Saturday, October 27, 2018

ඞී. ඊ. හෙට්ටිආරච්චි භාෂා සාහිත්‍ය සේවාව පිළිබඳ පුනරාවර්ජනයක්


සිංහල භාෂා සාහිත්‍ය උන්නතිය පිණිස ඉමහත් සේවාවක් කළ ශ්‍රේෂ්ඨ පඬිවරුන් අතර පුරෝගාමි චරිතයක් ලෙස ඞී.ඊ. හෙට්ටිආරච්චි වියතාණන් සඳහන් කිරීම වටී. වත්මන් සිංහල භාෂාව හා සාහිත්‍ය කෙතරම් දියුණු මට්ටමක පවතී ද එහි නියමුවාණන් ලෙස කටයුතු කළ මහාප‍්‍රාඥයන් අතර ඔහුගේ නාමය ද අමතක කළ නොහැකි ය. පේරාදෙණි ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වශයෙන් ශාස්ත‍්‍රීය අධ්‍යාපන ජීවිතයේ සුවිසල් කඩඉමක් පසු කළ මහැදුරාණන් නිසා සමකාලීන හා පසුකාලීන විද්‍යාර්ථීහු සුවිශේෂ භාෂා, සාහිත්‍ය ප‍්‍රාග්ධනයක් උරුම කරගත්හ. සිංහල භාෂාව හා සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් එතුමාණන් කළ සේවාව පිළිබඳ කෙරෙන පුනරාවර්ජනයකි මේ.
අගනගරයට සමීපව පිහිටි කුඩා ගමක් වූ බුත්ගමුවෙහි 1909 වර්ෂයේ මැයි මස 06 වැනි දින මෙලොව එළිය දුටු ඔහුගේ දෙමාපියන් වූයේ දොන් ඒබ‍්‍රහම් හෙට්ටිආරච්චි සහ පොඩිහාමිනේ විජේසිංහ යි. මෙකල ඉංග‍්‍රීසීන්ගේ පාලන සමයක් වූ බැවින් දෙමාපියන් ඔහුට ලබාදුන් නාමය වූයේ දොන් එලාරිස් හෙට්ටිආරච්චි යන්නයි. එනමුදු නිවහල් දේශයක, ජාතියක අපේක්ෂාවෙන් කටයුතු කළ හෙයින් තද්නාමය පසෙකලා දයානන්ද ඒකනාථ ලෙසින් නාමය වෙනස් කොට භාවිත කළේ ය. ළමා කාලයෙහි බුත්ගමුව රජයේ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය හදාළ මෙම කුමරුවන් අධ්‍යාපනය විෂයයෙහි පෑ සමර්ථතා නිසා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු කිරීමට දෙමාපියන් කටයුතු කළේ, ඔහුට සුවිශේෂ අනාගතයක් ඇති බව මැනවින් හඳුනාගත් නිසාම ය. පාසල් අධ්‍යාපනය ලද සමයෙහි දී ගණිත විෂයයට මහත් රුචියක් දැක්වූ ඔහු විශ්වවිද්‍යාල සාමර්ථය ලබා එහි ශාස්ත්‍රෝද්ග‍්‍රහණය ලැබීමේ දී පවා, එය වෙනසකට බඳුන් නොකොට පවත්වා ගත්තේ ය. එවකට ලන්ඩන් විශ්වවිද්‍යාලය අනුබද්ධිත ආයතනයක් වශයෙන් පැවති ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුව සංස්කෘත, පාලි ආදි සම්භාව්‍ය භාෂාද්වයෙන් සමන්විත ඉන්දු-ආර්ය භාෂා පාඨමාලාව තෝරාගෙන අවසාන පරීක්ෂණයෙන් ගෞරව සම්මාන සහිතව සාමර්ථ්‍යය ලැබුවේ ය.
පර්යේෂණයට හිතපක්ෂ විද්‍යාර්ථියෙකු වූ හෙට්ටිආරච්චි 1932 වර්ෂයේ දී සිංහල ශබ්දකෝෂ සංස්කාරක මණ්ඩලයේ උපකර්තෘ තනතුරට පත් වන අතර එවිට ඔහුගේ වයස 33ක් පමණ ය. ඔහු එම තනතුරට තෝරා ගැනීමේ දී එවකට එහි ප‍්‍රධාන කර්තෘත්වය හෙබවූ ශ‍්‍රීමත් බාරොන් ජයතිලක සූරීන් හෙට්ටිආරච්චි තරුණ විද්‍යාර්ථියාගේ සුවිශේෂ දක්ෂතා පිළිබඳ මනා දැනුම්වත්වීමකින් යුක්තව සිටියේ ය. එනමුදු එහි කෙටි කලක් සේවය කළ හෙට්ටිආරච්චි මහතා තමාගේ පෞද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් එහි කල්කටා විශ්වවිද්‍යාලයට බැඳුණේ ස්වකීය අධ්‍යාපන ජීවිතය පුළුල් කරගැනීමේ ඒකායන අභිලාෂයෙනි. කල්කටා විශ්වවිද්‍යාලයේ දී සංස්කෘත, ප‍්‍රාකෘත භාෂාද්වය හදාරා එයින් ශාස්ත‍්‍රපති උපාධිය ලැබූ ඔහු නැවත මෙරටට පැමිණි අතර, නැවතත් ඔහු සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ උපකර්තෘ වශයෙන් වැඩ භාර ගත්තේ ය. එතැන් පටන් වර්ෂ 5ක් පමණ නොකඩවාම සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි නියුක්ත වූ ඔහුගෙන් සිදු වූ සේවාව සුළුපටු නොවේ. මන්ද මෙකල පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත ආදි භාෂා පිළිබඳ විශාරදයන් අතර හෙට්ටිආරච්චි මහතා ප‍්‍රමුඛ ස්ථානයේ සිටි නිසා ය. 
ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක්ව පැවති ලංකා විශ්වවිද්‍යාලය 1942 වර්ෂයේ දී පූර්ණ විශ්වවිද්‍යාලයක් තත්ත්වයට උසස් වූ අතර එහි පෙරදිග භාෂා පීඨයෙහි සහකාර කථිකාචාර්ය ධුරයක් හෙබවූ ඔහු සංස්කෘත, සිංහල යන භාෂාද්වය ඉගැන්වීය. තම දේශනවලදී ඔහු වැඩිපුර අවධානය යොමු කළේ ව්‍යාකරණ අංශය හෝ භාෂා විශ්ලේෂණයට නොව විද්‍යාර්ථින්ගේ සාහිත්‍ය රසය පුබුදුවාලීම කෙරෙහි ය. පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්ව දෙවර්ෂයක් ඉක්ම යාමට මත්තෙන් ලංකා විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයෙහි එක් එක් භාෂා වෙනුවෙන් වෙන වෙනම අධ්‍යයන අංශ පිහිට වූ අතර සිංහල අධ්‍යයන අංශය ද එසේ පිහිටවූවකි. එහි කථිකාචාර්ය ධුරයට පත් ඞී.ඊ. හෙට්ටිආරච්චි ඇදුරිඳු සිංහල භාෂාවත් සාහිත්‍යයත් ඉගැන්වීය. සාහිත්‍ය ඉගැන්වීම පිළිබඳ ඉමහත් රුචියක් දැක්වූ ඔහු ධම්පියා අටුවා ගැටපදය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ආදි කෘති එහිලා ප‍්‍රමුඛ කොට ගත්තේ ය. ඔහුගේ මෙම ක‍්‍රියාව පූර්වාදර්ශ කොට ගත් විද්‍යාර්ථීහු ද සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෙරෙහි ඇල්මක් ඇති කරගත්හ. වර්ෂ 7කට ආසන්න කාලයක් ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහු 1951 වර්ෂයේ දී එහි මහාචාර්යවරයෙකු වශයෙන් උසස්වීම් ලැබුවේය. ලංකා විශ්වවිද්‍යාලයෙහි සිංහල විෂයය පිළිබඳ ද්විතීය මහාචාර්යවරයා වන්නේ ද හෙට්ටිආරච්චි මහැදුරුතුමා ය. 
කොළඹ පිහිටි ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනයනු ලැබූ පසුවත් සිංහල අධ්‍යයනාංශයේ ප‍්‍රධානත්වය දරමින් කටයුතු කළ ඔහු වර්ෂ 18ක් පමණ අංශාධිපති වශයෙන් පත්ව භාෂා සාහිත්‍ය නගා සිටුවීම කෙරෙහි ඉමහත් සේවයක් ඉටු කළේ ය. මෙම කාලයේ ද සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ කර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ අතර, හැකි සැම විටෙකම ශාස්ත‍්‍රීය ලේඛන සම්පාදනයෙහි නියුක්ත විය. හෙට්ටිආරච්චි සම්පාදනය කළ බොහෝ ශාස්ත‍්‍රීය ලිපි සම්භාව්‍ය සාහිත්‍ය විෂයය කේන්ද්‍ර කොට ගත්තකි. කෘති ගණනාවක් සම්පාදනය කළ ඔහුගේ තද්කෘති අතර සිංහල ශබ්දකෝෂයේ කාණ්ඩ කිහිපයක් ද සිංහල විශ්වකෝෂයේ කාණ්ඩ කිහිපයක් ද වෙයි. සිංහල භාෂාවෙන් පමණක් නොව ඉංග‍්‍රීසි භාෂාවෙන් ද ලිපි බොහෝ ප‍්‍රමාණයක් සම්පාදනය කළ ඔහු ඒවා ශාස්ත‍්‍රීය ලෝකයට මුදාහළේ ය. 
එවකට පිරිවෙන් ආයතන වශයෙන් පැවති විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන් දෙක 1958 වර්ෂයේ අංක 45 දරන විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කෙරිණි. මෙමගින් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථාව උදා වූ අතර විද්‍යෝදය පිරිවෙණේ පරිවේණාධිපතිව වැඩ විසූ වැලිවිටියේ සෝරත හිමිපාණන් එහි උපකුලපති වශයෙන් පත්කෙරිණි. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු තද්තනතුර සඳහා හෙට්ටිආරච්චි මහැදුරාණෝ පත්වූහ. වර්ෂ 03කට ආසන්න කාලයක් මුළුල්ලේ එහි උපකුලපති තනතුර හෙබවූ අතර උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙහි ඇතිවූ විවිධාකාර ගැටලූ නිසා එයින් ඉවත් විය. 1951 සිට 1969 දක්වා ලංකා විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය වශයෙන් කටයුතු කළ හෙට්ටිආරච්චි වියතාණෝ එකී කාලවකවානුව තුළ සිංහල අංශය නගාසිටුවීම පිණිස කටයුතු කළහ. එතුමන්ගේ ශාස්ත‍්‍රීය ජීවිතයේ ස්වර්ණ යුගය වශයෙන් මෙම කාලවකවානුව නම් කළ හැකි ය. 
ශාස්ත‍්‍රීය ජීවිතයේ ඉමහත් කැපවීමෙන් කටයුතු කළ හෙට්ටිආරච්චි මහැදුරාණෝ විෂයය පරිබාහිර කටයුතු කෙරෙහි මහත් විමසිල්ලෙන් පසුවූහ. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරයක ශාලාධිපති වශයෙන් කටයුතු කර ඇති ඔහු ශිෂ්‍ය සමිති සමාගම් කිහිපයක අනුශාසක තනතුර ද හෙබවීය. දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලයේ සිංහල සමිතියේ අනුශාසක වශයෙන් ද කටයුතු කර ඇත. විශ්වවිද්‍යාලය ආරම්භක අවධියේ එහි බෞද්ධ පරිසරයක් නොපැවති අතර සරසවි භූමිය තුළ චෛත්‍යයක් ඉදි කිරීමේ කාර්යයෙහි ප‍්‍රමුඛයා වශයෙන් කටයුතු කළේ හෙට්ටිආරච්චි ය. 1970 වර්ෂයේ ඔහු ලිස්බන් විශ්වවිද්‍යාලයෙන් පෘතුගීසි භාෂා අධ්‍යයනය පිළිබඳ ගෞරව සම්මාන සහිතව ඩිප්ලෝමා සහතිකයක් ද ලබා ගත්තේ ය. සිංහල, පාලි, සංස්කෘතාදි භාෂා පිළිබඳ ප‍්‍රවීණයෙකු වූ එතුමා හින්දි, ගුජරාටි, වංග, මරාටි ආදි පෙරදිග භාෂා පිළිබඳ පමණක් නොව ඉංග‍්‍රීසි, ලන්දේසි, පෘතුගීසි යන අපරදිග භාෂා ඇතුළු භාෂා 13ක් දැනසිටි දුර්ලභ ගණයේ විද්වතෙකි. 
භාෂා විමර්ශනය ද විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියට ඇතුළු කළ යුතු බව හඳුනාගත් හෙට්ටිආරච්චි නූතන වාග්විද්‍යාව විෂය ක්‍ෂේත‍්‍රය විශ්වවිද්‍යාලයට හඳුන්වා දුන්නේ ය. එහි ඉගැන්වීම කෙරෙහි ප‍්‍රාඥයෙකු නොසිටි බැවින් ඒ සඳහා ම.ව. සුගතපාල ද සිල්වා තෝරාගත් අතර ඔහුට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පෙරදිග හා අප‍්‍රිකා අධ්‍යයනාංශයට යොමු කෙරිණි. 1959දී වාග්විද්‍යාව විෂයය දේශනමාලා ලංකා විශ්වවිද්‍යාලයෙහි ආරම්භ කළ අතර වාග්විද්‍යාව නමින් ස්වාධීන අධ්‍යයනාංශයක් ද පැවත ඇත. වාග්විද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදු කළ හෙට්ටිආරච්චි ඒවා භාෂා විශ්ලේෂණ, භාෂා විචාර, භාෂා සමීක්ෂා ආදි නම්වලින් හැඳින්වීය.
භාෂා විශ්ලේෂණ යටතේ ශබ්ද පරිණාමය, ව්‍යාකරණ පරිණාමය සහ වචන කෝෂය පිළිබඳ පර්යේෂණ මෙහෙයවා ඇත. ශබ්ද පරිණාම විධි ‘ශබ්ද ධර්ම’ යනුවෙන් හඳුන්වනු ලබන අතර භාෂා අතර පවතින ඥාති සබඳතා නිර්ණය කිරීමේ දී භාවිත කොටගන්නා පදනම වන්නේ මෙකී ශබ්දධර්ම යි. හෙට්ටිආරච්චි ශබ්ද පරිණාමය පිළිබඳ ලියූ ලේඛන වෙසතුරු දා සන්නෙ සංස්කරණය කරමින් එයට ලියූ ප‍්‍රස්තාවනාවෙන් හඳුනාගත හැකිය. එපමණක් ද නොව ඉන්දියානු සඟරාවක Behaviour of Consonans in Sinhalese යන මාතෘකාවෙන් ලිපියක් ද පළ කළේය. සිංහල හෝඩියට අනන්‍ය අක්ෂරද්වයක් ලෙස ඇ, ඈ නම් කළ අතර ස්වර පරිණාමයේ දී බලපෑ වෙනත් ශබ්ද ධර්ම ලෙස සාදෘශ වීම, විසදෘශ වීම සහ ස්වර භක්තිය නම් කොට තිබේ. ව්‍යාකරණ පරිණාමය පිළිබඳ පර්යේෂණ කළ හෙට්ටිආරච්චි අව්‍යපද හා යුගල පද පිළිබඳ තම විචාරාක්ෂිය යොමු කළේය. එපමණක් ද නොව සිංහල විභක්ති ප‍්‍රත්‍යයන්ගේ පරිණාමය පිළිබඳව ද පූර්ණ විශ්ලේෂණයක් එතුමාණන් සිදු කරමින් තමා සොයාගත් තද්ව්‍යාකරණ නිගමන භාෂා විචාර ලිපි මගින් ඉදිරිපත් කළේ ය. භාෂා විශ්ලේෂණයේ තෙවන ක්‍ෂේත‍්‍රය වූයේ වචනකෝෂය යි. හෙට්ටිආරච්චි වියතාණන්ගේ වාග්විද්‍යා පර්යේෂණ අතුරින් වැඩිපුර අධ්‍යයන සිදු කර ඇත්තේ සිංහල වචනකෝෂය සංවර්ධනය වූ ආකාරය අධ්‍යයනය කිරීම කෙරෙහි ය. එතුමා සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ උපකර්තෘවරයෙකු වශයෙන් කටයුතු කිරීම මෙසේ අධ්‍යයන පරාසය පෘථුල වීම කෙරෙහි බලපෑවේ ය. භාෂාවක වචනකෝෂය සකස් වීම කෙරෙහි සංස්කෘතික සංඝට්ටනයේ බලපෑම තදින්ම ලැබෙන බව සඳහන් කළ ඔහු සිංහල වචනකෝෂය සඳහා පෘතුගීසි ආදි භාෂා, සංස්කෘතීන්ගේ ආභාසය ලැබුණු බව කියයි. මහනුවර යුගයේ දී සිංහල වචනකෝෂය කථා ව්‍යවහාරයට බෙහෙවින් නැඹුරු වී ඇති බව බොහෝ භාෂාවේදීන් සඳහන් කර ඇති අතර නීති නිඝණ්ඩුව නමින් මෙකල ලියැවුණු කෘතියෙන් ඒ බව තවදුරටත් සනාථ වේ. තද්කෘතියේ ඇතුළත් වචන කෝෂය විග‍්‍රහ කරමින් හෙට්ටිආරච්චි වියතාණන් ඉංග‍්‍රීසි බසින් ලිපියක් ද ලියා පළ කොට ඇත. 
භාෂා විචාර යටතේ ව්‍යාකරණ විචාර, නිරුක්ති විචාර, භාෂා සම්භව විචාර වශයෙන් ක්‍ෂේත‍්‍ර තුනක් හඳුන්වා දුන් හෙට්ටිආරච්චි මහතා ව්‍යාකරණ විචාර යටතේ, සිංහල භාෂාවේ ව්‍යාකරණය පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳ අධ්‍යයනය කළ විල්හෙල්ම් ෙගෙගර්ගේ තදීය අධ්‍යයනය ඊට වඩා විද්‍යාත්මකව ඉදිරිපත් කළ හැකිව තිබූ බව සඳහන් කරයි. එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳව Some Notes on Geiger Grammar of the Sinhalese Language
 නමින් පළ කළ ලිපියෙහි දක්වා තිබේ. සමහර විභක්ති ප‍්‍රත්‍යයන් ෙගෙගර්තුමා සාවද්‍ය ලෙස යොදා ඇති බව පෙන්වා දෙමින් ඒවා නිවැරදි විය යුතු ආකාරය ද පැහැදිලි කර ඇත. නිරුක්ති විචාර පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින් ෙගෙගර්ගේ නිරුක්ති විචාර පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියක් හෙළා ඇත. ෙගෙගර් ඉදිරිපත් කළ බොහෝ නිරුක්ති විචාර සාවද්‍ය බව පෙන්වා දෙමින් හෙට්ටිආරච්චි වියතාණෝ An Etymological Glossary of the Sinhalese Language’ නම් වූ ලිපිය මගින් ඔහුගේ අදහස් කරුණු සහිතව දක්වයි. භාෂා සම්භව විචාර ක්‍ෂේත‍්‍රය පිළිබඳ අදහස් දක්වන ඔහු සිංහල භාෂාව අතිශයින් සංකීර්ණ භාෂාවක් බවත්, එය නැගෙනහිර භාෂා ගණයට හෝ බටහිර භාෂා ගණයට හෝ අයත් කොට දැක්වීම අසීරු කරුණක් බවත් සඳහන් කළේ ය. ඔහු පෙන්වා දෙන්නේ සිංහල භාෂාව ඉන්දියාවේ බටහිරටත් වයඹටත් අතර ප‍්‍රදේශයට භාවිත වූ ප‍්‍රාකෘතයකින් පරිණාමය වූ බවයි. සිංහලය වඩාත් නෑකම් කියන්නේ සින්දි භාෂාවට බව ඔහුගේ අදහසයි.
භාෂා සමීක්ෂණ යටතේ සිංහල උපභාෂා සමීක්ෂණ, වැදිභාෂා සමීක්ෂණ, මාලදිවයින් භාෂා සමීක්ෂණ ලෙස පර්යේෂණ කටයුතු සිදු කොට භාෂාව සම්බන්ධයෙන් අතිශයින් වැදගත් තොරතුරු රැුසක් හෙළි කරගැනීමට සමර්ථ විය. සිංහල උපභාෂා ගවේෂණයේ නියමුවා වශයෙන් සම්භාවනාවට පත්වන්නේ ද එතුමාණන් ය. ලංකාවේ විවිධ පළාත්වල භාවිත කෙරෙන උපභාෂා පිළිබඳ පර්යේෂණ කළ ඔහු සිංහලය සඳහා උපභාෂා සිතියමක් සම්පාදනය කර එහි වචනකෝෂය විධිමත්ව හැදෑරී ය. දුම්බර, දිගාමඩුල්ල, මහියංගණ, මොණරාගල ආදි දුෂ්කර පළාත්වල දී සිදු කෙරුණු බොහෝ උපභාෂා පර්යේෂණ අතිශයින් සාර්ථක වූ අතර ඒ සම්බන්ධ ප‍්‍රාමාණිකයෙක් ද විය. එසේම ලංකාවේ වැදිජනයාගේ භාෂාව පිළිබඳ මෙකල බොහෝ දෙනා පර්යේෂණ කළ අතර හෙට්ටිආරච්චි ද ඉන් එක් අයෙකි. මාලදිවයින් භාෂාව සිංහල භාෂාව හා සමීප බවක් දක්වන අතර ඊට හේතුසාධක හෙට්ටිආරච්චි ඉදිරිපත් කළේ ය. එහි දී ඔහු සඳහන් කළේ සිංහල භාෂාව කථා කළ පිරිසක් මාලදිවයිනේ වූ අතර ඔවුන් අරාබි, දෙමළ, මලයාලම් ආදි භාෂාවන් සමග සබඳතා පැවැත්වීම මත ක‍්‍රමයෙන් සිංහල භාෂා ස්වරූපයෙන් වෙනස්ව ඇත. මාලදිවයින සඳහා ජාතික ගීයක් නිර්මාණය කරදෙන ලෙස 1970 වර්ෂයේ දී එරටින් ආරාධනා ලැබුණු අතර ඩබ්.ඞී. අමරදේව සංගීතඥයා සමග එහි ගොස් සිටි කල මෙලෙස එහි භාෂාව පිළිබඳ අධ්‍යයන කළ බව තවදුරටත් සඳහන් කළ හැකිය. 
භාෂාව පිළිබඳව පමණක් නොව සිංහල සාහිත්‍ය විෂයයෙහි ද හෙට්ටිආරච්චි ඇදුරිඳුන්ගේ දායකත්වය සුළුකොට තැකිය නොහැකි ය. භාෂා රැුසක ප‍්‍රාගුණ්‍යයෙන් හෙබියා වූ නිසා ග‍්‍රන්ථ සංස්කරණයට අභිරුචියක් දැක්වූ ඔහු ප‍්‍රකාශයට පත් කළ පළමු ග‍්‍රන්ථය පූජාවලිය සංස්කරණය (1936) යි. එසේම පැරණි දඹදිව සාහිත්‍ය (1946) නමින් කෘතියක් ද ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වන ප‍්‍රාචීන විභාග නිර්දේශිත ප‍්‍රාකෘත භාෂාව පිළිබඳ සුදුසු කෘතියක් නොවීම නිසා ප‍්‍රාකෘත සංග‍්‍රහය (1946) නමින් කෘතියක් ද ලියා පළ කළේ ය. එම වර්ෂයෙහිම සිංහල ථූපවංශයේ කොටසක් ද සංස්කරණය කොට පළ කළේ ය. ආචාර්ය රම්මණ්ඩල මහතා සමග ජාතක අටුවා ගැටපදයේ ද්විතීය භාගය සංස්කරණය (1960) කළ ඔහු මහත් අභිරුචියෙන් ඉගැන්වූ ධම්පියා අටුවා ගැටපද සන්න සංස්කරණයක් (1974) ද කළේ ය. පියදාස නිශ්ශංක මහතා සමග එක්ව ශාකුන්තලය සිංහලට පරිවර්තනය කළ අතර එය 1962 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් විය. ඔහුගේ ශාස්තීී‍්‍රය ජීවිතය තුළ භාෂාව හා සාහිත්‍ය සම්බන්ධයෙන් සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ලිපි රාශියක් ලියා පළ කළේ ය. 1931 වර්ෂයේ සිට සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ සහ සිංහල විශ්වකෝෂ මණ්ඩලයේ උපකර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ හෙට්ටිආරච්චි අඩසියවසකට අධික කාලයක් සංස්කාරකයෙකු වශයෙන් ජාතික මෙහෙවරක් ඉටු කළේ ය. ඒ අනුව කථිකාචාර්යවරයෙකු, මහාචාර්යවරයෙකු, පීඨාධිපතිවරයෙකු, උපකුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ හෙට්ටිආරච්චි මහැදුරාණන් සිංහල භාෂාව හා සාහිත්‍ය ඇතුළු ශාස්ත‍්‍රීය ලෝකය වෙනුවෙන් කළ මෙහෙය එහි අභ්‍යුදය පිණිස බලපෑ බව නොකිව මනා ය. වර්තමානයේ පවා ඞී.ඊ. හෙට්ටිආරච්චි මහැදුරු නාමය ඉමහත් ගරු බහුමානයෙන් සිහිපත් කරන්නේ ඒ උත්තුංග ශාස්ත‍්‍රීය සේවාව නිසාම ය. 


පදියතලාවේ ඤාණවිමල හිමි
gnanawimala123@gmail.com


No comments:

Post a Comment