Thursday, April 13, 2017

විමාන වස්තුව

බුදුරජාණන් වහන්සේ සිව්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ ධර්මස්ඛන්ධය අන්තර්ගතව ඇත්තේ ත‍්‍රිපිටකය තුළය. සූත‍්‍ර විනය අභිධර්ම වශයෙන් වූ එහි සූත‍්‍ර පිටකයෙහි පඤ්ච ප‍්‍රභේද නිකාය ග‍්‍රන්ථ අතරෙහි ඛුද්දක නිකායට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. එයට හේතුව නම් එහි බුද්ධදේශනා සහ ශ‍්‍රාවක දේශනා අන්තර්ගත වීමයි. එසේම එහි අන්තර්ගත කෘති ආශ‍්‍රයෙන් පසුකාලීන අටුවා ටීකා ආදී ධර්මකෘතිද බිහිවුණි. ඒ කෙසේ වුවත් ඛුද්දක නිකායෙහි අන්තර්ගත පසළොසක් වූ කෘති අතර විමානවත්ථු පාළියට හා පේතවත්ථු පාළියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒ මන්දයත් එහි විමානවත්ථුවේ අන්තර්ගත වන්නේ කුසලකර්ම හෝ යහපත් ක‍්‍රියා කොට දෙව්ලොව ශ‍්‍රීය වින්දනය කළ දේවතාවුන් හා දේවතාවියන් පිළිබඳවත් පේතවත්ථුවේ අන්තර්ගත වන්නේ අකුසලකර්ම සිදුකොට හෝ අයහපත් ක‍්‍රියා සිදු කොට පේ‍්‍රත ආත්ම භාවයක් ලබාගෙන දුක්විඳින අයවලූන් පිළිබඳ කථා ප‍්‍රවාත්තීන් නිසාය.

ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ඍද්ධිමත් භික්ෂූන් අතර අග‍්‍රස්ථානය ලැබූයේ මුගලන් මහරහතන් වහන්සේ ය. උන්වහන්සේගේ ඍද්ධි ප‍්‍රාතිහාර්ය පෑමේ සුවිශේෂ දක්ෂතාව නිසා එවැනි අවස්ථා සඳහා බුදුන් වහන්සේ ඇරයුම් කළේ උන්වහන්සේටය. උන්වහන්සේ සතු මෙම ලක්ෂණය නිසා බොහෝ අවස්ථාවල බෞද්ධ ජනතාවට මහත් සෙතක්ම සැළසිණි. දෙව්ලොව සහ පේ‍්‍රතලොව සැරිසැරීමේ සුවිශේෂ හැකියාවක් උන්වහන්සේ සතු වූහ. මේ නිසා දෙව්ලොව ගිය පිරිස් මෙලෝ ඓහාත්ම භාවවල කුමන කුසල කර්මයක් සිදු කොට එවැනි උසස් තත්ත්වයක් ලබාගත්තේදැයි මුගලන් මහරහතන් වහන්සේ අසා ගෙන අවුත් බුදුන් වහන්සේටත් එසේම බෞද්ධ ශ‍්‍රාවකයන් ඉදිරියේත් අනුසාසනා කරමින් පෙන්වා දුන්හ. මේවා අසන පිරිස් අකුසල කර්ම සිදු නොකිරීමටත් කුසල කර්ම සිදු තවතවත් සිදුකිරීමටත් අපේක්ෂා ඇති කරගනිති. 

සියලූ බුදුවරයන් වහන්සේලාගේ අනුසාසනාව වන්නේ සියලූ පාපයන් බැහැර කොට කුසල කර්ම රැුස්කරගන්නා ලෙසයි. එසේම තමතමන්ගේ සිත්සතන් දමනය කරගත යුතු බවත් පෙන්වා දී ඇත. කුසල කර්ම මෙන්ම පුණ්‍ය ක‍්‍රියාද බෞද්ධයන් විසින් අත්‍යන්තයෙන්ම සිදුකරගත යුතුය. ඒ මන්ද ඒවාහි විපාක මෙලෝ වශයෙන් මෙන්ම පරලෝක වශයෙන් ලබාගත හැකි බැවිනි. සංසාර විමුක්තිය කෙදිනක ලබාගත හැකිවේදැයි අපට නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි හෙයින් මෙලෝ වශයෙන් කෙතෙක් අප උත්සාහ කළත් එය ඉෂ්ටාර්ථය තෙක් පැමිණේදැයි අපට තීන්දු කළ නොහැකිය. එසේ හෙයින් යහපතෙහි යෙදෙන අතරතුර දන්දීම්, සිල්රැුකීම්, තමන් මෙන්ම අනුනුත් යහපතෙහි යෙදවීම් ආදී දෑ සිදු කළ යුතුය. ඒ සඳහා කදිම අනුබලයක් විමානවත්ථු පාළියෙන් ලැබෙන අතර ඒවා නොකර අයහපතෙහි යෙදුණු, අවැඩක්ම කළ පිරිස් ජීවිත පරලෝක වශයෙන් විනාශ කරගත් අන්දම පේතවත්ථු පාළියෙන් පෙන්වා දෙන නිසා එවැනි දුසිරිත්වලින් වැළකීමේ අවස්ථාවත් එමගින් ලබාදෙයි. 

විමානවත්ථු යනුවෙන් හඳුන්වන තන්හි විමාන යනු දෙවියන්ට නිවාස වූ ස්ථානයයි. වත්ථු යනු කථාවයි. දෙවියන්ට නිවෙස්න සඳහා හේතුවන කථා හෙවත් දේවත්වය ලබාගැනීම සඳහා විශේෂව පවත්නා කථා යනුවෙන් මෙහි අර්ථ විග‍්‍රහ කිරීමෙන් දත හැකිය. එහි වර්ග වශයෙන් 7කි. පීඨ, චිත්තල, පාරිච්ඡුත්තක, මඤ්ජෙට්ඨක, මහාරථ, පායාසි, සුනික්ඛිත්ත ආදී ලෙස ඒවා දැක්විය හැකිය. පීඨ වර්ගයේ කථාවස්තු 17ක්ද චිත්තල වර්ගයේ 11ක්ද පාරිච්ඡුත්තක වර්ගයේ 10ක්ද මඤ්ජෙට්ඨක වර්ගයේ 12ක්ද මහාරථ වර්ගයේ 14ක්ද පායාසි වර්ගයේ 10ක්ද සුනික්ඛිත්ත වර්ගයේ 11ක්ද වශයෙන් සම්පූර්ණ කථා සංඛ්‍යාව 85කි. එසේම උරග, උබ්බරී, චූලවග්ග, මහාවග්ග වශයෙන් පේතවත්ථුවේ වර්ග 4කි. උරගවර්ගයේ කථා 12ක්ද උබ්බරී වර්ගයේ කථා 13ක්ද චූළවර්ගයේ කථා 10ක්ද මහාවර්ගයේ කථා 16ක්ද වශයෙන් මුළු කථා ගණන 51කි. යම් අවස්ථාවන්හි විමානවත්ථුවේ අන්තර්ගත කථා ප‍්‍රවෘත්ති පේතවත්ථුවේ දක්නට ලැබෙන අතර පේතවත්ථුවේ දැක්වෙන කථා කිහිපයක් විමාන වත්ථුවේද දැකිය හැකිය. 

මිනිසත් බව ලැබූ අප නිතැතින්ම යොමුවන්නේ අයහපත් ක‍්‍රියා සිදුකිරීම කෙරෙහිය. ඒ සඳහා අප සිත් යොමුවන්නේ ප‍්‍රධාන වශයෙන්ම අප අපගේ සිත් නිසි පරිදි හසුරුවා නොගැනීමෙන්මය. එසේ හෙයින් විමානවත්ථුවේ අන්තර්ගත කථාවස්තු අප සුචරිතවත් තත්ත්වයට පත්කිරීම විෂයයෙහි අතිශයින් මහඟු කාර්යභාරයක් ඉටුකරයි. වත්මන් සමාජීය සත්ත්වයාට මහත් ශාන්තියක් උදාකර ගැනීම පිණිස හේතුපාදක වන, වටිනා කථා සංසිද්ධි රැුගත් අවස්ථා ඒවායෙහි අන්තර්ගතව ඇත. 

No comments:

Post a Comment