පැන් පිදූ පිනෙන් දෙව්දොව ගිය තරුණිය
(නාවුකා විමාන වස්තුව)
තව්තිසා දෙව්ලොව දිව්‍යමය කල්ප වෘක්ෂයකින් යුක්තව මහත් වූ දිව්‍ය සම්පත් වින්දනය කරන එක්තරා දෙව්දුවකි. ඇගේ විමානය වටා ඇති ප්‍රදේශය රිදීමය වැල්ලෙන් ගැවසීගත් පුලිනතලාවකි. එහි තැනින් තැන මාණික්‍ය අතුරා ඇති අතර ඒවායෙහි ආලෝකයෙන් ප්‍රදේශයම බබළන්නීය. එසේම එහි සිහිල් වූ නිල්කැට මෙන් ජලයෙන් යුක්ත ගංගාවකි. ගංගාවේ දෙපස විවිධාකාර මල්වලින් ගැවසී ගත් උද්‍යානයකි. ඒ ආසන්නයේ මාණික්‍ය පවුරකින් වටවූ මනහර වූ පොකුණකි. එහි නිලූපුල්, රතුපුල්, මානෙල් ආදී වූ නොයෙක් මලින් යුක්තය. මෙහි උද්‍යානයෙහි වූ මල්වනය සහිතව සත්රුවන්මය නැව් විමනක් ද විය. ඒ නිසා එය ‘නාවුකා විමාන’ නමින් ප්‍රචලිත විය. මේ ඉහතින් සඳහන් කළ දෙව්දුවගේ දෙව්විමානයයි. ඇය දිව්‍යාභරණවලින් සැරසී විමානයෙන් නික්ම විත් නාවුකා විමානයෙහි වූ පොකුණෙහි ජලක්‍රීඩා කරමින් මහත් වූ යසස සහිතව දිව්‍ය සම්පත් වින්දනය කරමින් පසුවූවාය.
දිනක් ඍද්ධිමත් මුගලන් මහරහතන් වහන්සේ මෙහි වැඩම කළ සේක. උන්වහන්සේ මෙහි අනේක වූ දිව්‍ය සම්පත් වින්දනය කරන දෙව්දුව දැක කුමන කුසල කර්මයකින් මෙහි උත්පත්තිය ලැබුවේ දැ’යි විමසා සිටිසේක. ඒ අවස්ථාවේදී ඒ දෙව්දුව,
අහං මනුස්සේසු මනුස්සභූතා - පුරීමාය ජාතියා මනුස්සලෝකේ
දිස්වාන භික්ඛු තසිතේ කිලන්තේ - වුට්ඨාය පාතුං උදකං අදාසි
යනුවෙන් තමන් පෙර ආත්මයේ කළ පුණ්‍යකර්මය කිසිවක් නො අඩුව හෙළි කරමින්,
‘ස්වාමිනි, මම පෙර ආත්ම භාවයේදී සැවැත්නුවර සමීපයේ එක්තරා ගමක කුල ස්ත්‍රියකි. එක් දිනක මා ජලය ගෙන ඒම පිණිස ළිඳට යනවිට එහි අප ලොව්තුරා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේගේ ඖරස පුත්‍රයින් කිහිප නමක් පිපාසිතව එහි ක්ලාන්තව වැඩ සිටිසේක. උන්වහන්සේලාගේ විඩාව නිවාගනු සඳහා මා ළිඳෙන් ජලය ගෙන පෙරා උන්වහන්සේලාට මහත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් පූජා කළෙමි. ඒ පිනෙන්ම මා මේ ආත්ම භාවයේදී මෙහි දිව්‍ය යසඉසුරු සහිතව උත්පත්තිය ලැබුවෙමි’ යනුවෙන් පෙර පුවත පවසා, නැවතත් ඇය ‘ස්වාමීනි, කිසියම් අගයක් නොමැතිව මුහුදට ඇදෙන ජලයෙන් බිඳකුත් පූජා කළා වූ කුශලානුභාවයෙන් මෙබඳු වූ දිව්‍ය සම්පත්තියක් ලබාගෙන දසදිශා බබුළුවමි’යි කීවාය.
මේ ප්‍රවෘත්තිය බුදුන් වහන්සේ හමුවට වැඩම කොට මුගලන් මහරහතන් වහන්සේ සැළකිරීමත් සමග බුදුන් වහන්සේ දම්සභා මණ්ඩපයේදී මෙය මූලික කරගෙන දේශනා කළ දම්දෙසුමෙන් බොහෝ දෙනාට වැඩක් සිදුවිය. දන්දීමේ අනුසස් මැනවින් හැඳින අපිත් එවැනි සත්ක්රියාවන්හි නිරත වීමට උත්සුක වෙමු.
No comments:
Post a Comment