Thursday, April 13, 2017

කළයුත්ත කරන්න. බුදුහු මඟ පෙන්වන්නෝ ය.

‘තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා’ යනුවෙන් පැහැදිලි කරන්නේ ඉහතින් පෙන්වා දුන් කරුණයි. මේ කාම ලෝකයට බුදුන් වහන්සේගේ ආගමනය මහත් අස්වැසිල්ලකි. මන්ද ලොවෙහි කාමභෝගීව ජීවත් වන මිනිසාගේ සසර ගමන කෙටිකර විමුක්තිය උදාකර දීමේ කර්තව්‍ය උන්වහන්සේ විසින් සිදු කරන බැවිනි. මෙම කාරණාව අපට මනාව වැටහෙන්නේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයෙනි. 
සම්බුදු හිමිනමකගේ ලොව පහළ වීම නිරන්තරයෙන් සිදු වන්නක් නොවේ. එය බොහෝ කාලයකට පසුව සිදු වන්නකි. ඒ බව මොනවට පැහැදිලි වන්නේ මේ වන තුරු සම්බුදුවරුන්ගේ පහළ වීම පිළිබඳ කාරණයේදීය. එසේ නමුත් උන්වහන්සේලා දේශනා කරන ධර්මස්ඛන්ධය මෙම ලෝකය පුරා වර්ෂ ගණනාවක් පැතිරී පවතී. ලොවෙහි පවතින සත්‍යය අසත්‍යයයෙන් යම් දිනක වැසී යන්නේ ද එසේ වැසී ගියා වූ ධර්මය, යථාර්ථය තවත් සම්බුදු හිමිනමකගේ පහළ වීමත් සමග විවර වේ. මෙතෙක් කාලයක් සිදු වී ඇත්තේ මෙම ධර්මතාවයි.
මේ සියලූ කාරණාවලට වඩා අතිශයින් වැදගත් වන්නේ සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනා මාර්ගයයි. උන්වහන්සේලාගේ කර්තව්‍යය (බුදුකිස) මේ ලොවෙහි දුක්විඳින, සංසාරගත සත්ත්වයා නිර්වාණ මාර්ගයට යොමු කරවීමයි. මෙය සිතන තරම් පහසු සරල කරුණක් නොවේ. කාමලෝකයෙහි ජීවත් වන මිනිසා නිරන්තරව කාමයම සොයන නිසා එයින් මුදවා ගැනීම සිතන තරම් ලෙහෙසි කරුණක් නොවන්නකි. සම්බුුදු හිමියන්ගේ දේශනාවලින්ම මෙම කාරණාව උලූප්වා දැක්විය හැකිය. මෙහි දී බුදුරජාණන් වහන්සේලා පෙන්වා දී ඇති කරුණ නම් තමාගේ ගමන තමා විසින්ම යායුතු බවත් ඒ සඳහා කදිම මඟ පෙන්වීම සම්බුදු හිමියන් විසින් සිදු කරන බවත් ය. සැබැවින්ම සම්බුද්ධ දේශනා දෙස බැලීමේ දී මේ කරුණ සත්‍යයතාවෙන් යුක්ත බව පැහැදිලි වේ. 

යා යුතු මඟ කුමක්ද නොයා යුතු මඟ කුමක්ද කළ යුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද ආදී වූ කරුණු පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනයේ දක්වා ඇත.

No comments:

Post a Comment