු නොවේ. ඇය උසස් කුලයක කාන්තාවක් නොවන හෙයින් ඇගේ නම ප්‍රසිද්ධ වී නැති විණැ’යි මෙතුවක් පළ වී ඇති මතය යි(වාචිස්සර හිමි, 150 පිටුව). සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතය කාව්‍යයට නැගූ මුංකොටුවේරාළ සඟරජවතේ දී කුලතුංග කුමරුගේ උපත පිළිබඳ දක්වා ඇත්තේ මෙසේ ය.
සක වසිනෙක් දහ ස
සසිය විස්සක් පිරිව ස
සතවක පිරි දව ස
උතුරු පුටුපෙන් අව පොසොන් ම ස
තුම්පනේ වැලිවි ට
ගොවිකුල මුදලි කෙනෙකු ට
දාව පිරිසිදු කො ට
ඉපිද වැඩෙමින් කෙළින වයස ට (සඟරජවත (සංස්.) ශ්‍රී චාල්ස් සිල්වා සහ යටවත්තේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මරතන හිමි, 72-74 කවි)
ළදරු කාලයේ සිටම රජ මාළිගයේ ඇසුර ලැබූ කුලතුංග කුමරු රාජසේවකයෙකු වනු දැකීම දෙමාපියන්ගේ අභිලාෂය විය. එනමුදු වයසට පත් වන ඔහුගේ අපේක්ෂාව ලෞකිකත්වයෙහි නොව ලෝකෝත්තරත්වයෙහි රැඳී පැවතුණි. කුඩා කල සිටම ගුණනුවණින් මෝරා වැඩුණු ඔහු නිති පන්සිල් රැක්කේය. පොහොය දිනවලදී අටසිල් රැක්කේය. කුසලකර්මයන්හි යෙදෙමින් ළමා කල ගත කළ ඔහුට ගිහිදිවියෙහි රැඳී සිටීමට අවශ්‍ය නොවීය. මේ නිසාම ඔහු උපත ලබා වර්ෂ කිහිපයකින්ම පැවිදි දිවියට ඇතුළු විය. ‘ළදැරු කාලයෙහි පටන් රත්නත්‍රය ශරණ පරායනව ශරණ ශීල පඤ්චශීල අෂ්ටාංගශීල සමාදානයෙහි යෙදී කුශල ධර්‍ම පූරණයෙහි නිරන්තරොත්සාහ බහුලව ගග්‍රහවාසයෙහි අලග්නව ප්‍රවුජ්ජාභිලාෂිව වසනුවෝ- මහෝස්තාහයෙන් මාතෘපිතෘන් අනුදන්වා ගෙන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් මහා රාජෝත්තමයන්ගේ කාලයෙහි සූරියගොඩ මහාස්ථවිර සාමීන් ළඟ නිවන් සඳහා සාමණෙර ප්‍රවුජ්ජාවෙන් පැවිදි සරණංකර සාමණෙර නාමයෙන් ප්‍රසිද්‍ධව වත් පිළිවෙත් සරුව පිණ්ඩපාත කිරීම එකලට නොපවතින නිසා පාත්‍රයෙන් පමණ වළඳමින්...’යනාදි ලෙස එකී කරුණ සංඝරාජ සාධු චරියාවෙන් පැහැදිලි වේ(සංඝරාජ සාධු චරියාව, 2-3 පිටු).
ඉහතින් සඳහන් කළ සූරියගොඩ විහාරය වූකලී යටිනුවර ගඟ පළාතේ පිහිටි ශ්‍රී නරේන්ද්‍රාරාමය යි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පටන් මෙම විහාරය රහතුන් වහන්සේලාගේ සිරිපා පහසින් පිදුම් ලැබී ඇත. එසේම සරණංකර සාමණේර හිමියන්ගේ ආචාර්යවරයා වූ සූරියගොඩ හිමිපාණන් වහන්සේ හෙවත් කිත්සිරිමෙවන් රාජසුන්දර තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ දෙවන විමලධර්ම සූරිය රජුගේ කාලයේ රක්ඛංග දේශයෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් උපසම්පදාව ලබා ඇත (වාචිස්සර හිමි, 151). පැවිදි දිවියට පත්ව කල්ගත කළ සරණංකර සාමණේර හිමි ශික්ෂාකාමීව සසුන්කෙත පෝෂණයෙහිලා කටයුතු ඇරඹූ බව හඳුනාගත හැකිය. ‘පාත්‍රයෙන් පමණක් වළඳමින් ලීම් කීම් බණ දහම් පුහුණු වීමෙන් ගුණනුවණ වැඩී...’ යනුවෙන් සාධු චරියාවේ දැක්වෙන පරිදි එකල සමාජයේ පිණ්ඩපාතයෙන් වැළඳීම සිදු නොවූ නිසා පාත්‍රයෙන් දානය වැළඳීම සිදු කළේය. එසේම එකල සිවුරු දරා සිටි භික්ෂූන්ගේ ක්‍රියා කලාපය දැකීමෙන් මහත් කලකිරීමට පත්වූ උන්වහන්සේ මෙකී ශාසන විලෝමයන්ට එරෙහිව ක්‍රියා කිරීමට අපේක්ෂා කළේය(පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාහ කිරීම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින්ම බලා උගන්ට ඕනෑය’ සංඝරාජ සාධු චරියාව, 3). ඒ සඳහා මුලින්ම දැනුමින් පෝෂණය ලබාගෙන සිටිය යුතු බව අවබෝධ කරගත් සරණංකර හිමියෝ ඉතා උනන්දුවෙන් එකී කර්තව්‍යයෙහි නියුක්ත වූහ.
ප්‍රථමයෙන්ම තමන් අධ්‍යාපනය ලබා දැනුමින් පෝෂණය විය යුතුයැයි හැඟීගියෙන් ඒ සඳහා සුදුසු ගුරුවරුන් සෙවීය. ඒ අනුව සරණංකර හිමියන්ට අවශ්‍ය වූයේ මුලින්ම පාලි භාෂාව හැදෑරීමටය. ඒ සඳහා දක්ෂයෙකු වූ ලෙව්කේරාළගෙන් පාලි ව්‍යාකරණය උගත්තේය. ලෙව්කේරාළ මහනුවර පෝයමළු විහාරයේ වටබුලුවේ මහතෙරුන්ගෙන් බාලාවතාරයේ නාම කාණ්ඩය තෙක් උගෙන සිටියේය. නමුදු කළ යම් වරදක් නිසා මෙකල සිටියේ සිරගතවය. සරණංකර හිමි ඔහුට සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ යැයි පවසා එය ද පුහුණුකරවා ඉතා ආයාසයෙන් බාලාවතාරයේ නාම කාණ්ඩය උගත්තේය. ‘ඒ මහත්මයා ගමින් පිටත ඒ කන්ද ස්වමීපයේ බෝධීන් වහන්සේ පිහිටි විහාරයට එන යන ප්‍රස්ථාව බලා, තමන් වහන්සේ ද කන්දේ සිට ඒ ප්‍රස්ථාවට ඒ විහාරයට එමින් ඒ ස්ථානේ දී ම බාලාවතාරේ නාම කාණ්ඩය කියවා ගනිමින්, පාඩම් කරන දේ වහ වහා වැල්ලේ ලියවා ගනිමින්, එසේ ලියවා කියවා ගන්නා දේ ඒ මහත්මයාටත් නොදන්වා වර්ධනය කරනු පිණිස ගුණවත් යහපත් සිටිනාමළුවේ සිල්වත් පින්වත් නමට කියවමින් ලියවමින්...’යන්නෙන් ඒ බව පැහැදිලි වේ(සංඝරාජ සාධු චරියාව, 4). එපමණක් ද නොව පල්කුඹුරේ අත්ථදස්සි හිමියන් වෙත ගොස් උන්වහන්සේගෙන් පාලි සමාස කාණ්ඩය, පාලි කිතක කාණ්ඩය හා පදසිද්ධිය ද උගෙන ඇත.
මෙම කාලවකවානුවේ ගණින්නාන්සේ නමින් ශාසන කටයුතු සිදුකළ පිරිස සීලයෙන් හා පැවැත්මෙන් සංවර නොවන බව හඳුනාගත් සරණංකර හිමි ශාසනය ශෝධනය කිරීමට අදිටන් කරගත්තේය. ඒ සඳහා උන්වහන්සේ මුලින්ම පිඬු පිණිස හැසිරීම කදිම යැයි තෝරාගත්ත ද ඒ සඳහා වැඩි පළමු දිනයේදීම අහරක් නොලැබිණි. පිඬු පිණිස හැසිරීමට පෙර තමා වෙත දන් රැගෙන පැමිණි සැදැහැවත් ජනතාව ද බැහැර කළේය. එකල පිණ්ඩපාතයේ වැඩම කිරීම යනු කුමක්දැයි මිනිසුන් නොදැන සිටි බව ඔවුන්ගේ ක්‍රියා කලාපය මගින් පැහැදිලි වේ. ‘රජමහවෙහෙරට අයිති ගම්දෙගොඩෙහි පස්පියවර වෙනතුරු ගෙපිළිවෙළින් පිඬු සිඟා ගොසිනුදු එ ලෙස පිඬු සිඟීමක් එකලට නැති මනුෂ්‍යයෝ කිසි ම ආහාරයක් දෙන සේ නො දැන...’ කෙසේනමුත් බුද්ධකාලීනව සිට පැවතගෙන ආ ශාසනික පිළිවෙත ක්‍රමයෙන් සැදැහැවත් ගිහි ජනතාවට පුරුදු කිරීමට කෙටි කලකින්ම සරණංකර හිමියන්ට හැකි විය(සංඝරාජ සාධු චරියාව, 5).
සරණංකර හිමියන් ගැන පැහැදුණු බොහෝ තරුණ පිරිසක් උන්වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබූහ. එම සාමණෙර හිමිවරුන්ට ශාසනික වත්පිළිවෙත් මැනවින් ඉගැන්වූ සරණංකර හිමියෝ ‘සිල්වත් සාමණෙර සමාගම’ ආරම්භ කළහ. වයස් ප්‍රමාණය අනුව අධ්‍යාපනය ලබා දීමට වෙහෙසගත් උන්වහන්සේ කුඩා වියේ වූවන්ට හෝඩිය ද අකුරු දන්නා උදවියට සකස්කඩය, ඇණවුම් පිරිත ආදිය ද බොහෝ සෙයින් අක්ෂර පුහුණුකළවුන්ට ශතකපොත් වනපොත් කිරීම, හෙරණසිඛ, දිනචරියාව, සතරසංවර සීලය, සේඛියා ආදි දෑ ද ප්‍රගුණ කරවීය. මේ අනුව ඉසිපිටියේ සාමණේර තැන, කප්පාගොඩ, නාගොල්ලේ, අලුත්නුවර, මැදවෙල, කුඹල්දිවෙල, වැවගෙදර, අහුගොඩ, පහන්කුඹුර, දාහිගමුවෙ, මාලගම්මන ආදි සාමණේර හිමිවරුන් ශික්ෂාකාමී උගත් බුද්ධිමත් ශිෂ්‍ය පිරිසක් වූහ.
මෙකල ධර්මයට පටහැනි අධර්ම මත සමාජගත කළ එක්තරා බමුණෙක් සිටි අතර ඔහුගේ භාෂාඥානයට සමකළ හැක්කෙක් සිටියේ නැත. රාජපුරුෂයන් ඔහු අල්වාගත් අතර ඔහු කියූ එක්තරා ශ්ලෝකයක අර්ථය එතෙක් දක්ෂයෙකු ලෙසින් පෙනී සිටි අධිකාරම් නිලමේටවත් අවබෝධ කරගත නොහැකි විය(විද්වානේව විජානාති - විද්වජ්ජන පරිශ්‍රමම්, න හි වන්ධ්‍යා විජානාති - ගුර්වීං ප්‍රශව වේදනාම්, සංඝරාජ සාධු චරියාව, 9). එවිට ‘වැලිවිට උන්නාන්සේට නම් පිළිවණි’ යැයි එකෙකු පැවසූයෙන් වහා උන්වහන්සේ කැඳවූයෙන් එහි වැඩමකළ සරණංකර හිමියෝ එකී ශ්ලෝකයේ අර්ථය පැවසූ අතර මිථ්‍යාදෘෂ්ටික බමුණා එමගින් දමනය කළහ. ධූතාංග පිළිවෙත් සහ ග්‍රන්ථධුරය යනාදි අංශද්වයම ප්‍රගුණ කළ සරණංකර හිමි ප්‍රධාන සිල්වත් සමාගම බොහෝ සෙයින්ම ශික්ෂාකාමී වූහ. නිතිපතා පිඬු පිණිස වැඩම කළ අතර වැරදි සහිත සාමණෙර හිමිවරුන්ගේ එකී වැරදි නිවැරදි කරගැනීම සඳහා අවශ්‍ය අනුශාසනා ද සිදු කළේය. පාංශුකූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, පසදානචාරිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය, ආරණ්‍යකාංගය යන ධූතාංග පිරූ අතර ග්‍රන්ථධුරය වශයෙන් සතර සංවරශීලය, හෙරණසිඛ, සේඛියා, සූතිස් යෝධයන් හා ශීලානිසංස, කාමයෙහි ආදීනව, ධම්පියා සන්නේ, තෙල්කටාහ ගාථා, ශතකපොත්, නිඝණ්ඩුව, ධාතුපාඨය, බාලාවතාරය, පද සාධනය, වරනැගිලි ආදිය කියවීමෙන් හා ලියවීමෙන් ප්‍රගුණ කළහ. එපමණක් ද නොව පාලි බොධිවංසය, අත්තනගලුවංසය, අභිධානප්පදීපිකා ආදි පොත්පත් ද කියවමින් ඒවායෙහි අන්තර්ගත කරුණු සිහි තබාගත්හ.
නිසි වයස් සපිරුණු තැන උපසම්පදාව ලැබිය යුතු නමුදු මෙකල උපසම්පදාව ලත් භික්ෂුවක් මෙරටෙහි සිටියේ නැත. උපසම්පදාව පිහිටුවීමට නම් උපසම්පදාව පිහිටි සියම් දේශයට ගොස් ආරාධනා කොට එය ලබාගත යුතු නමුත් ඒ සඳහා මුහුදින් යන්නේ නම් මුහුදට බිලියක් දිය යුතු බවට රාවයක් ගියේය. එවිට සරණංකර හිමි ප්‍රකාශ කළේ එසේ නම් තමා බිලි කොට ලක්සසුන නංවාලීම පිණිස උපසම්පදාව නැවත මෙහි පිහිටුවන ලෙසයි. කෙසේ නමුත් සියම් දේශයෙන් මෙරටට උපසම්පදාලාභී භික්ෂූන් වැඩම කරවා මෙහි උපසම්පදාව පිහිටවූ අතර එය සිදුවූයේ බුද්ධවර්ෂයෙන් දෙදහස් දෙසිය අනුසය වැන්නෙහිදීය. සියමෙන් වැඩි උපසම්පදාලාභියෙකු මුලින්ම උපසම්පදාවට පත් කළ අතර ඉනික්බිතිව කොබ්බෑකඩුවේ, සරණංකර, හුලංගමුවේ, බඹරදෙණියේ, තිබ්බටුවාවේ, නාවින්නේ ආදි සාමණෙර හිමිවරුන් උපසම්පදා භූමියට පත් කරන ලදහ. මෙහි දී සියමෙන් වැඩම කළ උපාලි මහතෙරුන් වහන්සේ උපාධ්‍යායන් වශයෙන් කටයුතු කළහ. උපසම්පදාව ලබාදීමෙන් පසු ලංකාවෙහි ස්ථාන කිහිපයක උපසම්පදා සීමා තැබූ අතර එයින් පසු උපසම්පදාව ලක්සසුනේ යළිත් පිහිටියේය.
කෙටි කලක් ඉක්ම ගිය පසු මෙකල රාජ්‍ය විචාල කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයා සරණංකර හිමියන්ට සංඝරාජ තනතුර ලබාදෙනු වස් වටාපතක් පිරිනැමූයේය. එපමණක් ද නොව විහාරයන්හි අධිපතීත්වයට පත් කරමින් සිද්ධාර්ථ බුද්ධරක්ඛිත තෙරුන්ට පෝයමළු විහාරයේ නායක පදවිය ද උරුලෑවත්තේ ධම්මසිද්ධි තෙරුන්ට අස්ගිරි විහාරයෙහි නායක පදවිය ද රජු ලබාදුන්නේය. ඒ ආකාරයෙන් ශාසනයෙහි මතු පැවැත්ම පිණිස රජු කළ ක්‍රියාව ප්‍රශංසනීයය(‘...මල්වත්තේ පෝයගේ සඟ මැදට වැඩ සංඝරාජ තනතුරට ලැබෙන වටහපත ගෙන වදාරමින්, සියලු මේ ශාසනාභිවෘද්ධියට මූලාධාර වශයෙන් ගුරූපදේශයට පැමිණ වැඩ සිටින සරණංකරාභිධාන මහාස්ථවිර සාමීන් වැඩ ඉන්නා තැනට පැමිණ විහාර දෙකට ම සංඝරාජ තනතුරු ලැබුණා ය කියා යෙදී වටහපත ඒ සාමිදරුවන් අතට ලැබී නමස්කාර කොට වදාරමින් ඉන් පසු එම සංඝරාජ සාමීන්ගේ දැනමිති ශිෂ්‍ය උන්නාන්සේලා අතුරෙන් ගුණ නුවණ පින් ඇති තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත උන්නාන්සේට වටහපත ලැබී පේයමළු විහාරේ නායක තතනතුරු ද ඊගාවට උරුලෑවත්තේ ධම්මසිද්ධි උන්නාන්සේට වටහපත ලැබී අස්ගිරි විහාරේ නායක තනතුර ද ලැබුණා ය...’ සංඝරාජ සාධු චරියාව, 20).
මේ ආකාරයෙන් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් තම දිවි දෙවැනි කොට ශාසන බ්‍රහ්මචර්යාවේ නියුක්ත වූ අතර සැම විටම අනෙකාගේ හිතසුව පිණිස කටයුතු කළ බව පෙනේ. ගණින්නාන්සේලා වැඩි වශයෙන් සිටි සමාජයේ ඔවුන්ගේ එදිරිවාදිකම් හමුවේ පසුබව නොවී ශාසනයේ නියම ස්වරූපය ඇති කිරීමට උන්වහන්සේ කැපවී ක්‍රියා කළහ. ධර්ම ප්‍රචාරක සේවයේ ද යෙදුණු උන්වහන්සේ ගම්දනව් සිසාරා යමින් සැහැදැති බෞද්ධ පිරිසක් බිහිකිරීමට එඩිතරව ක්‍රියා කළහ. “ලක්දිව ශෝභාමත් වන සේ ගමින් ගම රටින් රට වෙහෙර විහාරාදියෙහි නිරන්තරයෙන් පවත්වන පූජාසත්කාර විධානාදියෙන් අතුරු නැතිව සතුරු මිතුරු හා හැමදෙනම සොඳුරු මහරු තුණුරුවන් වැඳ පුදා සොඳින් දිවසැපත් සහ නිවන් සැපත් ලැබ සසර දුක් ගෙවීමට උපදේශ යොදන ශිෂ්‍ය ගණයා ඒ ඒ රටවල ඒ ඒ ගම්වල සැරිසරමින් නිරන්තර වශයෙන් ඒ ඒ තන්හි විසීමට පැමිණවීමෙන් ද, තමන් වහන්සේ විසිනු දූ කලින් කලට නොයෙක් ලෙසින් ලෝවැඩෙහි යෙදී චාරිකා කිරීමෙන් අපමණ සත්ව සමූහයා අකුසලින් මුදා කුසල ධර්මයෙහි පිහිටු වීමෙන් මහෝඝයක් සෙයින් එළවන ලද...” යනාදි ලෙසින්, උනවහන්සේ තම ශිෂ්‍ය ප්‍රජාව ධර්ම ප්‍රචාරයෙහි යොමු කොට තමන් වහන්සේ ද ඒ සඳහා වැඩම කොට ඇති බව පැහැදිලිය.
සරණංකර සංඝරාජ හිමියෝ ශාසනික වශයෙන් පමණක් නොව අධ්‍යාපනය නගා සිටුවාලීමට ද මහත් පරිශ්‍රමයක් ගත්හ. ඒ බව පසුව සඳහන් කෙරේ. එයින් නොනැවතී ධර්ම ග්‍රන්ථ කිහිපයක් ද රචනා කොට ඇත. මේ සැම දේම සිදු කළේ ශාසනය නගා සිටුවීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. තමන්ට කෙතරම් උසස් තනතුරු ලැබුණ ද ඒ සැමෙකක්ම නිහතමානිව භාරගත් උන්වහන්සේ එයින් උඩඟු භාවයට පත් නොවූහ. වර්ෂ අසූඑකක් පරමායුෂ වැළඳූ උන්වහන්සේ ලොවෙහි ධර්මතාව පසක් කරමින් ක්‍රිස්තු වර්ෂ 1700 ඇසළ මස පුර පසළොස්වක පොහෝ දා අපවත් වී වදාළ සේක. උන්වහන්සේගේ අපවත් වීමෙන් ශෝකවූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස පමණක් නොවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද අතිශයින් ශෝකයට පත්වූයේය. මහත් රාජගෞරවය සහිතව සංඝරාජ ශ්‍රී දේහය දවාලූ අතර සත්දිනකට පසු උන්වහන්සේ සිහිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමා සඟරජ භෂ්මාවශේෂ නිදන් කොට අම්පිටියේ චෛත්‍යයක් ද සෑදවීය. එය ‘සංඝරාජ චෛත්‍යය’ නමින් හඳුන්වනු ලැබීය(‘අංපිටියෙ ආරාමයෙහි වූ විහාර මළුයෙහි ඒ අස්ථි නිධානය කොට ශාරීරික ධාතූන් ඊමත්තෙහි පිහිටුවා චතුර්දිශාධිපති මහත් ඇමතියන් ලවා චෛත්‍යයක් බඳවා ශාසනාන්තර දක්වා සංඝරාජෝත්තම චෛත්‍යය යි කියා පුද සත්කාර පවත්වමින්...” සංඝරාජ සාධු චරියාව, 54).
සරණංකර හිමියන්ගේ අධ්‍යාපන ශාස්ත්‍රීය සේවාව
මහනුවර යුගයෙහි පූර්ව භාගය ගත් කල්හි සාහිත්‍යයාත්මක වශයෙන් අඳුරු කාලපරිච්ඡේදයක් වශයෙන් සැලකිය හැකිය. විවිධ අංශයන් කෙරෙහි අවධානය දැක්වූ අය අතින් පොත්පත් කිහිපයක් රචනා වී ඇති බව පෙනේ. බණකවිපොත් ලිවීම, දෙමළ භාෂාවෙන් ලියූ පොත් සිංහලට පරිවර්තනය කිරීම, විත්ති කඩයිම් පොත් ලිවීම, ගැමි කාව්‍ය ලිවීම ආදිය මෙකල සිදු වී ඇත(සන්නස්ගල, පී.බී. සිංහල සාහිත්‍ය වංශය, 1994, 338-339). පාලි, සංස්කෘත ආදි භාෂා පිළිබඳ ප්‍රාඥයන් මෙකල දුර්ලභ වූ බව පැහැදිලිව හඳුනාගත හැකිය. සරණංකර හිමියන් සාමණේර අවධියේ දී පාලි ව්‍යාකරණය ඉගෙනීම සඳහා ගත් වෙහෙස මෙහි දී අමතක කළ නොහැකිය. මෙසේ අධ්‍යාපන මට්ටම ඉතා පහළ තත්ත්වයක පැවතීමට බලපෑ සාධක අධ්‍යයනය කළ යුතුය. එසේ බලන කල,
රජයේ අනුග්‍රහය අල්ප වීම
අවශ්‍ය පොතපත දුලබ වීම
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම යටපත් වීම
අදාළ සංවිධාන නොමැතිකම
පොදු ජනතාවගේ උනන්දුව හීන වීම ආදි කරුණු ප්‍රමුඛ වේ(ධම්මරතන හිමි, කිරිඳිගල්ලේ. “වැලිවිට සංඝරාජ මාහිමියන් නිසා ඇති වූ අධ්‍යාපනය, 1995, 44). මෙකී සියලු අභියෝග ජය ගැනීම සරණංකර හිමියන් වෙත පැවරුණු අභියෝගය වේ. මුලින්ම උන්වහන්සේ තමා සමීපයට පැමිණි ළමා වියේ සහ තරුණ වියේ පසුවූ අයට අක්ෂර විද්‍යාව සහ වනපොත් කළයුතු දෑ පෙන්වා දෙමින් ඒවායෙහි ඔවුන් ප්‍රාඥයන් කළහ. “...මහණ වීමට ඇදහිලි ඇති දන්නා නොදන්නා වයස් ඇති සත්පුරුෂයන් කසාපිළි හඳවා දහසිල් දෙමින් සිල්වත්තැන් ය වන ව්‍යවහාර කොට බොහෝ සමාගමක් විහාර දෙක ඇර අමුතුවෙන් වැලිවිට උන්නාන්සේගේ සමාගම ය කියා උපදවාගෙන අකුරු නො කී ළදරු වයස් ඇති අයට හෝඩිය පටන් ද, සිල්වාරම් අකුරු දන්නා අයට ඇණවුම් සකස්කඩ පටන් ද, සමහර අයට ශතකපොත් පටන් ද, කීම් ලීම් උගන්වමින් හෙරණසික, දිනචරියාව, සතර සංවර සීලේ...” යන්නෙන් ඒ බව පැහැදිලි වෙයි(සංඝරාජ සාධු චරියාව, 7).
සිල්වත් සමාගම ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි අත්‍යන්තයෙන් ක්‍රියා කළ සරණංකර හිමියෝ මේ සඳහා රජුගේ අනුග්‍රහය ද ලබා ගත්හ. නූතන යුගයේ ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන උඩුනුවර ඇම්බැක්කේ දේවාලයට නුදුරින් පිහිටා ඇති නියමකන්ද නම් ස්ථානයේ පිහිට වූ පිරිවෙන් ආයතනය අතිශය වටිනා කාර්යභාරයක් ඉටු කළේය(“...මාම්පිටියේ නවරත්න අම්‍රතහස්ත මුදියාන්සේ යන මහත්මා ලවා උඩුනුවර ඇම්බැක්කේ දේවාලයට නුදුරු වූ ඡායූධක සම්පන්න තපොජන මනොනන්දනීය සුන්දරතර නියමකන්ද යන වන ප්‍රදේශයෙහි විශාල ශාලා ගෘහ පංක්ත්‍යාදීන් සමුපශෝභිත කොට කරවන ලද ආරාමයෙහි ශිෂ්‍ය වර්ගයා සමග වැඩ වසන සේ සලස්වා..” සංඝරාජ සාධු චරියාව, 13). එපමණක් නොව එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ද ලබාගැනීමට කටයුතු කළේය. එහි පාලි, සංස්කෘත, සිංහල ආදි විෂයයන් ඉගැන්වූ අතර එකී භාෂාවන් ඉගැන්වූ එකල පිහිටි එකම ආයතනය එය විය. ශතවර්ෂ දෙකක් පමණ කලක් වියැකී තිබූ භික්ෂු අධ්‍යාපනය නංවාලීමට ඒ අයුරින් සරණංකර සංඝරාජ හිමි ක්‍රියා කළ බව හඳුනාගත හැකිය(අධිකාරි, අබයරත්න. ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනය හා මහසඟන, 2002, 264). සිල්වත් සමාගම කෙරෙහි පමණක් නොව නියමකන්දේ විද්‍යාස්ථානය දිනෙන් දින දියුණු භාවයට පත් කිරීම පිණිස රජුගෙන් ද අනුග්‍රහය ලබා ගෙන ඇති බව පැහැදිලි ය. මෙහි අධ්‍යාපන රටාව ගැන පැහැදුණු රජතුමා ගුරුශිෂ්‍ය දෙපක්ෂයේ නඩත්තුව පිණිස ගම්පළ අටුවෙන් සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය දානෝපකරණ සපයා දී ඇත. (ගංපළ අටුවෙන් තිස් දවසකට හාල් තුන්දාහකුත්, තුම්පනෙන් පොල් තුන්සීයකුත්, මහගබඩාවෙන් සෙසු ලවණම්බිලාදි උපකරණ දේත්, ලේවැල්ලේ තල්වත්තෙන් තල්කොළ පන්සියය බැගිනුත්, දෙන ලෙසට ව්‍යවස්ථා විධි පවත්වා වඳාළ තැනේ දී...) එතැනින් නොනැවතුණු රජතුමා පොතපත ලිවීමට අවශ්‍ය කරන පුස්කොල තුන්මසකට 500 බැගින් ලබා දීමට කටයුතු කර ඇත(සංඝරාජ සාධු චරියාව, 13).
නියමකන්දේ විද්‍යාස්ථානය හැරුණු කොට තවත් විහාරස්ථාන කිහිපයක එහි අනුශාඛා පිහිටුවා තිබේ. රිදී විහාරය, දඹුලු විහාරය, දෙගල්දොරු විහාරය, කුරුඹුරේ විහාරය, මාතර කළුගල් ආරාමය, පැල්මඩුල්ල විහාරය ඉන් ස්ථාන කිහිපයකි. මෙකී ස්ථානවල ලබාදුන් මූලික අධ්‍යාපනයේ දී හෝඩිය, මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන්කවිපොත, බුද්ධ ගද්‍යය හා සකස්කඩය ආදිය ද ඉන්පසු නාමාෂ්ට ශතකය, අනුරුද්ධ ශතකය, ප්‍රත්‍ය ශතකය ආදි කෘති ද කියවන ලදි(විජයශ්‍රීවර්ධන, විභාවි. සිංහල භාෂාධ්‍යයන සම්ප්‍රදාය හා පාඨ්‍ය ග්‍රන්ථ, 2000, 107). මේවායෙහි පැවිදි සාමණේර හිමිවරුන් හැරුණු කොට ගිහි උදවිය ද ඉගෙනගෙන ඇත. වනපොත් කිරීම හා පාඩම් අවබෝධ කිරීමෙහි සමර්ථ වූවන් එහි දුහුනන් සඳහා පාඩම්මාලා නැවත නැවත කියාදිය යුතුවේ(හේවාවසම්, ප. බ. ජි. මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන, 1966, 22).
සරණංකර හිමියන් අධ්‍යාපන තත්ත්වය වර්ධනය කරගනු පිණිස උපයෝගි කරගත් ක්‍රමශිල්ප කිහිපයක් හඳුනාගත හැකිය.
සාක්ෂරතාඥානය වර්ධනය කිරීම
වණපොත් කිරීමේ ක්‍රමය
අර්ථාවබෝධය
තුලනය කිරීම
ඒ ඒ ශිෂ්‍යයනට අනුරූප පාඨමාලා ක්‍රමයක් අනුගමනය කිරීම
දැනුම අඛණ්ඩ ඇගයීමකට භාජන කිරීම
ආදිය ඒ අතර වේ(පඤ්ඤාලෝක හිමි, මීගොඩ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය, 2002, 281). එමගින් අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම පිණිස කටයුතු කර ඇත. පැල්මඩුල්ල විද්‍යා ස්ථානයෙන් පසුකාලීනව බිහි වූ කීර්තිමත් භික්ෂූන් වහන්සේලා වූහ. වලානේ සිද්ධාර්ථ හිමි, රත්මලානේ ධර්මාලෝක හිමි, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත, හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදි පිරිස එහි දී වැදගත් ය. උන්වහන්සේලා සංඝරාජ හිමියන් ගෙන ගිය ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යමින් පිරිවෙන් ස්ථාන කිහිපයක් ආරම්භ කළහ. ඒ අනුව සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ ද ධර්මාලෝක හිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ ද සුමංගල හිමියන් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ද පිහිටුවීය. මෙසේ පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමයෙන් දියුණු මට්ටමකට පත්ව ඇති බව මැනවින් හඳුනාගත හැකිය.
සංඝරාජ හිමියන් බිහිකළ ශිෂ්‍ය පරපුරෙහි ප්‍රධාන ශිෂ්‍යයා වන්නේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමිපාණන්ය. උන්වහන්සේ කෘති කිහිපයක් රචනා කර ඇත. සද්ධර්මාවවාද සංග්‍රහය, සතිපට්ඨාන සූත්‍ර සන්නය, සද්ධර්මෝපායන සන්නය, ශ්‍යාමෝපසම්පදාව, චූලවංශයේ අතිරේකය ආදිය උන්වහන්සේ එසේ රචනා කළ කෘතිය. එසේම දරමිටිපොල ධර්මරක්ෂිත හිමියන් ද පාලි ව්‍යාකරණය සම්බන්ධයෙන් ප්‍රඥයෙකි. උන්වහන්සේ පාලි සන්දේශ කිහිපයක් ද රචනා කර ඇති බව පෙනේ. එසේම ගිනිගත්පිටියේ සංඝරක්ඛිත, රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත, හීනටිකුඹුරේ සුමංගල, මොරතොට ධම්මක්ඛන්ධ ආදි හිමිවරු ද මහාප්‍රාඥයෝ වූහ. කලක් පැවිදි දිවියක් ගත කළ අත්තරගම රාජගුරු බණ්ඩාර ද සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයෙකි. සුධීරමුඛ ඛණ්ඩකය, ශබ්දමාලාව හා වෘත්තාවතාරය, කාරක පුෂ්ප මඤ්ජරිය ආදිය ඔහුගේ නිර්මාණ වේ.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ද ශාස්ත්‍රීය සේවයේ නියුක්ත වූ යතිවරයෙකි. උන්වහන්සේ කෝට්ටේ යුගයේ වැඩවිසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හැරුණු කොට ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ ධර්ම ශාස්ත්‍රීය විශාරදයෙකු ලෙස සැලකීම සාවද්‍ය කරුණක් නොවේ. මුනිගුණාලංකාරය, අභිසම්බෝධි අලංකාරය, සාරාර්ථ සංග්‍රහය, රත්නත්‍රය ප්‍රණාම ගාථා සන්නය, භේසජ්ජ මඤ්ජුසා සන්නය, සතර බණවර සන්නය, මහාබෝධිවංස සන්නය, රූපමාලාව, පාලි සන්දේශය ආදිය උන්වහන්සේ රචනා කළ කෘති වශයෙන් සැලකිය හැකිය(වාචිස්සර හිමි, 236).
මේ අනුව තමන් වහන්සේ අධ්‍යාපනය ලබාගැනීම පිණිස විඳි කටුක ප්‍රයත්නය සිහිකොට ගෙන එවැනි ගැහැටක් නොවනු පිණිස කටයුතු කළ ආකාරය ප්‍රශස්තය. මහාපඬිවරුන් රැසක් බිහිකරමින්, නියමකන්දේ විද්‍යාස්ථානය ඇතුළු අධ්‍යාපන ආයතන ආරම්භ කරමින්, ශාස්ත්‍රීය හා ධර්ම ග්‍රන්ථ රචනා කරමින් අඳුරට යමින් තිබූ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ගිය අධ්‍යාපන ව්‍යාපාරය අනුස්මරණීය ය.
සමාලෝචනය
මහනුවර යුගයේ දී ආයිත්තාලියැද්දේ මුහන්දිරම්රාළ විසින් රචනා කළ වැලිවිට සරණංකර සංඝරාජ තෙරුන් වහන්සේගේ චරිතය දිගහැරෙන සංඝරාජ සාධු චරියාව චරිත කථාවක් වශයෙන් හඳුන්වා දියහැකිය. නමුදු තත්කෘතියෙන් හෙළිවන්නේ උන්වහන්සේගේ චරිත කථාව පමණක්ම නොවේ. තත්කාලීන දේශපාලන තත්ත්වය, ආගමික තත්ත්වය, සමාජීය තත්ත්වය, අධ්‍යාපන තත්ත්වය ආදි බොහෝ කරුණු රාශියක් එමගින් ප්‍රකට වේ. මෙම ලිපියේ දී උන්වහන්සේගේ භික්ෂු ජීවිතය පිළිබඳව මෙන්ම උන්වහන්සේ ගෙන ගිය අධ්‍යාපන හා ශාස්ත්‍රීය සේවය පිළිබඳ කරුණු ගොනු කර ඇත. එකල මෙකී අංශද්වයෙහිම පරිහානි ලක්ෂණ පෙන්නුම් කෙරිණි. කෙසේ නමුත් උන්වහන්සේ ගෙන ගිය ශාසනික හා ආධ්‍යාපනික ක්‍රියාවලයෙහි ප්‍රතිඵල අද ද අප භුක්ති විඳින බව සාවද්‍ය කරුණක් නොවේ.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
1. පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය, බත්තරමුල්ල: සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 1994.
2. ඩී. ඊ. හෙට්ටිආරච්චි, “මහනුවර යුගයේ සිංහල සාහිත්‍ය”, ශ්‍රී පුෂ්පදාන ස්වර්ණ ජයන්ති සංග්‍රහය (සංස්.) ඇම්. බී. ආරියපාල, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1958.
3. පී. ඊ. ඊ. ප්‍රනාන්දු, “මහනුවර සමයෙහි අධ්‍යාපනය”, ශ්‍රී පුෂ්පදාන ස්වර්ණ ජයන්ති සංග්‍රහය (සංස්.) ඇම්. බී. ආරියපාල, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1958.
4. කොටගම වාචිස්සර හිමි, සරණඩ්කර සඩ්ඝරාජ සමය, බොරලැස්ගමුව: විසිදුනු ප්‍රකාශන, 2003.
5. සංඝරාජ සාධු චරියාව (සංස්.) අකුරටියේ විමලවංස හිමි සහ ආරියදාස සෙනෙවිරත්න, කොළඹ: සමයවර්ධන පොත්හල, 1997.
6. සඟරජවත (සංස්.) ශ්‍රී චාල්ස් සිල්වා සහ යටවත්තේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මරතන හිමි, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.
7. කිරිඳිගල්ලේ ධම්මරතන හිමි, “වැලිවිට සංඝරාජ මාහිමියන් නිසා ඇති වූ අධ්‍යාපනය (සිංහල, පාලි හා ධර්ම ග්‍රන්ථ)”, වැලිවිට සරණංකර සංඝරාජ ප්‍රණාමය (සංස්.) කණ්ඩලමේ ධර්මකීර්ති හිමි සහ තැරූලේ ධම්මරතන හිමි, කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 1995.
8. අබයරත්න අධිකාරි, ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනය හා මහසඟන, කොළඹ: තිවිර ප්‍රකාශන, 2002
9. විභාවි විජයශ්‍රීවර්ධන, සිංහල භාෂාධ්‍යයන සම්ප්‍රදාය හා පාඨ්‍ය ග්‍රන්ථ, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2000.
10. ප. බ. ජි. හේවාවසම්, මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන, කොළඹ: සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 1966.
11. මීගොඩ පඤ්ඤාලෝක හිමි, ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.
Divaina 2018 10 31 Badada athirekaye palawiya