Thursday, April 13, 2017

ඡත‍්‍ර මානවක විමාන වස්තුව

(මෙම විමාන වස්තුව අන්තර්ගත වන්නේ විමානවත්ථු ප‍්‍රකරණයෙහි මහාරථ වර්ගයෙහිය.)

අප සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයේ සේතව්‍ය නුවර විසූ ඡත‍්‍ර නම් බමුණු කුමාරයෙක් උත්කට්ඨා නුවර විසූ පොක්ඛරසාති නම් වූ එක්තරා ඇදුරුතුමෙකු ළඟට ගොස් ශිල්ප හදාරා නැවතත් තම උපන් ගමට ගොස් දෙමාපියන්ගෙන් ගුරු ප`ඩුරු පිණිස මුදල් සහ තෑගිබෝග ඉල්වා ගෙන නැවතත් තමන් අධ්‍යාපනය හදාළ උත්කට්ඨා නුවර කරා යමින් සිටියේය. එදින අලූයම් වේලාවෙහි මහා කරුණාවෙන් ලොව පිරික්සන්නේ ඡුත‍්‍ර මානවකයාගේ ජීවිතය පිළිබඳ දිව්‍ය නුවණැසට පෙනී ඔහුට හිත පිණිස ඔහු එන මාර්ගයේ රුකක් මුල සමාධි සුවයෙන් වැඩ සිටි සේක. 

ගුරු පඩුරු පුද කිරීමේ සිතිවිල්ලෙන් පසුව එන කුමරු බුදුන් වහන්සේ දැකීමෙන් මහත් ප‍්‍රසාදයට පත් වුණේය. බුදුන් වහන්සේ ද ඔහුට හිත පිණිස දහම් දෙසූ අතර ඔහුගේ සිත බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ඔද වැඞී ගියේය. බුදුන් වහන්සේ සම්මුඛ වීමෙන් තමාට මහත් යහපතක් වුණේ යැයි ද ධර්මය ඇසීමෙන් මහත් සැනසිල්ලට පත් වුණේ යැයි ද සිතමින් උත්කට්ඨා නුවර කරා එන ඔහු එක්තරා සොරු රැලකට හසු විය. ඔවුන්ගේ හී පහරකට හසුව කළුරිය කළ ඔහු මරණයෙන් පසු දිව්‍යලෝකයෙහි දිව්‍ය යස ඉසුරු සහිතව උපත ලැබීය. 
ඡත‍්‍ර මානවකයා මිය ගිය බව ඇසූ උත්කට්ඨා නුවර ඇදුරුතුමා ඇතුළු ශිෂ්‍ය පිරිස මෙන් ම සේතව්‍ය නුවර මව්පියන් ඇතුළු ඤාති පිරිස ඒකරාශි වීමෙන් කුමාරයා මරුමුවට පත් වූ ස්ථානය මහා ජන සමාගමයක් විය. ඡත‍්‍ර දිව්‍ය පුත‍්‍රයා ද එහි ඇවිත් ඒ දෙස බලා සිටි අතර බුදුන් වහන්සේ එම ස්ථානයට වැඩම කර ඔවුන් සියලූ දෙනාගේ සිත සුව පිණිස ධර්මය දේශනා කළ සේක. එයින් බොහෝ සත්ත්වයන්ගේ සංසාර ගමන කෙටි විය. බුදුන් වහන්සේ නැවත දෙව්රමට වැඩම කර ඡුත්ත මානවකයාගේ දිව්‍ය යස ඉසුරු පිළිබඳ වර්ණනා කරමින් එහි සිටියවුන්ට නැවතත් ධර්මය දේශනා කළ සේක. බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ඔද වැඞී ගිය ඡුත‍්‍ර කුමාරයාගේ දිව්‍ය යස ඉසුරු ලැබීම කෙතරම් භාග්‍යයක් ද. ඔබත් තෙරුවන් කෙරෙහි ඔද වැඞී ගිය ශ‍්‍රද්ධාවෙන් යුක්ත වන්න. 

පදියතලාවේ ඤාණවිමල හිමි


No comments:

Post a Comment